රනිල්ට කඩේ ගියාට බඩු ලිස්ට් එක අපේ – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

කවුරු හරි මගෙන් ඇහුවා ඔයා රනිල්ට කඩේ යනවද කියල? මම කිවුවා ‘ඔව් මම කඬේ යනවා’ කියල. කොහොමද කඬේට යන්නේ කියල ඇහුවම මම කිවුවා ‘මට  ඕනේ බඩු ලිස්ට් එක ලියාගෙන රනිල්ගෙන් සල්ලි අරන් ඒ බඩු ටික ගන්න කඬේ යනවා’ කියල. අපි මේ ලැබුණ අවස්ථාව ප‍්‍රයෝජනයට ගත යුතුයි. මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී, වඩා යුක්ති සහගත සමාජයක් සඳහා සටන් කිරීම. ඒ සටන ජයග‍්‍රහණය කරවන්න අපි තෝරාගත් ප‍්‍රශ්න වෙනුවෙන් නිශ්චිත අරමුණක් ඇතිව ක්‍රියාකාරී වෙලා කටයුතු කළ යුතුයි. හැම පැත්තෙන්ම අවදි වූ ජනතාවක් දැන් රටේ ඉන්නේ. ඒ අය අපිට සහයෝගය දෙනවා. ඒ ජනතා සහයෝගය දිගින් දිගටම පවත්වා ගන්න ක්‍රියාමාර්ගයක් ගන්න ගමන් මේ සටන දිගටම කරගෙන යෑම අවශ්‍යයැයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පැවසුවේය. ඔහු එසේ ප්‍රකාශ කළේ පසුගිය ඔක්තෝබර් පළමු වැනිදා කොළඹ දී පැවැති නිදහසේ වේදිකාව සහ වීදියේ විරෝධය දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ හමුවේදීය.

එහිදී ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මෙසේද කීය. ජාතිවාදී ඒකාධිපතිවාදී ආණ්ඩුවක් පෙරළලා වඩා නිදහස් ලිබරල් මත තිබෙන, ජනතාවගේ ක්‍රියාකාරීත්වයන් පිළිගන්න, සමාජ සම්මුතියකට කැමති ඔවුන්ගේම වචනයෙන් කියනවා නම් සමාජ ධනවාදී (social capitalism) ආණ්ඩුවක් ඉදිරියට ඇවිත් තිබෙනවා. මෙහිදී අපට යම් ඉඩක් තිබෙනවා මේ අය කරන්න උත්සාහ කරන දේවල්වල උපරිම ඵලය ලබා ගැනීම සඳහා මැදිහත් වෙන්න. එහෙම නැතුව ඊට වඩා විශාල දේවල් කළොත් මම හිතන්නේ නැහැ මොනවත් කරන්න පුළුවන් වෙයි කියල. අපි අපේ ඔලු‍වල තිබෙන ඔක්කොම දේවල් ඉස්සරහට දාගෙන වැඩ නොකර ඊට වඩා නිශ්චිතව පැන නැගිලා තියෙන විශේෂිත කාර්යන්ට බර දාලා එයින් යම් කිසි සමාජ වෙනසක් ඇති කරන්න උත්සාහ කිරීම ප‍්‍රයෝජනවත්.

සමාජ – වෙළදපොළ ආර්ථිකය  (social market economy)

ආර්ථික වශයෙන් ගත්තොත් මේ අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එකක් එකතු වෙලා තමයි ආර්ථීක කටයුතු සැලසුම් කරගෙන යන්නේ. ලෝකයේම නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්තිය ප‍්‍රතික්ෂේප වෙලා තියෙන වටපිටාවක මේ අයත් නව ලිබරල් ආර්ථීක ප‍්‍රතිපත්තිය නෙවෙයි දැන් ගෙනියන්නේ. ඒ වෙනුවට සමාජ වෙළඳපොළ ආර්ථීකය නැතිනම් සමාජ ධනවාදය කියන එක එනවා. ඒක කාල්මාක්ස්ගේ කාලේ ජර්මනියේ හිටපු බිස්මාක් කියන පාලකයා ඉදිරිපත් කරපු අදහස. ධනවාදයට පුළුවන් සුභ සාධනය කරන්න, ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි කරන්න. වෙළඳපොළ ආර්ථීකයට තියෙන හයිය ඔයාට තේරිලා නැහැ කියල බිස්මාක්, කාල්මාක්ස් එක්ක හැප්පුණා. මෙයින් කියවෙන්නේ සමාජ ඉල්ලීම් ලබා දෙමින් ධනවාදය වඩා දියුණු කරගන්න පුළුවන්.

රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ සමාජ ධනවාදය තුළ මම සාකච්ඡාවට ලෑස්තියි කියල. ඔහු ඒකට වචනයකුත් හදාගෙන තියෙනවා ලිච්ඡවී ක්‍රමය කියලා. සමාජ ධනවාදය තුළ අපි සටන් කරන්න  ඕන සමාජයේ දුප්පතුන් නැතිවන තැනට. වැඩ කරන ජනතාවට එයින් සාධාරණයක් ඉෂ්ට විය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබිය යුතු අයිතීන් පිළිබඳ දැන් සාකච්ඡාවක් ඇවිත් තියෙනවා. එහිදී ආර්ථීක, සමාජීය අයිතිවාසිකම් ලබා දීමට ධනවාදයට පුළුවන්. සමාජ, ආර්ථික වශයෙන් තිබෙන අයිතිවාසිකම්, කාන්තාවන්ගේ සමලිංගිකයින්ගේ අයිතිවාසිකම් ආදී කාරණාවන් ව්‍යවස්ථාවට ඇතුල් කර ගැනීමට වගේම ව්‍යවස්ථාව පුරාම ක්‍රියාත්මක වෙන තැනට කටයුතු සිදු වෙන්න  ඕන.

අර්ජුන් මහේන්ද්‍රන් කිවුවා ‘සියයට අසූවක් දුප්පතුන් තමයි බදු ගෙවන්නේ ලොක්කෝ ඉන්කම් ටැක්ස් ගෙවන්නේ’ හරි අඩුවෙන් කියල. ඒ අනුව රනිල් වික්‍රමසිංහ යෝජනා කළා ප‍්‍රාග්ධන බද්දක් ගෙවන්න. නමුත් ආපු විරෝධතාවන් තුළ එය ක්‍රියාත්මක කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. එච්චර දේවල් ක්‍රියාත්මක නොවුනත් වැට් එකේ පවා තියෙන්නේ අසාධාරණයක්. ලියාපදිංචි වෙළඳුන්ට විතරයි වැට් එක ගන්න පුළුවන් කියල කියන්නේ. නමුත් ගමේ ඉන්න මුදලාලිත් වැට් එක අරගෙන සාක්කුවේ දාගන්නවා. ඒකට ඒ අයට අයිතියක් නැහැ. ඒ අය වැට් එක ගෙවන්න  ඕන නැහැ. මොකද ඒ අය රෙජිස්ටර් නැහැ. ඒ නිසා මේවා පිළිබඳ ජනතාව දැනුවත් කරන්න කටයුතු සැලසුම් වෙන්න  ඕන.

ඒ වගේම අපි කොළඹ පෝර්ට් සිටියට විරුද්ධව කතා කළා. පෙළපාලි ගියා, ගුටි කෑවා. පස්සේ කිවුවා චීනයත් එක්ක කතා කරලා හුඟක් දේවල් අයින් කළා කියල. හැබැයි අපි දන්නේ නැහැ මොනවද ඒ හුඟක් ඒවා කියල. ඔක්කොම ගලවලා විසි කරන්න බැහැ කියන එකට අපි එකඟයි. නමුත් මොනවද නරකයි කියල විසි කළේ? මොනවද දැන් හොඳ වෙලා තියෙන්නේ? මොනවද දැන් ඒ අයත් එක්ක සාකච්ඡා කරල ලබාගත් ජයග‍්‍රහණ? අපේ යුතුකමක් තියෙනවා මේවා හොයලා බලලා ඒ වෙනුවෙන් සටන් කරන්න. ආර්ථීක සමාජීය පැත්තෙන් විශාල අරගලයක් කරමින් තමයි මේ අය එක්ක අපි සුහදතාවයක් පවත්වාගෙන යන්න  ඕන.

උතුරේ නැගුන හඬ  අපේ ජයග‍්‍රහණයක්

මේ විසිහතර වෙනිදා උතුරේ ජනතා නැගිටීමක් ආවා. එයින් කියවෙන දේ තමයි අපි සටන් කරලා ලබා ගත් නිදහස උතුරේ ජනතාවටත් ගිහිල්ලා තියෙනවා කියන එක. ඒකයි උතුරේ ජනතාව බය නැතුව නැගිට්ටේ. වෙඩි තියන්නේ නැහැ, හිරේ දාන්නේ නැහැ කියල වගේම ශක්තිමත් සිවිල් සමාජයක් තියෙනවා කියල විශ්වාසයෙන් ඔවුන් නැගිට්ටා. මේ ඉස්සර අපිට ගහන්න ආපු අය. උතුරේ මෙහෙම හඬක් ආවේ යම් යම් ඉල්ලීම් ක්‍රියාත්මක නොවුණු නිසා. පෞද්ගලික ඉඩම් හමුදාවට දෙන්න වුණා. දේශපාලන සිරකරුවෝ කියල කට්ටියක් දැන් ඉන්න බැහැ. හමුදා කඳවුරු දිස්ත‍්‍රික්කයකට එකක් ගානේ තියෙන්න පුළුවන්. ඒත් හැම තැනම හමුදා කඳවුරු තියෙන්න බැහැ විතරක් නෙවෙයි හමුදාව බිස්නස් කරනවා. මේවාට විරුද්ධව අපිත් කෑගැහුවා, දැන් ඒ අයත් ඒවටම කෑගහනවා.

බුද්ධාගම නිසි තැන තියෙනවා කියල තියෙනවා. අනාගාමී ව්‍යවස්ථාවක් හදනව වගේ කතා තියෙනවා. නමුත් බුදු පිළිම හදාගෙන යනවා පට පට ගාලා. මේක අපිට විතරක් නෙවෙයි බුදුන්ටවත් පිළිගන්න පුළුවන් දෙයක් නෙවෙයි.  බුදුන් කියලත් නැහැ එහෙම පිළිම හදන්න කියල. බුදුන් කිවුවේ “චතුරාර්ය සත්‍ය කියල දෙන්න,  පටිච්ඡ සමුප්පාදය කියල දෙන්න” කියල මිසක් බුදු පිළිම හදන්න කියල නෙමෙයි. දැන් වෙන්නේ හැම තැනම බුදු පිළිම හදාගෙන යනවා. ඒවා උඩ කාක්කෝ ජරා කරනවා. ඒවා පිහිදාන්න කෙනෙකුත් නැහැ. අපහාසයක් විතරයි. බුදු දහම උගන්නන්න  ඕනෙ නම් කරන්න ඕනේ වල්පොල රාහුල හාමුදුරුවන්ගේ දහම ගැන පොත් ගහලා දෙමළටත් දාලා කැමැති අයට ගන්න කියලා දෙන්න ඕන. කැමති නම් ගනියි.

නැත්නම් නිකන් ඉඳීවී. මෙහෙම බුදු පිළිම තියන එකෙන් වෙන්නේ බුදුන්ට නිර්දය අපහාස කිරීමක්. විග්නේෂ්වරම් කිවුවම තමයි මමත් බැලුවේ, ඇත්ත බුදු පිළිම තියල තියෙන්නේ හරියට බලපුළුවන්කාරකමක් පෙන්වන්න වගේ. ඒ නිසා මේක සම්පූර්ණයෙන් නවත්වන්න  ඕන. මේවා ගැන අපි විරුද්ධ වෙන්න  ඕන. නැත්නම් ඒ මිනිස්සු  මේක කිව්වම බුදු දහමට විරුද්ධ වුණා කියල කියයි. අපි විරුද්ධ බුදුදහම ව්‍යවස්ථාවේ තිබීමට නෙවෙයි බුදු දහම පාරවල් ගාණේ තිබීමට.

බලය බෙදනවා නම් කොහොමද බලය බෙදන්නේ? දැනට තියෙන ඒවට වඩා ඉඩම් බලතල, පොලිස් බලතල දෙනවද? උවමනා නම් මේ පළාත් සභා දෙකට එකතු වෙන්න දෙනවද? ඒක ව්‍යවස්ථාවේ තියෙන දෙයක්. ඒ ආකාරයට මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉඩකඩ පාවිච්චි කරලා ශක්තිමත් බලය බෙදීමකට යන්න  ඕන. අනිත් කාරණය ඒකාධිපති ව්‍යවස්ථාව ඉවත් කිරීම සඳහා කටයුතු කළ යුතුයි. දැනට එහි ජනාධිපති බලතල ටිකක් අඩු කරල තියෙනවා. මේ වෙනුවෙන් අපි කොයිතරම් ශක්තිමත්ව සටන් කළ යුතුද යන්න අපි සලකා බැලිය යුතුයි.

ධනපතියොත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තම අසාධාරණ සිදුවෙන්නේ අපේ ළමයින්ට

ලංකාවේ නිදහස් අධ්‍යාපනය කියන්නේ නොමිලේ අධ්‍යාපනය ලැබීම. නොමිලේ අධ්‍යාපනය කියන්නේ ධනේශ්වර සුබ සාධනයක්. ධනපතියන් පෞද්ගලික වියදමින් පාසල් තියාගන්න හදන කොටත් ඒකටත් ඉඩ ලැබුණා. එහෙම තමයි සෙන් තෝමස්, ටි‍්‍රනිටි වගේ ඉස්කෝල තියාගත්තේ. නමුත් 1962දී සමහර පාසල් රජයට පවරාගත්තත් තවත් සමහර ඒවා පෞද්ගලික මට්ටමින්ම ක්‍රියාත්මක වුණා. ඒවා ධනපතියන්ට යන්න සහ අනිත් ඒවා දුප්පත් අයට යන්න.

දුප්පත් දරුවන්ට පහේ විභාගේ හොඳට කරලා සමත් වුණාම, අපොස සාමාන්‍ය පෙළ හොඳට කරල සමත් වුණාම අර වගේ පාසලකට ඇතුළත් වෙන්න පුළුවන්. එතකොට ධනපතියන්ගෙත් ටි‍්‍රනිටි, සෙන් තෝමස්, බුඩිස්ට් ලේඩිස්, මියුසියයස් වගේ ඉස්කෝල තියෙනවා. ඒවට දුප්පතුන්ගේ ළමයින්ට එන්නත් නිදහස දීලා තිබුණා. අධ්‍යාපනයේ මේ තරම් කලබලයක් නැති කාලේ රෝයල් කොලේජ් එකට රනිල් වික්‍රමසිංහ මහත්තයා බැදෙනවා. නොමිලේම ඉගෙන ගන්නවා, නොමිලේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරනවා. ඒත් එතුමා කෝටිපතියෙක්ගේ පුතෙක්.

නමුත් මේ අවස්ථාව දෙන්න ඕන ඉඩ කඩක් තියෙනවා නම් පමණයි. තරගයෙන් කොහොම හරි එන ළමයින්ට මේ පාසල්වල ඉඩදෙන්න  ඕන. ශිෂ්‍යත්වයෙන් මුල් තැන ගන්න ළමයි ඒ ඉස්කෝල වලට යද්දී ඊට පස්සේ ඉන්න ළමයින්ට යන්න හොඳ  ඉස්කෝල හදන්න ඕන. ඩොක්ටර්ස්ලා අහනවා අපේ ළමයි යන්නේ කොහාටද කියල? ශිෂ්‍යත්වේ හරි ඕලෙවල් හරි හොඳට පාස් වුනාම ඒ අයගේ ළමයිටත් යන්න පුළුවන්. දැන් ඕල්ඞ් බෝයිස් ඇසෝසියේෂන් වලින්  මේ ඉස්කෝල අල්ලගෙන ඉන්නේ මාෆියා එකක් වගේ. මගේ ඉස්කෝලෙ ආනන්දෙත් එහෙම තමයි.

ඕනේ කෙනෙක්ට පෞද්ගලික අධ්‍යාපන මධ්‍යස්ථාන තියාගන්න පුළුවන්. අපි ඒකට විරුද්ධ නැහැ. නමුත් අපි කියන්නේ නිදහස් අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරලා දියුණු කරන්න කියල. දැන් පෞද්ගලික මෙඩිකල් ෆැකල්ටියක් හැදුවට ලොකු විරෝධයක් එනවා. නිදහස් අධ්‍යාපනය නැති කරනවා කියල.  ජවිපේ සහෝදරවරුත් මේකට බැහැලා මහා ශිෂ්‍ය සටනක් ඇති කරන්න උත්සාහ කරනවා. ධනපතියෝ ඒ අයට යන්න විශ්විද්‍යාල හදාගත්තම අපිට මොකද? උන් ඇවිල්ලා රජයේ වෛද්‍ය පීඨයක් අල්ලන්න හදනවා නම් අපි ඒකටයි කෑගහන්න  ඕනේ. ධනපතියෝ වෙනම ඉගෙන ගන්න යනවා නම් අපි මොකටද ඒකට විරුද්ධ වෙන්නේ.(Ravaya)

ඔබගේ අදහස අපට කියන්න

Close