උපන් ලප යනු පෙර ආත්මවල මතක සටහන්ද ? ඛෙල්ලන ඥානවිමල නාහිමියන්ගේ දේශනා

මහා නායක හාමුදුරුවනේ,සිතේ ඇතිවන සිතිවිලි ස්වභාවය – කයෙහි (ශරීර) ස්වරූපයට කෙතරම් බලපෑමක් ඇති කරනවාද?

කය යනු සිතේ නවාතැනක්. ඒක හරියට නිවහනක් වගෙයි. නිවසක් වුණත් හදා ගන්නේ, තියාගන්නේ තම තමන්ගේ සිතිවිලිවල ස්වභාවය අනුවයි. ඒ වගේ තමයි, අපේ කයත්. සිත කිළිටු වන විට කය අපිරිසුදු වී වැහැරෙනවා. සමහරුන්ගේ ශරීර දිහා බලපුවාම සිත කරදරවලින් පිරිලා බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. එතරම්ම සිතයි, කයයි අතර සබැඳියාවක් පවතිනවා.

බුදුදහමේ මෙබඳු සංසිද්ධීන් හා බැඳුණු කථා පුවත් විස්තර වෙන්නේ කොහොමද?

බුදුන් දවස, අනුරුද්ධ හාමුදුරුවන්ට ‘රෝහිණී’ කියලා සහෝදරියක් සිටියා. ඇයට මුළු ඇඟ පුරාම ඉතා දරුණු කුෂ්ඨ රෝගයක් හටගෙන තිබුණා. ඇය පෙර ආත්මයේ දී දැඩි ඊර්ෂ්‍යාවෙන් යුතුව සුරූපී කාන්තාවකගේ සිරුරේ වස වර්ගයක් ස්පර්ශ කර එම සුරූපී කතගේ ස්වරූපය විරූපී කර දමනු ලැබුවා. එලෙස සිතේ හටගත් වෛරී සිතිවිලි ඊට පසු ආත්මභාවයේ දී පවා ඇය (රෝහිණී) ගේ කයෙහි ස්වරූපය විරූපී කිරීමට තරම් බලපෑමක් ඇති කළා.

සිතේ ඇතිවන ඊර්ෂ්‍යාව – රුසියාවටත් වඩා විශාලයි කියන්නේ මේ නිසායි. ආත්ම ගණනාවකට ඉහතින් රන්තලියක් මිලදී ගන්න ගිහින් ගෞතම බෝසතුන් කෙරෙහි දේවදත්තගේ සිතේ හටගත්ත වෛරය අවසන් වුණේ මහා නිරයට පවා ඔහු ඇද දමමිනුයි. සිතේ උපදින සිතිවිලි එතරම්ම ප්‍රබලව ඉදිරියට ගලා යනවා.

උපන් ලපවල පිහිටීම්

එතකොට, මේ ආත්මයේ දී අපේ ශරීරවල හටගෙන තියෙන ලප, කැළල්, උපන්ලප ආදී දේවලුත් සිතේ බලපෑමෙන් ඇති වූ ඒවා ද?

ඔව්, පෙර ආත්මවල සිදු වූ තද බල කැපීම්, වෙඩි වැදීම් වැනි තුවාල වූ තැන්වල බොහෝ විට උපන් ලප (Birth Mark) ආදී සලකුණු දක්නට ලැබෙනවා. මේ විධියට මිනිසුන් තුළ වගේම ඇතැම්විට සතුන් තුළත් උපන්ලප පිහිටනවා. තද කළු ලප සහිත උපන්ලප සහ හමෙන් උඩට මතු වුණ ගැට සහිත උපන් ලප යනුවෙන් දෙවර්ගයක් තිබෙනවා. ඒවායේ පිහිටීම් අනුව, සුබ අසුබ ඵල වගේම පෙර ආත්මවල ශරීර සලකුණු පිළිබඳවත් කිසියම් ඉඟියක් ලබා දෙනවා.

මේ පිළිබඳව “දෛවඥකාම ධේනුව“ නමැති ඉපැරණි ඡ්‍යොතිෂ්‍ය ග්‍රන්ථයෙහි බොහෝ විස්තර දැක්වෙනවා. මීට අමතර, මහාචාර්ය හෙලන් වැම්බෝ, එඩ්ගා කේසී වැනි අය වගේම ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන සහ මනෝ වෛද්‍ය ජී.ඒ. ගමගේ වැනි මෝහණ විශේෂඥයන් සිදු කළ මෝහණ අනාවරණ සංසිද්ධීන් මඟින් වුණත් එම කරුණු කියාපානු ලබනවා.

මිනිස් සිතේ හැටි

එහෙමනම්, නූතන මනෝ විද්‍යාවේ පියා ලෙස සැලකෙන සිග්මන්ඩ් ප්‍රොයිඩ් වැන්නන් ‘සිත’ පිළිබඳව කර තිබෙන පැහැදිලි කිරීම කුමක්ද?

‘මිනිස් සිත’ ඔහු ‘අයිස් කන්දකට’ (Ice Berg) උපමා කරනවා. සාගරයේ ඇති අයිස් කන්ද ජලයෙන් මතුපිටට පෙනෙන්නේ ඉතාම සුළු කොටසක් පමණයි. එලෙස මතුපිටට පෙනෙන කුඩා කොටස සිතෙහි එක් මට්ටමක් වන සවිඥානය (Conscious)  යනුවෙන් ඔහු හඳුන්වා තිබෙනවා. මේ අනුව ඔහු ‘මිනිස් සිත’ මට්ටම් තුනක (03) ට බෙදා දක්වනවා. එනම්, 1. සවිඥානය (Conscious) 2. පූර්ව සවිඥානය (Sub Conscious)  සහ 3. අවිඥානය(Unconscious) වශයෙනුයි. මෙයින් ‘අවිඥානය’(Unconscious) හෙවත් ‘යටි සිත’ ජලයෙන් මතු පිටට නොපෙනෙන අයිස් කන්දේ ජලයෙන් යට ඇති විශාල කොටස ලෙසත් ප්‍රොයිඩ් පෙන්වා දෙනවා.

සිතෙහි ප්‍රභේද

එතකොට, ප්‍රොයිඩ්ගේ මෙම සිත වර්ග කර දැක්වීමේ ඇති ක්‍රියාකාරී පදනම මොකක්ද?

සිතේ ඇතිවන ප්‍රේරණයන් (හැඟීම්) ඔහු මේ සඳහා සැලකිල්ලට ගෙන තිබෙනවා. කුසගින්න, පිපාසය, ලිංගික අවශ්‍යතා ආදී ප්‍රාථමික ප්‍රේරණයන් ‘දළ සිත’ (Id) යටතට අයත් වෙනවා. මේවා බොහෝ විට මේ මොහොතේ ම ක්‍රියාත්මක වන ඒවායි. ඊඟාවට ‘සුපහන් සිත’ (Super Ego) තුළ ගති පැවතුම්, ජීවන රටා හා සමාජ සාරධර්ම ආදිය පවතිනවා. ඒ වගේම ‘පහන් සිත’ (Ego) යනුවෙන් මේ දෙක (Id – super Ego) අතර යථාර්ථවාදී මූලධර්ම අනුව සිත ක්‍රියාත්මක වන බව ඔහු පෙන්වා දී තිබෙනවා.

මෙලෙස සමාජයෙන් ලබා ගන්නා දැනුවත්කම් අනුව පහන් සිත (Ego) පාලනය කෙරුවද, ඇතැම්විට දළ සිත(Id) ප්‍රබල වන අවස්ථා මතු වෙනවා. එවිට එහි නිවැරදිභාවය තීරණය කරනු ලබන්නේ, ‘සුපහන් සිත’ (Super Ego) මඟිනුයි. ජනවහරේ හෘද සාක්‍ෂියට එකඟව යනුවෙන් හඳුන්වන්නේ ඊට සමාන දේකටයි. මිනිසා ලබාගෙන ඇති ගුණධර්මය හා වටිනාකම් මත එය ක්‍රියාත්මක වෙනවා.

චිත්තාවේග

ඉහත වර්ග කිරීමට අයත් නොවූ ‘චිත්තාවේග‘ වැනි තත්ත්වයන් හඳුන්වා දෙන්නේ කොහොමද?

‘චිත්තාවේග‘ (Emotions) කියන්නේ, පුද්ගලයාගේ සිතෙහි ඇතිවන එකිනෙකට වෙනස් මානසික ස්වභාවයන්ටමයි. මේ අප අවට ඇති දේ සංජායනය (ග්‍රහණය) කර ගෙන ඊට ප්‍රතිචාර ලෙස චිත්තාවේග හට ගන්නවා. පුද්ගලයාගේ සිතේ ඇතිවන දුක, සතුට, බිය හා සැක සංකා යන ආදිය මේ අතර වෙනවා.

දැන් ‘කාංසාව‘ මානසික රෝග තත්ත්වයක් ලෙස දැක්වුවත්, මනෝ විශ්ලේෂණවාදීන් එය දක්වන්නේත් ‘චිත්තාවේගයක්’ වශයෙනුයි. මේ කවර මට්ටමේ චිත්තාවේගයක් වුණත් පුද්ගලයාගේ සිත තුළ ඉතා දීර්ඝ කාලයක් පවතින්නේ නැහැ. එය යම්කිසි කාලයකින් නිවී යටපත් වී යනවා. “ඕක කාලයත් එක්ක හරියයි” කියන්නේ ඒ නිසායි.

නමුත්, චිත්තාවේග නෂ්ටාවශේෂ වී මතකයේ තැන්පත් වෙනවා. ඇතැම් චිත්තාවේග ඊළඟ ආත්මයටත් යටි සිත සමඟ ගමන් කරනවා. හැබැයි සමහර භෞතික හා ආධ්‍යාත්මික ක්‍රියාකාරකම් මඟින් එලෙස සිතේ පවතින චිත්තාවේග වෙනස් කළ හැකියි. පුද්ගලයාගේ සිත තුළ ඇතිවන දැනුවත්භාවය, කාරුණික භාවය හා විශ්වාසනීයභාවය යන ආදී සාධක මෙසේ, සිතේ චිත්තාවේග වෙනස් කිරීම සඳහා සෘජුවම බලපානු ලබනවා.

සිත, කය සහ භවය

එහෙමනම්, සිත, කය සහ භවය යනු එකිනෙකට බැඳී යාවුණු එකම දම්වැළක පුරුක් තුනක් වගේ දෙයක්ද?

සිත තමයි මේ හැම දේකම ප්‍රධානියා වෙන්නේ. කය ඇති කර ගන්නත්, කය නැති කරගන්නත් වගේම භවය දිගු කර ගන්නත්, කෙටි කර නිමා කර ගන්නත්, සිතම තමයි ප්‍රධාන වෙන්නේ. සිත විග්‍රහ කරන්නට සමත් සරසවි, පාඨමාලා, විද්‍යාවන් මිහිපිට බිහිවෙන එකක් නැහැ. ඒ තරමටම ‘සිත’ මහා සංකීර්ණ දෙයක්. මේ නිසා සංකීර්ණ ක්‍රියාවලියක් සිදුකරන වස්තුවක් මේ මහා සක්වලේම නැහැ.

භවය (සසර) තුළ සිතකට අනිවාර්යයෙන් එක කය( ශරීරය) කට වඩා බොහෝ ගණනක් ඇති වෙමින්, පවතිමින්, නැති වී යනවා. විවිධ ශරීරවල ලැගුම් ගෙන සිත මේ භවය තුළ විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඇතැම් නූතන මනෝ විද්‍යාඥයින් මිනිස්සිත අති නවීන පරිගණක යන්ත්‍රයක (Computer) ට උපමා කරන්න උත්සාහ කරනවා. නමුත්, මිනිස් සිතේ ඊට වඩා බොහෝ දේ තැන්පත්ව ඇති බවත්, ඒවා එකවර මැකී නොයන බවත් ඔවුන් ද පිළිගනු ලබනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close