ජ්‍යොතිෂ්‍ය උපදෙස් එයාටම තියාගන්න කියන්න / මහින්ද සුමනදාසට පිළිතුරු දෙයි

එක්සත් ජාතික පක්ෂය හෝ අගමැතිවරයා සමග තමන්ගේ කිසිදු රහස් ගණුදෙනුවක් නැති බව හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කලකට පසු සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ජාවක් ලබාදෙමින්. මේ එම සාකච්ජාවයි.

ප්‍රශ්නය – බොහෝ දෙනා දැන් ඔබව හඳුන්වන්නේ හිටපු ජනාධිපති ලෙස. ඒ අතර සමහරු ඔබව හඳුන්වන්නේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස. වසර නවයක්‌ ජනාධිපති පුටුවේ සිටි ඔබ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ ලෙස හඳුන්වා දෙද්දී ඔබට දැනෙන්නේ කොයි වගේ හැඟීමක්‌ද…?

පිළිතුර – මේ සියල්ල දේශපාලන ප්‍රතික්‍රියානේ. කොයි විදිහෙන් හැඳින්නුවත් මම මමමනේ. මම මහින්ද රාජපක්‌ෂ කියන එක කාටවත් වෙනස්‌ කරන්න බැහැනේ. ඔය විශේෂණ පද දෙක ඇතිව හැඳින්නුවත් ඔය දෙක නැතිව හැඳින්නුවත් මම මහින්ද රාජපක්‌ෂනේ. මට මේ තනතුරුවල ලොකු වෙනසක්‌ නැහැ.

ප්‍රශ්නය – දෙවරක්‌ මහජන ඡන්දයෙන් ජනාධිපති තනතුරට පත්වෙලා, තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක්‌ සහිතව ආණ්‌ඩු කරපු ඔබ අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌. මේ තත්ත්වය ඔබට දරාගන්න පුළුවන්…?

පිළිතුර – තනතුරක්‌ කියන්නේ අතහැර දැමිය යුතු දෙයක්‌. තනතුරක්‌ ලැබෙන කොටම එය අවසන් වෙන දිනයකුත් සටහන් වෙනවා. මගේ දේශපාලන ජීවිතයේ ප්‍රධාන තේමාවක්‌ ඒක. මම ජනාධිපතිවරයෙක්‌ විදිහට කටයුතු කළා. ඒ වගේම ඊළඟ අවස්‌ථාවේ මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ බවට පත් වුණා. ඒක මට දරා ගන්න පුළුවන් නිසා තමයි මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ බවට පත් වුණේ. එහෙම නැත්නම් මම මේ තනතුරේ ඉන්නේ නැහැනේ. විශ්‍රාම ගිහින් ඉන්නවානේ. මම නිවසට ගිහිල්ලා ඉන්න කොට ජනතාව මාව බලන්න ආවේ ලක්‌ෂ ගණනින්. ඊළඟට ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු එකතුවෙලා ශ්‍රීලනිපය සහ රට මුහුණපාන තත්ත්වය මත මගෙන් ඉල්ලීමක්‌ කළාම මම කල්පනා කළා, දේශපාලනයෙන් විශ්‍රාම යනවාද යළි දේශපාලනයේ යෙදෙනවද කියලා. මාව යළි දේශපාලනයට ඇදලා ගත්තේ මෛත්‍රිපාල සිරිසේන. මට හැමදාම බණින කොට මම ඒවාට උත්තර දෙන්න ඕනේ. ඒ එක්‌කම තමයි, ජනතාව සහ ඒකාබද්ධ විපක්‌ෂයේ නායකයෝ මට යළිත් දේශපාලනයට එන්න කියලා කතා කළේ. ශ්‍රීලනිපය පමණක්‌ නොවෙයි, සමස්‌ත වාම බලවේගයම එජාපයට පාවාදෙමින් සිටින විට මටත් විශ්‍රාම සුවයෙන් ඉන්න බැහැනේ. ශ්‍රීලනිපයට පක්‌ෂ ඉතිහාසයේ ලොකුම ජයග්‍රහණ අරන් දුන්නේ මගේ නායකත්වයෙන්. වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත් වුණේ ඒ යුගයේදී. ඒ විදිහට මේ පක්‌ෂය වෙනුවෙන් කැපවීම් කරපු මට, පක්‌ෂය එහි ප්‍රතිවාදියාට, මහ දවාලේ පාවා දෙනවා බලාගෙන ඉන්න බැරි නිසා, ජනතාවගේ සහ අපේ නායකයන්ගේ ඉල්ලීම මතයි මම ආයෙත් දේශපාලනයට ආවේ.

ප්‍රශ්නය – ඒ කියන්නේ, ජනවාරි නව වැනිදා උදේ පාන්දර ඔබ මැදමුලනට ගියේ, යළි දේශපාලනයට නොඑන බවට තීන්දුවක්‌ අරගෙනද…?

පිළිතුර – නැවත දේශපාලනයට එන්නේ නැහැ කියන තීන්දුව මත තමයි මම පැහැදිලිවම හිටියේ.

කරපු වැරදි මේවා තමයි

ප්‍රශ්නය – මගේ කාලයේදීත් වැරදීම් සිදුවුණා කියලා, ඔබ වරක්‌ ප්‍රකාශ කළා. ඔබ වැනි කෙනෙක්‌ පරදින තරමට, ඒ කාලයේ සිදුවුණු වැරදි මොනවාද…?

පිළිතුර – මම කරපු ලොකුම වැරැද්ද තමයි, සමහර පුද්ගලයන්ව අනවශ්‍ය විදිහට විශ්වාස කරපු එක. මගේ ළඟ හිටපු සමහරු ගැන අධිතක්‌සේරුවක්‌ කරලා, ඒ අයව විශ්වාස කළා. දැන් සමහරු කතා කරන විදිහ දැක්‌කාම මට හිතෙන්නේ, මේ මගේ ළඟ හිටපු අයද කියලයි. මේ අය නේද අපිව ඇන්දුවේ කියලා මට හිතෙනවා. යටින් කුමන්ත්‍රණ කරපු අයව අඳුරගන්න මට බැරිවුණා. ඔය දැන් ගොඩක්‌ අය ජනවාරි අට ජයග්‍රහණයක්‌ කියලා, පොත් ලියනවා. ඇත්තටම ඒක කුමන්ත්‍රණයක්‌නේ. මේ පොත් ඔක්‌කොමෙන්ම පැහැදිලිව පෙනෙන්නේ එක දෙයයිනේ. මේක කුමන්ත්‍රණයක ප්‍රතිථලයක්‌ කියලනේ.

ප්‍රශ්නය – තව වසර දෙකක්‌ තිබියදී ජනාධිපතිවරණයකට යන්න කියලා ඔබට උපදෙස්‌ දුන්න ජ්‍යෙdතිෂ්‍යවේදීනුත් මේ කුමන්ත්‍රණයේ හිටියද…?

පිළිතුර – ඒ අය මොන දේවල් කිව්වත් දේශපාලන තීන්දුවක්‌ මතයි මම ජනාධිපතිවරණය පැවැත්වුවේ. මම හැමදාම මැතිවරණ විශ්වාස කරපු කෙනෙක්‌. ජනතාවගේ පරමාධිපත්‍ය බලය, ඡන්ද අයිතිය විශ්වාස කරපු කෙනෙක්‌. ඒ වෙලාවේ ඡන්දය තියන්න මම තීන්දු කළා. ජ්‍යෙdතිෂ්‍යවේදීන් එපා කිව්වත් මම ඒ වෙලාවේ ඡන්දය තියනවා. මෙතැනදී වුණේ, ඒ වෙලාවේ ඡන්දය තියන්න කියලා ඒ අයත් මට කිව්වා.

ප්‍රශ්නය – ඒ අවස්‌ථාවේ ඡන්දයක්‌ නොතියෙන ලෙස පක්‌ෂයේ ලේකම් ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ඔබගෙන් ඉල්ලීමක්‌ කර තිබෙනවා. ඒ සඳහා සාධක සහිත වාර්තාවක්‌ පවා, ඔහු ඔබට ඉදිරිපත් කර ඇති බව ප්‍රකාශ වුණා….

පිළිතුර – එහෙම කිව්වා කියලා එයා කියනවා. එහෙම කිව්වා කියලා මට නම් මතක නැහැ.

ප්‍රශ්නය – නියමිත කාලයට අවුරුදු දෙකකට කලින් ඔබ ඡන්දයක්‌ සඳහා ගිය හේතු මොනවද…?

පිළිතුර – මම යුද්දේ දිනලත් අවුරුදු දෙකකට කලින් ඡන්දය තිබ්බා. මේ රටේ හිටිය හැම ජනාධිපති කෙනෙක්‌ම කාලයට කලින් ජනාධිපතිවරණ පැවැත්වුවා. ඡේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා දෙවැනිවර පත්වෙච්ච ඡන්දය පැවැත්වුවේත් වසර දෙකකට කලින්. මගේ ළඟ ඡන්ද කල් දාන සිරිතක්‌ නැහැනේ. මම ජනතා තීන්දුව පිළිගන්න බය කෙනෙකුත් නෙමෙයි. අකමැති කෙනෙකුත් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය කතා කර කර, බයට ඡන්ද කල්දාන්නෙ මේ අයනේ. අපි කලින් ඡන්දයක්‌ තිබ්බ එක ප්‍රශ්නයක්‌ වෙලා තියන්නේ ඒකනේ.

ප්‍රශ්නය – මහා ආර්ථික කඩා වැටීමක්‌ එන බව කල් තියා දැකලා, ඒකෙන් ගැලවීම සඳහා ඉක්‌මන් ඡන්දයකට ඔබ යොමු වූ බව සමහරු පවසනවා…

පිළිතුර – මොන ආර්ථික කඩා වැටීමක්‌ද…? අපි හිටියනම් ආර්ථිකය ශක්‌තිමත් වෙනවා. බ්රේක්‌ ගැහැව්වා වගේ සංවර්ධනය ඇනහිටීම නිසා තමයි, ආර්ථිකය අද කඩා වැටිලා තියෙන්නේ. වසර එකහමාරක්‌ තිස්‌සේ සංවර්ධනය නැවතිලා තියෙනවා. ඒ සංවර්ධනය තුළ අපි දීර්ඝ කාලීන වැඩ පිළිවෙලකට ගියා. වරායක්‌ හැදුවත්, ගුවන් තොටුපලක්‌ හැදුවත් එකෙන් මේ රටේ සංවර්ධනයක්‌ ඇතිවුණානේ. රටේ වටිනාකම වැඩි වුණානේ. ඒ සඳහා ගිය වටිනාකම වගේ තුන් ගුණයකට ඒ දේවල් අද විකුණන්න පුළුවන්. මේ කට්‌ටිය තරගෙට විකුණන්න ලැහැස්‌ති වෙන්නේ ඒ නිසානේ. අපිට දැක්‌මක්‌ තිබුණා. යන්න ඉලක්‌කයක්‌ තිබුණා. ඒ නිසා අපි ඡන්දයකට යන්න බය වුණේ නැහැ. ඡන්දයක්‌ ඉල්ලන්නේ පැරදෙන්න නෙමෙයිනේ. දිනන්නනේ… දින්නා නම්, ඒ වගකීම භාර ගන්නෙත් මමනේ. ආර්ථික කඩා වැටීමක්‌ තියෙනවා නම්, මම ඒ ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ නැහැනේ. වෙන කාට හරි තරග කරන්න ඉඩ දීලා නිකං ඉන්නවානේ…

අලුත් පක්ෂයක් හැදෙයිද ?

ප්‍රශ්නය – ඔබ විසින් නව පක්‌ෂයක්‌ ඇති කිරීම සඳහා සූදානම් වෙන බවට ආරංචියක්‌ දැන් කාලයක පටන් කතා බහට ලක්‌වී තිබෙනවා. නව පක්‌ෂයේ තොරතුරු මොනවාද…?

පිළිතුර – මේක මගේ වුවමනාවකට වඩා ජනතාවගේ වුවමනාවක්‌. එජාපයට එරෙහිව රටේ බලවේගයක්‌ හැදෙන්න එපායෑ. මේ ආණ්‌ඩුව එජාප. ශ්‍රීලනිප, ටිඑන්ඒ සහ ජවිපෙ එකතුවක්‌. ජනවාරි අට වෙනිදා හංස ලකුණෙන් ඉදිරිපත් වුණු කට්‌ටිය තමයි මේ. මේ හංස සේනාව තමයි අද ආණ්‌ඩුව කරගෙන යන්නේ. මේ පිරිසට විරුද්ධව එකම බලවේගය බවට පත්වෙලා තියෙන්නේ අපි. පනස්‌ අට ලක්‌ෂයක ඡන්දදායකයන්ට තමන්ගේ මතය කියන්න තැනක්‌ තිබිය යුතුයි. ඒ අයගෙන් ඡන්ද අරගෙන සමහරු ආණ්‌ඩුවට ගියාට, ජනතාව එහෙම තමන්ගේ මතය වෙනස්‌ කර ගන්නේ නැහැ. ඔවුන් නියෝජනය සඳහා අලුත් බලවේගයක්‌ රටට අවශ්‍ය වී තිබෙනවා.

ප්‍රශ්නය – ඔබ ඉන්නෙත් ඒ මතයේද…?

පිළිතුර – මම තාම බලාගෙන ඉන්නවා.

ප්‍රශ්නය – රත්නපුරයේදී පවත්වන රැස්‌වීම අලුත් පක්‌ෂයක්‌ සඳහා වන මංගල පියවර වශයෙන් සමහරු හඳුන්වනවා…

පිළිතුර – රත්නපුරයේදී විතරක්‌ නෙමෙයි අපි රට වටේම රැස්‌වීම් පවත්වනවා. සංවිධායක තනතුරුවලින් ඉවත් කරපු අයගේ ආසනවල මේ රැස්‌වීම් මාලාව සංවිධානය කරනවා. හෝමාගම, පිළියන්දල වගේ තැන්වලත් අපි රැස්‌වීම් පවත්වනවා.

ප්‍රශ්නය – ඔබ කෙලින් නොකිව්වාට සියලු වැඩකටයුතු කෙරෙන්නේ අලුත් පක්‌ෂයක්‌ බිහිකිරීම සඳහා බව ඔබ යන ගමනින් පෙනෙනවා.

පිළිතුර – මම හැමවෙලේම ජනතාවගේ පැත්තේ හිටියා. දේශපාලන පාවා දෙන්නන්ගේ පැත්තේ මම කවදාවත් හිටියේ නැහැ.

කැමැත්තෙන් දුන්නාද ? බලෙන් ගත්තාද?

ප්‍රශ්නය – ශ්‍රීලනිප නායකත්වය ඔබ විසින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට භාර දීලා. ඒ කටයුතු කරගෙන යන්න සහයෝගය දෙන්නේ නැතිව, අලුත් පක්‌ෂ හදන්න යන්නේ ඇයි…?

පිළිතුර – මම පක්‌ෂ නායකත්වය භාරදීලා, මැදමුලනට ගියා. පක්‌ෂ නායකත්වය අරගත්තට පහුවදා ඉදලා, මට බණින්න, චෝදනා කරන්න පටන් ගත්තා. ඉතිං මම ඒවාට උත්තර දෙන්න ඕනෙනේ. මේ බොරු චෝදනාවලට උත්තර නොදී මට පැත්තකට වෙලා ඉන්න පුළුවන්ද? එතුමා මට ළඟදි කරපු චෝදනාව බලන්න. නෙලුම් පොකුණ රඟහල හදන්න මම මුල් ගල තියන කොට, චන්ද්‍රිකා ජනාධිපතිතුමිය තියපු මුල්ගල ඩෝසර් කරලා දැම්මා කියලා එතුමා මට චෝදනා කළා. මේක එතුමා අවුරුද්දක්‌ විතර හිතේ තියාගෙන කල්පනා කර කර හිටියලු. දැන් නෙලුම් පොකුණ රඟහලට ගිහිල්ලා බැලුවොත් පෙනේවි, මම තියපු මුල් ගලයි, චන්ද්‍රිකා ජනාධිපතිතුමිය තිබ්බ මුල් ගලයි දෙක එකට තියෙන හැටි. එතුමිය කඩිමුඩියේ මුල් ගල තිබ්බේ මැතිවරණ කාලයේ. අපි තිබ්බ මුල්ගල වැඩපටන් ගත්ත මුල් ගලක්‌. ඒකත් මතක තියා ගන්න ඕනේ. මෙහෙම බොරු කිය කිය, මට ගහන කොට ඒවාට උත්තර දෙන්න එපායෑ. එහෙම තමයි මාව දේශපාලනයට ආයෙත් ඇදලා ගත්තේ. මට බණින්න බණින්න ජනතාව මගේ වටේ රොක්‌ වුණා. මෙයාලා දන්නේ කුමන්ත්‍රණ කරන්න. මම දන්නේ ජනතාවගේ හදවත අඳුනගන්න.

ප්‍රශ්නය – ඔබට සහ ඔබේ පවුලේ අයට විරුද්ධව නොයකුත් චෝදනා ආණ්‌ඩුව විසින් එල්ල කරලා තියෙනවා. ඔබ වටා සිටින අයත් එවැනි චෝදනාලාභීන්. මේවායෙන් ගැලවීම සදහා ප්‍රතිකර්මයක්‌ ලෙස, නව දේශපාලන ගමනක්‌ ඔබ විසින් ගොඩනගන බවටත් චෝදනා තිබෙනවා.

පිළිතුර – චෝදනාවලින් ගැලවෙන්න කරන්න තියෙන්නේ, ආණ්‌ඩුවට හේත්තු වෙන එකනේ. ඔය ආණ්‌ඩුව පැත්තේ ඉන්න අයට කොච්චර චෝදනා තියෙනවද…? ඒවා පෙන්න පෙන්න ඒ අය ඒ පැත්තේ තියාගෙන ඉන්නවා. ඒගොල්ලොත් කැමැත්තෙන් ඉන්නවා නෙමෙයි. බයට ඉන්නේ. මේ අලුත් බලවේගයට බයේ අපේ පවුලේ අය හිරේ දානවා. ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු හිරේ දානවා. ඒ අය රට පාවලා දෙනකොට සද්ද නැතිව හිටිය නම්, ආර්ථිකය හොර ගුහාවක්‌ කරගෙන බංකොලොත් කරන කොට සද්ද නැතිව හිටියා නම්, අපිට චෝදනා මොකුත් නැතිව පැත්තකට වෙලා, ඕනේ නම් තනතුරුත් අරගෙන ඉන්න තිබ්බා. මගේ දුරකතථනය ටැප් කරලා… ඒක තව කමක්‌ නැහැ කියමුකෝ… මම දේශපාලනඥයෙක්‌නේ. අද මේ රටේ සිටින විනිශ්චයකාරවරුන්ගේ දුරකතන පවා ටැප් කරනවානේ. මේ තරම් බයකින් ඇයි ආණ්‌ඩු කරන්නේ. තමන්ට ශක්‌තියක්‌ නැති බව දන්නා නිසයි. මර්දනය තමයි මේ ආණ්‌ඩුවට තියෙන එකම ශක්‌තිය වෙලා තියෙන්නේ.

ප්‍රශ්නය – ඔබ පක්‌ෂ සභාපතිකම මෛත්‍රිපාල ජනාධිපතිතුමාට දුන්නේ ඇයි…?

පිළිතුර – මේක හොඳට තේරුම් ගන්න ඕනේ දෙයක්‌. එතැනදී මේ පක්‌ෂයට මගේ තියෙන ආදරේ බලපෑවා. අනික්‌ පැත්තෙන් පක්‌ෂ නායකත්වය උදුරා ගැනීමේ මෙහෙයුමකුත් ක්‍රියාත්මක වුණා. මම පරාද වුණාට පස්‌සේ ඒ අය වෙනම පක්‌ෂ මධ්‍යම කාරක සභාවක්‌ පත් කරගෙන නායකයෙක්‌ සහ ලේකම්වරයෙක්‌ එයාගේ ගෙදරදී පත් කර ගත්තා. එදා තමයි පක්‌ෂය කඩන්න පටන් ගත්තේ. පක්‌ෂ මධ්‍යම කාරක සභාව ඩාර්ලි පාරේ රැස්‌වෙලා ඉද්දි, හොර මධ්‍යම කාරක සභාවක්‌ එයාගේ ගෙදර රැස්‌වුණා. ඊට පස්‌සේ මට ඇවිල්ලා කිව්වා, පාක්‌ෂිකයන්ට හිරිහැර කරනවා, ඒකෙන් බේරගන්න තියෙන එකම ක්‍රමය එයා සභාපති කරන එක කියලා. පක්‌ෂය නොකැඩි තබා ගන්නත් පාක්‌ෂිකයන් බේරා ගන්නත් තියෙන එකම දේ සභාපතිකම ලබාදීම නිසා, මම ඒක මෛත්‍රිට දුන්නා. මට බලලෝභයක්‌ තනතුරු ලෝභයක්‌ තිබ්බා නම් මම ඒක දෙන්නේ නැහැනේ… අද ශ්‍රීලනිපය මේ අයගෙන් බේරා ගන්න වෙලා තියෙන්නේ අපිට. අද එජාප කුස්‌සියේ වළං පිඟන් හෝදන තැනට මේ අය ශ්‍රීලනිපය වට්‌ටලා තියෙනවා.

ප්‍රශ්නය – ඔබ එහෙම චෝදනා කළාට, ඔබ එජාපය සමග ඩීල් එකක්‌ දමාගෙන ඉන්නවා කියලා තමයි, අනිත් පාර්ශවයේ අය කියන්නේ…

පිළිතුර – යූඇන්පීය ඇතුළේ ඉදගෙන, එකට කැබිනට්‌ එකේ ඉදගෙන, දෙපාරක්‌ම යූඇන්පී එකට අගමැතිකම දුන්න අය, මට චෝදනා කරන්නේ කොහොමද…? මම ද යූඇන්පී ආණ්‌ඩුවක්‌ ගේන්න පක්‌ෂය ඇතුළේ ඉඳලා කුමන්ත්‍රණය කළේ. අද යූඇන්පියත් එක්‌ක ඉඳගෙන එකේ ඉඳුල් බත් රස විඳිමින්, අපිට කියනවා, ඩීල් දානවාලු. ඔය අර පික්‌පොකට්‌කාරයාගේ න්‍යායනේ. පොකට්‌ එකට ගහලා, මිනිහම මුලින්ම දුවන්නේ, ඔන්න පොකට්‌ කාරයෙක්‌… කියලා.

ටයර් ඉල්ලන්නෙත් අගමැතිගෙන්ද ?

ප්‍රශ්නය – ඔබගේ වාහනයට ටයර් හතරක්‌ ගන්න ඕනෑ වුණත් කතා කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහටලු…

පිළිතුර – අනිත් අය කතා කළාම ෙµdaන් එකට එන්නේ නැත්නම් මම මොකද කරන්නේ. ජනාධිපති ලේකම්ට කතා කරලා ටයර් සඳහා මුදල් දෙන්න කිව්වාම එයා කියන්නේ ජනාධිපතිගෙන් අවසර ගන්න ඕනෙලු. රටේ නායකයා කියන්නේ වාහනවලට ටයර් ගන්න අවසර දෙන කෙනෙක්‌ද…? එතැනින් කෙරෙන්නේ නැති නිසා ඊළඟ කෙනාට කතා කළා. මම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට කතා කරලා, මේ ප්‍රශ්නය කිව්වා. ජනාධිපතිතුමා හම්බවුණාම කියන්න කියලා.

ප්‍රශ්නය – ඔබ ජනාධිපති තනතුරට පත්වෙලා, හිටපු ජනාධිපතිනියට කරපු හිරිහැරම ඔබට අද විඳින්න වෙලා තියෙනවා නේද…?

පිළිතුර – එතුමියට මම හිරිහැරයක්‌ කළේ කොහේද…? එතුමිය මගේ කාලයේදී නිදහසේ හිටියනේ… එතුමිය එදා මට ජනාධිපති අපේක්‌ෂකකම දීලා, මාව පරදන්න තමයි කටයුතු කළේ. එතුමිය දිගටම මට හිරිහැර කළාට මම කවදාවත් ඒ සඳහා පළිගන්න ගියේ නැහැ.

ප්‍රශ්නය – ඔබ යටතේ සිටිය ඇමැතිවරයෙක්‌, ඔබ පක්‌ෂයේ සභාපතිවෙලා ඉන්න කොට ලේකම්වෙලා හිටපු කෙනා, ඔබව පරාජය කරලා අද රටේ නායකයා වෙලා ඉන්න එක ඔබට දරා ගන්න බැහැ කියලා, යමෙකුට හිතන්න පුළුවන්. අලුත් පක්‌ෂ හදාගෙන, ඒ ගමනට බාධක දමන්නේ ඒ දරා ගැනීමේ නොහැකියාව නිසා ද කියලා යමෙක්‌ ඔබෙන් ඇසුවොත්…

පිළිතුර – මම ඒ ගැන ඇත්තටම සන්තෝෂ වෙනවා. අපිත් එක්‌ක හිටපු කෙනෙක්‌ ජනාධිපති වෙච්ච් එක හොඳයිනේ…. නැත්නම් ජනාධිපති වෙන්නේ වීපක්‌ෂයේ කෙනෙක්‌නෙ… මට ජය පරාජය හොඳට පුරුදුයි…

ප්‍රශ්නය – හැබැයි මේ පරාජය ඔබට සුව පහසු අත්දැකීමක්‌ නෙමෙයිනේ… ඔබගේ පුතාලා, සහෝදරයෝ හිරේ යනවා. උසාවි ගාණේ, කොමිෂන් ගාණේ දිනපතා පාහේ යනවා. ඔබේ පාක්‌ෂිකයොත් එහෙමයි…

පිළිතුර – ඒ තත්ත්වය ඇති කළේ ඒ ගොල්ලොන්නේ… මගේ දරුවන්ට ඒක හොඳ පාඩමක්‌… ඒ අත්දකීම් ඒ අයත් විඳින්න ඕනේ. දේශපාලන පළිගැනීම් කරන විදිහ ගැන අනාගතයේ එන ආණ්‌ඩුවලට මේ ආණ්‌ඩුව හොඳ පාඩමක්‌ කියලා දෙනවා…

දරුවන්ගේ හිරකාරයෙක් නෙමෙයි

ප්‍රශ්නය – තවම ඔබ පුතාලාගේ සහ සහෝදරයන්ගේ හිරකාරයෙක්‌ කියලා චෝදනාවක්‌ තියෙනවානේ…

පිළිතුර – මම කොහොමද ඒ අයගේ හිරකාරයෙක්‌ වෙන්නේ. මම කියන දේවල් තමයි ඒ අය කළේ. මේ රටට බැසිල් රාජපක්‌ෂ, ගෝඨාභය රාජපක්‌ෂ විශාල සේවයක්‌ කළානේ. ශ්‍රීලනිපය යළි පණ ගැන්වීම සදහා ජාතික සංවිධායක විදිහට බැසිල් ලොකු සේවයක්‌ කළා. පක්‌ෂ කාර්යාලය ක්‍රියාශීලි මට්‌ටමකට ගෙනල්ලා, ගමේ පාක්‌ෂිකයා ඉහළත් සමඟ සම්බන්ධ කරන්න වැඩ කළේ බැසිල්. අනික්‌ අයත් සේවයක්‌ නොකළා නෙමෙයි… මම දක්‌ෂයාගෙන් වැඩ ගන්නවා… දැන් බලන්න ඩලස්‌… එයා දක්‌ෂ ඉවෙන්ට්‌ ඕර්ගනයිසර් කෙනෙක්‌. මම ඒ වැඩේ ගන්නේ ඩලස්‌ගෙන්. බැසිල් දක්‌ෂ සංවිධායකවරයෙක්‌ මම ඒ වැඩේ ගන්නේ එයාගෙන්. ඒකනේ නායකයෙක්‌ කළ යුතු දේ. මම හැම දෙනාටම කන් දෙන කෙනෙක්‌… පොඩි දරුවෝ මට කොයි තරම් ආදරේද…? ඒ දරුවෝ මට කොච්චර දේවල් කියනවද…? එක දරුවෙක්‌ මට කතා කළේ මහින්ද සර් කියලා… එහෙම කියන්න එපා පුතේ… මට සීයා කියලා කතා කරන්න කියලා මම ඒ පුතාට කිව්වා. ඒ පාර ඒ පුතා මට කියනවා… එහෙම හොඳ නෑනේ සර්…” කියලා…

ප්‍රශ්නය – දහනව වැනි සංශෝධනය සම්මත වීමෙන් පසුව, තුන්වැනි වරට ජනාධිපතිවරණයක්‌ සඳහා ඔබට තරග කිරීමට අවස්‌ථාවක්‌ නැහැ. එහෙම තියෙද්දී ඔබ යළිත් දේශපාලනයේ නිරත වෙන්නේ කුමන ඉලක්‌කයක්‌ ඇතිවද…?

පිළිතුර – මගේ යුතුකම තනතුරු උදෙසා වැඩ කිරීම විතරද…? මේ රටේ මාව විශ්වාස කරපු ජනතාව වෙනුවෙන් මම සේවය කරන්න ඕනේ… අපි රටට ලබලා දුන්න ජයග්‍රහණ ආපසු හරවන්න ඉඩ දීලා මට පැත්තකට වෙලා ඉන්න බැහැ. විධායක ජනාධිපති ධුරය ඉවත් කළොත් මට අගමැතිකමට තරග කිරීමට බාධාවක්‌ නැහැ. ජනාධිපතිවරණයක්‌ තිබ්බොත් ජනතාව විසින් ඒ වේලාවට අපේක්‌ෂකයෙක්‌ ඉල්ලයි. ඒ තරම් දුරට හිතන්න බැහැ… මේ අය තාම පළාත් පාලන ඡන්දය තියන්නෙත් නැහැනේ… මේ ඉතිං මට සහ මා සමග සිටින බලවේගයට තියෙන බය නිසානේ. මම ඔය තනතුරු ගැන හිතන්නේ නැහැ… ඒත් සමහර තනතුරු දරන අය හැමදාම උදේට රෑට බලන්නේ මම මොකද කරන්නේ කියලනේ…

ප්‍රශ්නය – ඔබ විපක්‌ෂයේ ඉඳන් කරන සටන්වලින් වෙන කෙනෙක්‌ ආණ්‌ඩු පිහිටුවනවා, කියලා කතාවක්‌ තියෙනවා. දාහත් වසරක එජාප ආණ්‌ඩුව පරාද කරන්න ඔබ පාද යාත්‍රා ගියා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය රටේ නායිකාව වුණා. මේ පාර ඔබ පාද යාත්‍රා යන්නේ කාව ලොකු පුටුවට යවන්නද…?

පිළිතුර – ඔව්…ඔව්… මම ඒ දවස්‌වල ඉඳන්ම කළේ ඒකනේ… ඒ තීරණය ගන්නේ මම නෙමෙයිනේ. ඒ තීන්දුව ගන්නේ ජනතාව. (සිනහනගමින්…) ඒ බලයට එන එක්‌කෙනත් මට ගහයිද දන්නේ නැහැ,… ඒක මට ප්‍රශ්නයක්‌ නෙමෙයි…

ප්‍රශ්නය – ඔබ දකින්නේ තව වතාවක්‌ අගමැතිවීමේ සිහිනයක්‌ද…?

පිළිතුර – නැහැ… මම හැමදාම දැක්‌කේ රට ගැන හීනයක්‌… ඒ නිසානේ මම මේ රටේ සියලු දෙනාට බයෙන් සැකෙන් තොරව ඉන්න පුළුවන් රටක්‌ නිර්මාණය කරලා දුන්නේ… ඒ නිසානේ අද මගෙන් මේ පළිගන්නේ…

ප්‍රශ්නය – දැන් කොහොමද ඔබගේ කළ දසාව… ඒරාෂ්ඨකය එහෙමත් ඉවර වෙලාලු නේද…?

පිළිතුර – රාජ්‍ය නායකයා කියන්නේ බරපතළ වැඩ ගණනාවකට අතගහලා ඉන්න කෙනෙක්‌… ඒ වේලාවට ජ්‍යෙdතිෂය එහෙමත් බලන වෙලාවල් තියෙනවා. එහෙම බෑලු මත පමණක්‌ ඉඳලා කිසිම නායකයෙක්‌ තීන්දු ගන්නේ නැහැ. වෙලාව හොඳ නම් ඉතිං කමක්‌ නැහැනේ… ගෙයක්‌ හදන්න ඕනේ නිසා නැකතක්‌ බලනවා මිසක්‌ නැකත් තියෙන නිසා කවුරුත් ගෙයක්‌ හදන්නේ නැහැනේ…

ප්‍රශ්නය – යළිත් වරක්‌ ඔබට ජ්‍යෙතිෂය උපදෙස්‌ දෙන්න සූදානම් බව, ඔබ සමීපව ඇසුරු කළ සුමනදාස අබේවික්‍රම මහතා කියලා තිබ්බා.

පිළිතුර – බොහෝම ස්‌තුතියි… එයටම තියා ගන්න කියන්න…

මහින්ද මෛත්‍රී යළි එක්වෙයිද ?

ප්‍රශ්නය – ඔබ පසුගියදා මැලේසියාවේ සංචාරය කළා. එරට හිටපු දේශපාලන වෛරක්‌කාරයන් දෙදෙනෙක්‌ වූ අන්වර් ඉබ්‍රාහීම් සහ මහතීර් මොහොමඩ් යළි එකතුවෙලා තියෙනවා. මේ දෙදෙනා කාලයක්‌ එකට ඉඳලයි, විරසක වුණේ. නමුත් පොදු සතුරාට එරෙහිව ඒ දෙදෙනා යළි එක්‌වෙලා… මහින්ද – මෛත්‍රිපාල යුගලයත් මේ පාරේ ගමන් කරයිද…?

පිළිතුර – මෙතැන තියෙන්නේ වෛර පිරිමැසීමක්‌නේ… අවුරුදු දෙකකට කිට්‌ටු වෙන්න එන ආණ්‌ඩුවක්‌, අද කරන්නේ වෛර පිරි මහ මහා ඉන්න එකනේ… එකතු වෙන්න තියා ඒ ගැන හිතන්නවත් පුළුවන් මේ තත්ත්වය තුළ. එක පැත්තකින් ඩයස්‌පෝරාව මගේ පඹයෝ පුච්චනවා… අනික්‌ පැත්තෙන් මේ දෙගොල්ලෝ අපිට ගහනවා. ඉතිං කොහෙන් එකතු වෙන්නද…?

ප්‍රශ්නය – යම් විදිහකින් හොඳ සංඥාවක්‌ මෛත්‍රි පාර්ශවයෙන් ආවොත් ආණ්‌ඩුව එක්‌ක එකතු වෙන්න ඔබ ලැහැස්‌තිද…?

පිළිතුර – ඒක ප්‍රතිපත්තිමය කාරණයක්‌නේ… රට බෙදෙන, දිනාගත් නිදහස පවා දෙන, ආර්ථිකය කොල්ල කන මේ ආණ්‌ඩුවත් එක්‌ක එකතු වෙන්න අපිට බැහැ… ඒ අයට ඕනේ එකතු වෙන්න නෙමෙයි, අපෙන් පලි ගන්න ඕනේ…. එන්න එන්න බය වැඩි වෙනවා… එතකොට පළිගැනීමුත් වැඩි කරනවා… මට පුද්ගලික තරහ මරහක්‌ නැහැ. ඒත් ප්‍රතිපත්තියක්‌ විදිහට මේ අයත් එක්‌ක අපිට ගමනක්‌ නැහැ.

ප්‍රශ්නය – එදා ඔබ ජනාධිපති තනතුරේ හිටපු අවස්‌ථාවේ, මෛත්‍රිපාල සිරිසේන මහතාව අගමැති තනතුරට පත් කළා නම් අදටත් ඔබ ජනාධිපති කියලා හිතෙන්නේ නැද්ද…?

පිළිතුර – එදා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ සභාපතිට එරෙහිව මහ ලේකම්… එහෙනම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ ජනාධිපතිට එරෙහිව අගමැති.

ඔබගේ අදහස අපට කියන්න

Close