දෙවියන්ට / භූතයන්ටත් වඩා මිනිස් මනසේ ශක්තිය ඉතා බලවත් – ඛෙල්ලන ඥානවිමල නාහිමි

අති පූජ්‍ය ඛෙල්ලන ඥානවිමල මහ නාහිමියන් වැඩ සිටි සමයෙ බුදුසරණ පුවත්පත වෙනුවෙන් චාමික මුණසිංහ මහතා සමග සංවාදයට එක්වෙමින් බුද්ධ ධර්මය හා විද්‍යාව අතර සබැදියාව පිළිබද දෙසා වදාළ සක්වල සක්මන දේශනා මාලාවේ තවත් පියවරක් මෙසේ ගෙන එන්නෙමු.

මහ නායක හාමුදුරුවනේ, ‘මනසක්’ ඇත්තේ මනසින් උසස් මිනිසුන්ට පමණක් ද?

නැහැ. ‘මනස’ කියන එක මිනිස්සුන්ට පමණක් සීමා වූවක් නොවෙයි. දේව, භූත ආදී විවිධ (සූක්‍ෂම) ජීවිත ගත කරන්නන්ටත් මනසක් තිබෙනවා. හැබැයි මනුෂ්‍යයන්ගේ මනසේ මහිමය ඒ කිසිදු ජීවී කොට්ඨාසයකට සම කරන්නට බැහැ. උතුම් බුද්ධත්වය, නිර්වාණය අවබෝධ කර ගැනීමට හා ධ්‍යාන වඩා උසස් බඹලොව ඉපදීමට පවා මනස දියුණු කිරීමෙන් අපට පුළුවන්. සියලු සක්වළෙහි ම මිනිස් සිතට කළ නොහැක්කක් නැහැ කියලා කිව්වේ ඒ නිසායි.

සක්වළ වෙසෙන පෙනෙන නොපෙනෙන හා උපන් නූපන් සියලු සත්ත්වයන්ටම නොදෙවෙනි මනසක් මිනිසාට පවතිනවා. මඩ තැවරුණු මැණිකක් කපා ඔප දමා පිරිසුදු කළාට පසු බබළනවා, දිදුළනවා වගේ මනසත් ආධ්‍යාත්මිකව පුබුදු කර ගැනීම කළ යුතු වෙනවා. නූතනයේ සිදු වෙන්නේ, මනස දියුණු කරනවාය කියලා දැනුම වර්ධනය කර ගැනීමක් පමණයි.

උගත් – බුද්ධිමත් වෙනස

එතකොට, ‘දැනුම’ දියුණු කිරීමෙන් ‘මනස’ දියුණු වීමක් සිදු වෙන්නේ නැහැ කියලා ද? ඔබ වහන්සේ කියන්නේ.

ඔව්. දැනුම දියුණු කිරීමෙන් ඕන තරම් උගතුන් බිහි වෙනවා. නමුත්, මනස දියුණු කිරීමෙන් පමණයි බුදු, පසේ බුදු, මහරහත් උතුමන් හා ධ්‍යාන ලැබූ බඹලොව බඹුන් ආදී උතුමන් සක්වළ පහළ වෙන්නේ. උගන්නපු දේ ඉගෙන ගත්තු අයට උගත්තු කියනවා. ඒ වුණාට උගතුන් හැමවිටම බුද්ධිමතුන් වෙන්නේත් නැහැ.

නිදර්ශනයක් වශයෙන් දැන් වෘක්‍ෂලතාවල ක්‍රියාකාරීත්වය, සත්වයන් හා ඔවුන්ට වැළඳෙන ලෙඩ රෝග, විද්‍යාව හා තාක්‍ෂණය මෙන්ම ග්‍රහලෝකවල ස්වභාවය ආදී කරුණු පිළිබඳ දැනුම දියුණු කළ හැකියි. නමුත් එමඟින් මනස දියුණු වීමක් වෙන්නේ නැහැ. මනස දියුණු කිරීමෙන් ළඟා කර ගත හැකි නිරාමිස සුවය සැනසීම දැනුම දියුණු කිරීමෙන් පමණක් ලබා ගන්නට බැහැ.

ඩයිනමෝවක් ද? මනස

ඒ වුණාට, ‘මනස’ කියන එක අපේ ශරීරයේ ඇති එහෙත් පෙනෙන්නට නැති වස්තුවක් නේද?

‘මනෝ’ යන්නෙහි ක්‍රමිකව ඉදිරියට ගලාගෙන එන කිසියම් ශක්තියක් පවතිනවා. උදාහරණයක් ලෙස නූතන ඩයිනමෝවක් කැරකෙන කොට එහි යන්ත්‍රයක් (ශරීරයක්) වගේ ද්‍රව්‍යයක් සම්බන්ධ කර ඇති ආකාරය අනුව විදුලි බලය, ආලෝකය උපදිනවා (ජනනය වෙනවා) නමුත්, එහි කැරකැවීම නතර වූ පසු එම විදුලිබලය නතර වෙනවා. ඒ වගේම මනසේ හාස්කම් මතු වන්නේත්, කිසියම් මනුෂ්‍ය ශරීරයක් ඇසුරු කර ගෙනයි.

කොහොම වුණත්, භෞතික වශයෙන් මනුෂ්‍ය ශරීරය හඳුනාගෙන මනස හෝ මනසේ විවිධ ශක්තීන් හෝ හඳුනා ගන්නට බැහැ. දැන්, මිනිස් මොළයේ නිර්මාණය වීම බැලුවත් පුදුම සහගතයි. එහි ස්වභාවිකව විවිධ තරංග නිපදවීමේ හා ස්නායු පද්ධතිය ඔස්සේ ශරීරයෙන් බැහැරට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් පවතිනවා.

එතකොට, ‘දැනුම’ ඇත්තේ උසස් මනසක් තියෙන මිනිසුන්ට පමණයි ද?

නැහැ. ‘දැනුම’ කියන දේ මිනිසුන්ට, තිරිසන් සතුන්ට වගේම ගස්වැල්වලටත් තිබෙනවා. දැනුම නිරුත්සායෙන් (අනායාසයෙන්) හා උත්සාහයෙන් (ආයාසයෙන්) වර්ධනය වෙනවා. ගස්වැල් වුණත් මුල් අල්ලා දලුලා වැඩෙන්නේ හිරුඑළිය, පොහොර සොයා ගෙනයි. මීමැස්සන් උන්ගේ දැනුම අනුව මල් පැන් සොයා ගෙන රැස්කර ගන්නවා. කුහුඹුවන් වැසි කාලයට පෙර ආහාර එක්රැස් කර තබා ගන්නේ උන්ගේ දැනුම අනුවයි.

මිනිසුන්ට දැනුම වර්ධනය කර ගැනීමට බොහෝ ක්‍රමවේද තිබෙනවා. ආභාසයෙන්, පරම්පරාවෙන් වගේම පොත පතින්, පාඨශාලාවලින් හා විවිධ පර්යේෂණ මඟින් ආදී වශයෙන් අවස්ථාවන් බොහොමයක් ඒ අතර පවතිනවා.

ඒ නිසාම මිනිසාගේ දැනුම තුළ ඉතා සංකීර්ණ හා විසිරුණු මෙන්ම පෘථුලබවක් දැකිය හැකියි. එබැවින් දැනුම අතිනුත්, මිනිසා තරම් සන්නද්ධ සත්වයෙක් මිහිපිට තවත් නැහැ.

දැනුම වැඩිවීම හා සතුට අඩුවීම

එහෙමනම්, මිනිසාගේ මානසික දියුණුව පසුබෑමට හා අඩු වීමට හේතුව දැනුම වැඩි වීම ද?

ඔව්. දිනක් ආනන්ද තෙරුන්, බුදු හාමුදුරුවෝ සමීපයට පැමිණ ‘භාග්‍යවතුන් වහන්ස….. මුල් කාලයේ දී වැඩි දෙනෙක් රහත් වූ නමුත් පසු කාලයේ දී එලෙස රහත් වීමේ පිරිස අඩු වීමට හේතුව කුමක්දැයි විමසා සිටියා.

ඊට පිළිතුරු වශයෙන් බුදු හාමුදුරුවෝ විස්තර කළ කරුණු අතර ‘උගත්කම – දැනුම වැඩි වීම’ (බාසුසච්ච මහත්තං පත්තෝ හෝති) පවා දැක්වෙනවා. බුදු හාමුදුරුවෝ දුටු ‘මානසික දියුණුව‘ කියන්නේ, දැනුම – උගත්කම ම නොවන බව ඒකෙන් ම පැහැදිලි වෙනවා.

අපේ ගැමි වහරේ වුණත් ‘පණ්ඩිතයට ඒ දණ්ඩේවත් යන්න බෑ’ ආදී කියමන් නිර්මාණය වී තිබෙනවා. අද දැනුම, උගත්කම මනින්නේ සමත් විභාග හා උපාධි නාම වලිනුයි. නමුත් එහෙම එක විභාගයක්වත් සමත් නැති කිසිම උපාධිනාමයක්වත් නැති මිනිසුන් දෙසූ, ලියූ බොහෝ දේ අද මහා උගතුන් පවා පරිශීලනය කරනවා. පිළිගනු ලබනවා. එඩ්ගාර්කේසී හා මාර්ටින් වික්‍රමසිංහ යනාදී වශයෙන් විවිධ තරාතිරමේ මිනිසුන් ඒ සඳහා නිදර්ශන සපයනවා.

චුල්ලපන්ථක කතා පුවත

හොඳයි. නිතර විෂය කරුණු අමතක වන දැනුම උගත්කම අඩු අයට මනස දියුණු කරන්න බැරිද?

චුල්ලපන්ථක තෙරුන්ගේ කතා පුවත ඔබ ඇසූ ප්‍රශ්නයට හොඳ පිළිතුරක් සපයනවා. උන්වහන්සේ කිසිවක් ඉගෙනීමට අපොහොසත්, නුවණ මද කෙනෙකු ලෙස සලකා ගුරුහාමුදුරුවන් ආරාමයෙන් නික්මී ගෙදර යන ලෙස දැනුම් දුන්නා. ඒ අතරේ දී බුදුහාමුදුරුවන් චුල්ලපන්ථක තෙරුන්ට මනස දියුණු කර ගැනීමට මඟ පෙන්නුවා. ඒ අනුව, උන්වහන්සේ උපරිම මානසික දියුණුව ලබා ගත්තා. චුල්ලපන්ථක තෙරුන් මාර්ගඵල අවබෝධය ලබා ගත්තේ, විෂය කරුණු මතක තබා ගැනීමෙන් හෝ දැනුම දියුණු කිරීමෙන් නොවෙයි.

දියුණුව විඳිමු

එහෙමනම්, මනස වැඩිදියුණු කර ගැනීමට හැකි අංශ මොනවාද?

ඔව්. අපේ මනස වැඩිදියුණු කිරීම අංශ දෙකකින් සිදු වෙනවා. (1) මානය, ආශාව, කාමය, කෝපය, මුළාව හා ඊර්ෂ්‍යාව යන හැඟීම් තුනී කර ගැනීම එක් අංශයක්. අනෙක, (2) සිතෙහි මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්‍ඛා යන සිතිවිලි දියුණු කර ගැනීමයි.

මෙම අංශ දෙකම එකිනෙකින් පෝෂිත වෙමින් මානසික දියුණුව ඉදිරියට ගෙන යන බව ඊට අප අනුගත වීමෙන් අපටම වැටහෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ ඔස්සේ ඔබ ඉදිරියට යන සෑම පියවරකදීම ඔබට යහපත් ප්‍රතිඵල දැකීමට හැකි වෙනවා. මෙසේ ලබන දියුණුව, ඔබ මෙම ජීවිතයෙන් පසුව ලබන ජීවිතවලදී විශේෂයෙන් බලවත් වීමට හා ඒවා නිසැකවම ඉතා රසවත් අත්දැකීමක් වීමට උපකාරී වෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close