මොලමුරේ වලව්වට වැදුණේ පනාමුරේ ඇතා මාරූ සාපයද ? හූනියමක්ද ?

රත්නපුර – ඇඹිලිපිටිය මහා මාර්ගයේ මාදම්පේ මංසන්ධියට නුදුරින් වැටී ඇති පටු ගම්සභා මාර්ගය බොහෝ දෙනා හඳුන්වන්නේ ‘පනාවල පාර’ යන සරල යෙදුමෙනි. විවිධ තරාතිරමේ ජනී ජනයා වෙසෙන ජනාවාස අතරින්ද, සුන්දර වෙල්යායන් මැදින්ද වැටී ඇති මෙම මාර්ගයට මුහුණලා නැඟී සිටින්නේ ප්‍රතාපවත් මන්දිරයකි. අව් – වැසි ආදී ස්වභාවධර්මයාගේ අනේකවිධ කෙනෙහිලිකම්වලට ලක්වෙමින්ද, ලඳු කැලෑව විසින් ගිලගනිමින්ද පවතින මේ මහා මන්දිරයේ අතීතයේ තිබූ තේජාන්විත බව නම් තවමත් සහමුලින්ම ඉවත් වී නොමැත. අක්කර විස්සක පමණ වපසරියකින් යුත් සුවිසල් ඉඩම පුරා නිදහසේ වැඩුණු අඹ, කොස්, දෙල්, රඹුටන්, බුරුත, මිල්ල ආදී රූස්ස ගස් පෙළකි. හිරු එළියට පවා නිදහසේ ඇතුළු වීමට ඉඩ නොදෙන වනවදුල මේ භූමියේ සැඟවී ඇති රසවත් ඉතිහාසය වසාගෙන ඇතැයි සිතේ.

ප්‍රදේශයේ වෙසෙන සෑම දෙනාම මෙම අඩක් ගරාවැටුණු ගොඩනැඟිල්ල හඳුන්වන්නේ ‘මාකඳුරේ වලව්ව’ යනුවෙනි. ඒ වටා විහිදුණු ඉඩම වලව්වත්ත නමින් ප්‍රකටය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම කතානායකවරයා වූ අධිනීතිඥ ප්‍රැන්සිස් මොලමුරේ මහතාට සෙවණ දුන් අටකලන්පන්නේ පිහිටි මාකඳුරේ වලව්ව මෙසේ ගරා වැටෙමින් පවතින්නේ අප රටේ අතීත දේශපාලන හා සමාජයීය වශයෙන් රසබර තොරතුරු රැසක්ද සමඟින් වීම අතිශය ඛේදජනකය.

මඩුවන්වෙල වලව්වේ උරුමය

ඉංග්‍රීසීන් මෙරට පාලනය කළ යුගයේ මඩුවන්වෙල කළු කුමාරයා නමින් විරුදාවලි ලත් කොළොන්නේ මඩුවන්වෙල දිසාවේගේ දේපොළ හා බූදලයට හිමිකම් කියූ ප්‍රැන්සිස් මොලමුරේ මහතා ශ්‍රී ලංකාවේ අවසාන අලි ගාලේ උරුමක්කරුවාද විය. වර්ෂ 1950දී ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකවාසී බොහෝ දෙනා අතරද මහත් ආන්දෝලනයක් ඇති කළ පනාමුරේ ඇත් රජු වෙඩි තබා මරා දැමීමේ සිද්ධියේදී ඍජුවම චෝදනාව එල්ල වූයේද ප්‍රැන්සිස් මොලමුරේටය.
තම වර්ගයා වෙනුවෙන් සටන් වැද වෙඩි කා මියගිය පනාමුරේ ඇත් රජු වෙනුවෙන් පනහ දශකයේ රට පුරා විරෝධතා ව්‍යාපාර රැසක් දියත් වූ අතර එහි ප්‍රතිඵලය වූයේ මින් මතුවට ලංකාවේ අලි ගාල් බැඳීම සපුරා තහනම් වීමය. මොලමුරේ පවුලට විරුද්ධව එකල කවි කොළ පවා මුද්‍රණය වූ අතර ඒවා උණු කැවුම් මෙන් ජනතාව අතර අලෙවි වී තිබේ.

බි්‍රතාන්‍ය යටත් විජිත යුගයේ ප්‍රභූ පැලැන්තියේ විනෝදාංශයක් වූ වල් අලි ගාල් කිරීමේ කටයුත්තට ප්‍රැන්සිස් මොලමුරේ මහතා සම්බන්ධ වූයේද හෙතෙම දැඩි විනෝදකාමී පුද්ගලයකු වීම නිසා බව පැවැසේ. පනාමුරේ අලි ගාල් කරන ස්ථානය සියලු පහසුකම්වලින් සමන්විත කුඩා නගරයක සිරිගත් බව පැරැන්නෝ පවසති. අලි ගාල් කරන දිනවලදී මොලමුරේ මහතා ඇතුළු ඔහුගේ දෙස් – විදෙස් මිතුරන්ට නවාතැන් ගැනීම සඳහා අලි ගාලට නුදුරින් විශේෂ නවාතැන්පොළක් ඉදිකිරීමද සිරිතය. මෙම නවාතැන්පොළ එදා පනාමුරේ වැසියන් හඳුන්වා දී ඇත්තේ ‘ඇතින්නියන්ගේ ගාල’ යනුවෙනි. ඒ එහි සිදුවුණු ක්‍රියාකාරකම් පිළිබඳ හුදී ජනයාට ඉඟියක් ලබා දීමට විය යුතුය.

පළමු මන්ත්‍රීවරියත් මොලමුරේ පවුලෙන්

මෙරට කාන්තාවක් ප්‍රථම වරට මැති සබයට තේරී පත්වූයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවටය. ඒ 1931දීය. මීදෙණිය අදිකාරම්ගේ දියණිය වූ ඇඩිලින් මීදෙණිය මහත්මිය මෙසේ ලංකාවේ ප්‍රථම මන්ත්‍රිවරිය වූ අතර පසු කලෙක ඇය ප්‍රැන්සිස් මොලමුරේ මහතාගේ ප්‍රියම්භිකාව වූවාය. ඇඩිලින් මීදෙණිය, ඇඩිලින් මොලමුරේ වූ අතර ලංකාවේ ප්‍රථම කතානායකවරයාගේ බිරිය ලංකාවේ පළමු මන්ත්‍රිවරිය වීමද ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමකි. ඇඩිලින් මොලමුරේ මහත්මිය රුවන්වැල්ල ආසනයට තරග කළ අතර ඇයගේ ප්‍රතිවාදියා වූයේ සමසමාජ පක්ෂයේ ආචාර්ය එන්. එම්. පෙරේරා මහතාය. එන්. එම්. රුවන්වැල්ල ආසනය ඉහළින්ම ජය ගත් අතර ඇඩිලින් මොලමුරේද සෙනෙට් සභාවට පත්වී එහි සභාපති පදවියටද පත්වූවාය. ප්‍රැන්සිස් මොලමුරේ සහ ඇඩිලින් මොලමුරේ යුවළ දිගු කලක් දිවි ගෙවූයේද පෙර සඳහන් අටකලන්පන්න මාකඳුරේ වලව්වේය.

එකල ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් වූ කවි කොළකාරයන්ගෙන් මොලමුරේ මහතාට ගැලවිල්ලක් නම් නොවීය. මඩුවන්වෙල දිසාවේගේ බූදලයේ හිමිකරුවා වූ මොලමුරේ මහතා කොළඹ ඉම්පීරියල් බැංකුවේ තැන්පත් කර තිබූ මඩුවන්වෙල දිසාවේගේ බූදලයෙන් මුදල් ලබා ගැනීමේදී වංචාවක් සිදු කළ බවට එදා කවි කොළ මඟින් රට පුරා ප්‍රචාරයක් ඇති විය. ඊට හේතු වූයේ ඉම්පීරියල් බැංකුවෙන් රු. 22,000ක් ලබා ගැනීම සඳහා රත්නපුර දිසා අධිකරණයෙන් අනුමැතිය ලබා ගත් මොලමුරේ මහතා බැංකුවෙන් 55,000ක මුදලක් ලබා ගැනීමය. අධිකරණයෙන් අවසර දුන්නාට වඩා මුදලක් බැංකුවෙන් ලබා ගැනීමේ චෝදනාවද මොලමුරේ මහතාට එල්ල විය.

පනාමුරේ ඇතා මරද්දී කතානායක

පනාමුරේ ඇත්ගාලේදී පනාමුරේ ඇතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය වන අවස්ථාවේදී ප්‍රැන්සිස් මොලමුරේ මහතා මෙරට ප්‍රථම කතානායක ධුරය දරමින් සිටියේය. පනාමුරේ ඇතාට වෙඩි තබා මරා දැමීම රටවැසි බොහෝ දෙනාගේ සංවේගයට හා අප්‍රසාදයට ලක්ව තිබුණු අතර කතානායකවරයාට පහර ගැසීමට ඔහුගේ ප්‍රතිවාදීහු යුහුසුලු වූහ. ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේ වාමාංශික දේශපාලන නායකයකු වූ ආචාර්ය එන්. එම්. පෙරේරාය. ඔහු පනාමුරේ ඇතාට වූ අසාධාරණය තේමාව කර ගනිමින් රට පුරාම විරෝධතා හා උද්ඝෝෂණ
ව්‍යාපාර සංවිධානය කළේ හතු පිපෙන්නා සේය. එකල පළවූ පුවත්පත්ද මේ සඳහා වැඩි ප්‍රසිද්ධියක් ලබා දුන් අතර කවි කොළකාරයන්ගේද හොද්ද බොර වූ බව පැවැසේ.

රට පුරා නැඟුණු විරෝධතා උත්සන්න වූයෙන් වගකිවයුත්තන් ඉදිරියේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමටද මොලමුරේ මහතාට සිදුවිය. අවසානයේ එන්. එම්. පෙරේරා, මහාචාර්ය ගුණපාල මලලසේකර ආදීන් නායකත්වය දුන් උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර නතර වූයේ මින්පසු ශ්‍රී ලංකාව තුළ අලි ගාල් පැවැත්වීම තහනම් යන නීතිය පැනවූවාට පසුවය. පනාමුරේ ඇතාගේ ඝාතනයෙන් පසුව මොලමුරේ පවුලට රට පුරා අප්‍රසාදය එල්ල වුවද මහජන නියෝජිතවරියක ලෙස ඇඩිලින් මොලමුරේ මහත්මිය රුවන්වැල්ල ආසනයට අතිමහත් සේවාවක් සිදු කළ බව ජනතාව සිහිපත් කරන්නේ දැඩි සේ කෘතවේදීවය.

ජනතාවාදී දායකයෙක්

අටකලන්පන්න, මාකඳුර වලව්වේ වාසය කරන කාලය තුළදී ද ප්‍රැන්සිස් මොලමුරේ මහතා මාකඳුර ප්‍රදේශයේ ජනතාව සමඟ බොහෝ ළෙන්ගතුව කටයුතු කර තිබේ. මාකඳුරේ, වේහැල්ලක මුදලින්දාරාම විහාරස්ථානය සමඟ ඉතා සමීප දායකයකු ලෙස කටයුතු කළ හෙතෙම වලව්වේ සිට එම විහාරස්ථානය වෙත සෑම මසකම දන් වතාවත් රැගෙන ගොස් තිබේ. එසේම මඩුවන්වෙල වලව්වෙන් තමන්ට උරුම වූ කෞතුක වටිනාකමක් ඇති ගෘහ භාණ්ඩ මෙන්ම පිත්තල පහන්, පිඟන්, කෝප්ප ආදී බොහෝ දේ මොලමුරේ මහතා විසින් මාකඳුරේ විහාරස්ථානයට පූජා කර තිබේ.

මාකඳුරේ වලව්ව හා මුදලින්දාරාමය අතර පැවැති සමීප සම්බන්ධතාව කෙතරම්ද යත් වලව්වේ ඇත්තන් උදේ සවස බුදුන් වැඳීම සඳහා පන්සලට පැමිණි වෙනමම මාර්ගයක් අදටත් වලව්ව හා පන්සල අතර මනාව දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ පළමු කතානායක සර් ප්‍රැන්සිස් මොලමුරේ මහතා හා සම්බන්ධ ලිපි – ලේඛන රැසක් අදටත් මාකඳුර විහාරස්ථානයේ සුරක්ෂිතව පවතී. මොලමුරේ මහතාගේ අන්තිම කැමැති පත්‍රයද එම ලියවිලි අතර සුවිශේෂය.
මාකඳුර, වේහැල්ලක මුදලින්දාරාම විහාරාධිපති පූජ්‍ය රංගේගම නන්දසිරි හිමියන් ඒ අපූරු අතීතය සිහිපත් කරන්නේ මෙසේය.

ඇතා මැරූ සාපය වැදුණාද ?

‘මාකඳුරේ වලව්වයි, අපේ පන්සලයි බොහෝම සම්බන්ධයි. ප්‍රැන්සිස් මොලමුරේ මහත්තයා පනාමුරේ ඇතාට වෙඩි තිබ්බට පස්සේ බොහෝම කලකිරීමෙන් හිටියේ. ඒ නිසා එතුමා ආගමට, දහමට බොහෝම ළැදි කෙනෙක් වුණා. අවසාන කාලයේදී වලව්වේ තිබූ පිඟන් බඩු, ඇඳ, පුටු, මේස පවා පන්සලට පූජා කරල තියෙනවා. අපේ රටේ පළමු කතානායකවරයා වෙච්ච, පනාමුරේ ඇතා නිසා ලෝක ප්‍රසිද්ධ වුණු මොලමුරේ මහතා ජීවත් වූ වලව්වේ අද තත්ත්වය ඉතාම ශෝචනීයයි. කිසිම වගකිවයුතු ආයතනයක් හෝ පුද්ගලයකු මේ ගැන අවධානය යොමු කර නැහැ. අපේ රටේ එක්තරා යුගයක් කියාපාන මේ වලව්වත්, පළමු කතානායකතුමාගේ සොහොනත් සංරක්ෂණය කළොත් වටිනවා.’
මෙසේ රට පුරා මහත් ආන්දෝලනාත්මක සිදුවීම් පෙළකට මැදිවූ අපේ රටේ පළමු කතානායකවරයාගේ හදිසි අභාවය සිදුවන්නේද සුවිශේෂී අන්දමටය. වර්ෂ 1952 ජනවාරි 22 වැනි දින පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන අතරේදීම කතානායක ප්‍රැන්සිස් මොලමුරේ මහතා උත්තරීතර කතානායක අසුන මතදීම අවසන් හුස්ම හෙළීය.

මොලමුරේ මහතා කතානායක අසුන මතදී හිටිහැටියේ මැරී වැටුණේ ඔහුගේ විරුද්ධවාදියකු විසින් සිදු කළ හූනියමක් නිසා බව එදා දේශපාලන කරළියේ පැතිරී ගිය ප්‍රසිද්ධ රහසකි. එහෙත් රටේ ඇතැමෙක් ඔහුගේ අභාවය දුටුවේ පනාමුරේ ඇත් රජුට කළ අපරාධය මෙලොවදීම පලදීමක් හැටියටය.
මෙවැනි අතීත, දේශපාලන හා සමාජයීය රසවත් සිදුවීම් රැසක් හා බැඳුණු අටකලන්පන්නේ මාකඳුරේ වලව්ව බිමට සමතලා වීමට නොදී රැක ගැනීමට වගකිවයුත්තන් වගබලා ගත යුතුයි.(Mawbima)

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close