2009 -2014 අතර ලංකාවේ ආර්ථීකය කඩා වැටුණු හැටි ෆොර්බ්ස් සගරාව හෙළිකරයි

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය ගණනය කිරීමට පවා දුෂ්කර වූ අවදානමක පවතින බව ජාත්‍යන්තර ෆෝර්බ්ස් සඟරාව සඳහන් කරයි.

ෆෝර්බ්ස් සඟරාවෙහි ආරාධිත ලේඛකයකු මෙන්ම ඉමර්ජින් මාර්කට්ස් ඉන් ඒෂියා ග්‍රන්ථයේ කර්තෘ වේඞ් ෂෙපර්ට් ඉදිරිපත් කර ඇති එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 64.9 ක් වන බවත් ඒ අනුව රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 75%ක් ණය වශයෙන් ගෙවීමට සිදු වීම රටකට දරාගැනීමට අපහසු සහ ණය උගුලක සිරවීමට වුවත් ඉඩ ඇති ණය බරක් බවය.

ඒ බව තවදුරටත් සනාථ කිරීම වෙනුවෙන් වේඞ් ෂෙපර්ට් විසින් දත්තමය සාක්ෂියක් ලෙස රටේ ආදායම සහ එම ආදායමෙන් ණය ලෙස ගෙවීමට ඇති ප්‍රමාණය ඉදිරිපත් කරන අතර ඊට අනුව මෙරට ආදායමෙන් ප්‍රතිශතයක් ලෙස 95.4% ක් ණය ලෙස ගෙවීමට සිදුව ඇත.Forbes

මේ අතර 2016 වර්ෂයේ පමණක් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4.5 ක් ණය වශයෙන් ගෙවීමට සිදුව ඇති බවත් ලබන වසරේ දී එය ඩොලර් බිලියන 4ක් වනු ඇති බවත් ෆෝර්බ්ස් වාර්තාවේ සඳහන්ව ඇත.

ණය උගුලේ පැටලුණේ කොතනින්ද?

මේ අයුරින් රට ණය අර්බුදයක ගිලී යාම විග්‍රහ කරමින් වේඞ් ෂෙපර්ට් පෙන්වා දී ඇත්තේ 2009 සහ 2014 යන කාලය අතරතුර රජයේ මුළු ණය ප්‍රමාණය තෙගුණයක් වී, බාහිර ණය දෙගුණයක් බවට පත් වීමට පසුගිය ආණ්ඩුවේ රාජ්‍ය මූල්‍ය අවභාවිතය හේතු වී ඇති බවය. එසේම මෙම ණය ලබා ගැනීම් වැඩි වශයෙන් භාවිත කර ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ඉදිකෙරුණු අධික වියදම් සහිත විශාල ප්‍රමාණයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා බවත් ඒ හරහා ශ්‍රී ලංකාව ගොඩනගාගෙන ඇත්තේ ලෝකයේ හුදෙකලාම ගුවන්තොටුපොළක්, නොරොච්චෝලේ ගල්අඟු‍රු බලාගාරයක්, වැඩිම වියදමක් දරා ඉදිකළ අධිවේගී මාර්ග සහ ඩොලර් මිලියන 42 ක වියදමින් හම්බන්තොට වරායේ භූගත ගලක් ඉවත් කිරීම ආදී කිහිපයක් පමණක් බව ද සඳහන් කර ඇත.

මේ අයුරින් ඵලදායී නොවන අයුරින් යටිතල පහසුකම් සංවර්ධනයට ණය ගැනීම තුළ ශ්‍රී ලංකාව චීනයට පමණක් ඩොලර් බිලියන 8ක් ගෙවිය යුතු බව ද ෆෝර්බ්ස් වාර්තාවේ සඳහන්ව ඇත.

ඔබගේ අදහස අපට කියන්න

Close