පොදුරාජ්‍ය මණ්ඩල තරගාවලිය ගන්න ගිහින් කෝටි 100ක් හොරකම් කළේ කවුද ?

2018 වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ මෙරටට ලබාගැනීම සඳහා 2011 වසරේදී මහ බැංකුව යටතේ පෞද්ගලික සමාගමක් පිහිටුවා, ඒ හරහා කෝටි 100කට අධික මුදලක් අවභාවිත කිරීම සම්බන්ධව මේ වන විට විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇත.

මහ බැංකුවේ කාර්යය මෙරට රජයේ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම වුවත් මේ කාර්යය පසෙක තබා, පෞද්ගලික සමාගමක් හරහා මුදල් එකතු කිරීම සම්බන්ධව විශාල සැක මතුව ඇත. CWG – Hambanthota 2008 (pvt) Ltd නම් වූ මේ ආයතනයට රුපියල් මිලියන 690 ක් ලැබී ඇති බව මේ වන විට පැහැදිලිවී තිබේ.

එසේම ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පමණක් රුපියල් මිලියන 100ක් ලබාදී ඇති අතර, ටෙලිකොම් සමාගමත් වාණිජ බැංකු රැසක් ද මේ සඳහා විශේෂ මුදල් ප්‍රතිපාදන සපයා ඇත.

මේ අතර සමාගමට ලැබුණ මිලියන 25ක් ගිණුමේ තැන්පත් නොකර වංචා කර ඇති බව ද මේ වනවිට හෙළිවීමෙන් පවතී.

කෝටි ගණන් ලැබුණු සමාගම් ගිණුමේ රුපියල් 245යි

කෝටි ගණන් මුදල් ලැබුණ මේ සමාගමේ ගිණු‍ෙම් මේ වනවිට ඉතිරිව ඇත්තේ රුපියල් 245/= ක් බවත් හෙළි වී ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ 2018 වසරදී මෙරට පැවැත්වීමට කෝටි 1000 කට අධික මුදලක් වැයවන අතර ඒ සඳහා සාමාජික රටවල් කැමැති කර ගැනීමට 2011 වසරේ නොවැම්බර් මස බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි සෙන්ට් කීට්ස් හි ප්‍රවර්ධන වැඩසටහන් පවත්වා ඇති අතර ඒ සඳහා 115 දෙනකු සහභාගි වී ඇත. එහිදී පොදු රාජ්‍ය මණ්ඩල නියෝජිතයන්ට මුදල් අල්ලස් හා ලිංගික අල්ලස් ද ලබාදී ඇති බව වාර්තා වේ.

කබ්රාල් හොදටම කළාලු

මේ සම්බන්ධව මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් රජයට අයත්CWG Hambantota 2018 (Pvt) Ltd යන සමාග‍මක් ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ය.

අදාළ ප්‍රවර්ධන කාර්යභාරය සංවිධානය කිරීම සඳහා සංවිධායක කමිටුව ඉහළ පෙළේ පුද්ගලයන් රාශියක් සම්බන්ධවූ බවත් ඔහු පවසයි.

අදාළ සමාගමේ සියලු මූල්‍ය කටයුතු නිසි ආකාරයට පවත්වාගෙන යනු ලැබූ අතර, සමාගමේ ගිණුම් වරලත් ගණකාධිකාරි ආයතනයක් වන KPMG සමාගම මඟින් විගණනය කළ බව ද කබ්රාල් මහතා පවසයි.

CWG Hambantota 2018 (Pvt) Ltd සමාගමේ මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කළා යයි ද සොයා බැලීමට පරීක්ෂණයක් මේ වනවිට දියත්වී ඇති නිසා ඒ සඳහා උපරිම සහය ද ලබාදීමට කටයුතු කරන බවත් ඔහු පවසයි.

ඔබගේ අදහස අපට කියන්න

Close