2020 තීරණාත්මකයි – පුළුල් පෙරමුණක් හදන බව ජවිපෙ කියයි

පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන බව ආණ්ඩුව පවසනවා. එහෙත් සමහරුන් පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගය රාජ්‍ය ආයතන විකිණීම කියලයි. කෙසේ වුවත් මෙහිදී වරාය හා තෙල් සංස්ථාව වැනි ආයතන විකිණීමට එරෙහිව විතරක් ජ.වි.පෙ. විශේෂයෙන්ම හඬ නඟන්නේ?

රටක ආර්ථික උපාය මාර්ගික වශයෙන් වැදගත් ආර්ථික මර්මස්ථාන තිබෙනවා. එම ආර්ථික මර්මස්ථාන පෞද්ගලික සමාගම් වෙත අත්පත් කරගනු ලැබුවහොත්, එය කිසිසේත්ම යළි ආපසු හැරවිය නොහැකියි. ඒ අනුව තමයි ආණ්ඩුව දියත් කර තිබෙන මේ  රාජ්‍ය ආයතන විකිණීමේ හා බිලි දීමේ ක්‍රියාවලිය, හම්බන්තොට වරාය, තෙල් පිරිපහදුව, කොළඹ වරාය ජැටිය, හම්බන්තොට තෙල් සංකීර්ණය, ත්‍රිකුණාමලය තෙල් සංකීර්ණය ඒවා උපාය මාර්ගික වශයෙන් වැදගත් ආර්ථික මර්මස්ථාන.  ආණ්ඩුවේ මෙම විකිණීමේ හා බිලිදීමේ ක්‍රියාවලිය හරහා එම ආයතනයන් බිඳ වැට්ටීම තුළින් රටටත්, ජනතාවටත් විශාල ආර්ථිකමය අලාභ හානියක් වෙනවා. එම හේතුවෙන් තමයි විකිණීමට අදාළ මෙම ක්ෂේත්‍රයන් පිළිබඳව අපි අවධානය යොමු කරලා තියෙන්නේ.

ඒකෙන් හැඟෙන්නේ නැහැ අනිත් ඒවා විකිණිය යුතුයි කියලා. කල්පිටිය දූපත්, එයාර් ලංකා එකේ මුළු ණය බර ආණ්ඩුවට අරගෙන, එයාර් ලංකා විකිණීම, ලංකා හොස්පිටල් මේ ආදියත් විකිණීමේ ක්‍රියාවලියේ ඊළඟ ස්ථාන ලෙස තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ, ආර්ථික වශයෙන් මර්මස්ථාන කේන්ද්‍ර කරගෙනයි මේ සටන දියත් කිරීමට බලා‍පොරොත්තු වන්නේ. එය විකිණීමට එරෙහි සටනක් පමණක් නොවෙයි මෙම ලිබරල් ආර්ථික ක්‍රියාවලියට එරෙහි සටනක්.

වංචා දූෂණ ගැන ජවිපෙ නිහඩ නෑ

පසුගිය ආණ්ඩුව ජනතාවට එපා වීම සඳහා බලපාන ප්‍රධාන කාරණයක් වූයේ වංචා දූෂණයි. ඒ සම්බන්ධයෙන් ජ.වි.පෙ. කළ මැදිහත් වීම ඉතා ප්‍රබලයි. ඒ අතර මේ ආණ්ඩුවෙත් වංචා දූෂණ ගැන සාකච්ඡා මතු වෙමින් පවතිනවා. එහිදී ජ.වි.පෙ. මැදිහත් වන බව පසුගිය කාලයට සාපේක්ෂව ප්‍රබල නැහැ නේද?

මේ ආණ්ඩුව, ආණ්ඩු ක්‍රියාවලියේදී පමණක් නොවෙයි මෙම ආණ්ඩුව පිහිටුවීමද මෙම වංචා දූෂණයන්ට චෝදනා ලක් වූවන් තමන්ගේ කැබිනට් මණ්ඩලයේදී සාමාජිකයින් බවට පත් කරගෙන තිබෙනවා. පැවැති ආණඩුවේ බරපතළ මූල්‍ය අපරාධවලට, මූල්‍ය නාස්තියට හවුල් වූ විශාල පිරිසක් අද මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරනවා. නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස සිටිනවා. ඒ විතරක් නමෛයි පසුගිය ආණ්ඩුවේ වංචා දූෂණ ක්‍රියාවලිය දියත් කරන ලද රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණයක්ද මෙම ආණ්ඩුවේ, පසුගිය ආණ්ඩුවටත් වඩා ඉහළම ස්ථාන හොබවමින් සිටිනවා. ඒ වගේම මේ ආණ්ඩුව ගතවුණු අවුරුද්දකට ආසන්න කාලයක් තුළදීත් මහ පරිමාණ වංචා දූෂණ නාස්තියට හවුල් වී තිබෙනවා. ඒ හැම එකටම එරෙහිව ප්‍රබල සටන් දියත් කර තිබෙන්නේ ජ.වි.පෙ.යි.

නමුත් එහිදී ජ.වි.පෙ. මැදිහත් වීම පසුගිය කාලයට සාපේක්ෂව ප්‍රබල නැහැ කියන චෝදනාව තමයි නැගෙන්නේ?

නැහැ. එය වැරදියි. බැඳුම්කර ගනුදෙනුව, මහ බැංකුවේ වංචාව, ගල් අඟුරු වංචාව, රේගුවේ වාහන නිදහස් කිරීමේ වංචාව, ඒ වගේම අග්‍රාමාත්‍යවරයාගේ වාහනවල නාස්තිය, ඇමැතිවරුන්ට වාහන ගැනීම සඳහා දරන නාස්තිය, අමාත්‍යාංශ කාර්යාල බදු කුළියට ගැනීමේදී කරන ලද නාස්තිය. මේ සියලු කාරණාවලට එරෙහිව ජ.වි.පෙ. ප්‍රබල හඬක් නඟමින් සිටිනවා.

ණය අර්බුධය ඇත්තක්ද ?

ආණ්ඩුවේ දැවැන්ත ආර්ථික අර්බුදයක් ගැන කරුණු පැහැදිලි කරනවා. නමුත් ආණඩුව කියන්නේ එවැනි ආර්ථික අර්බුදයක් නැති බවයි. රටේ ජනතාවත් එහෙම අර්බුදයක් ගැන විශාල වශයෙන් දන්නේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ මෙය යථාර්ථයෙන් දුරස් නේද?

මේ රටේ ආර්ථිකයේ ප්‍රධාන ස්ථාන කිහිපයක අර්බුද ගණනාවක් මතු වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාටම කියන්න සිදුවී තිබෙනවා, රටේ දැවැන්ත ණය අර්බුදයක් තිබෙනවා කියලා. ඒ විතරක් නමෛයි මහ පරිමාණ ණය අර්බුදයක අපේ රට මුහුණ දී තිබෙන බව ජාත්‍යයන්තර ෆෝබ් (ජ්ධපඡඥඵ) සඟරාව හෙළිදරව් කර තිබෙනවා. එමෙන්ම ආනයන අපනයන වෙළෙඳ‍පොළේ ඇති වී තිබෙන ගැටලුව, රාජ්‍ය ආදායම අඩුවීමේ ගැටලුව, නිෂ්පාදනය
කඩා වැටීම, රටේ ආර්ථිකයේ සම්පත් ජනතාව වෙත බෙදා නොයාමේ ගැටලු ආදී දැවැන්තම මූල්‍ය ආර්ථික අර්බුදයන් මතු වී තිබෙනවා. ඒ ආර්ථික අර්බුදය කොතරම්ද යත් ජනතාවගේ එදිනෙදා ජීවිතය ගත කරන්න බැරි තරමට මෙය වර්ධනය වී තිබෙනවා. මා දන්නේ නැහැ ඔබ ජනතාව එහෙම අර්බුදයක් ගැන දන්නේ නැහැ කියල කියන්නේ කුමන පදනමක් මතද කියලා.

තරුණ තරුණියන්ට රැකියාවක් නැත්නම්, ගොවි ජනතාවට තමන්ගේ අස්වනු, ධීවර ජනතාවට තමන්ගේ මත්ස්‍ය අස්වැන්න විකුණා ජීවත් වෙන්න බැරි නම්, රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ සේවකයන්ට තමන්ගේ පඩි පතින්, තමන්ගේ ජීවිතය පවත්වා ගෙන යන්න ප්‍රමාණවත් නැත්නම්, භාණ්ඩ මිල අධික ලෙස ඉහළා ගිහින් තියෙනවා නම් මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ ආර්ථික අර්බුදය වඩාත්ම තීව්‍ර ලෙස ජනතාවට දැනෙමින් තිබෙන බවයි.

ඒ විතරක් නමෛයි මේ අර්බුදයේ ප්‍රතිඵල විසින් තමයි ආණ්ඩුවට තම අයවැය ‍ලේඛනය ඉදිරිපත් කිරීමට, තව මාසයක් තිබියදී පවා නව බදු සංශෝධන පනත් ගේන්න සිද්ධ වුණේ. වැට් බද්ද පනවන්න සිද්ධ වුණේ. වැට් බද්ද විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට පවා පැනවීමට ඔවුන් උත්සුක වෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ රටේ හදවත් රෝගියෙකුගේ හදවත් සැත්කමක් කරන්න යනවා නම්, ආණ්ඩුවෙන් ඒ සඳහා ලබා දිය යුතු පහසුකම් ලබා දිය යුතු වෙනවා. නමුත් අද සිදුවී තිබෙන්නේ කුමක්ද? හදවත් සැත්කම කර ගැනීම සඳහා ආණ්ඩුවෙන් ඒ සඳහා ඉඩකඩ හදනවා වෙනුවට අද මුදලක් අය කරනවා. එහිදී යම් පුද්ගලයෙක් ඉඩමක්, ගෙයක් විකුණලා කෙනෙක් මේ මුදල හොයා ගන්නවා නම්  ඒකෙනුත් ලක්ෂයකට අධික ගාණක් ආණ්ඩුව අය කරනවා. එසේ ආණ්ඩුවට කිරීමට සිදුව තිබෙන්නේ මේ අර්බුදයෙ ප්‍රබලත්වය නිසයි.

සහන දෙන්න මැදිහත්වෙනවා

මේ ආණ්ඩුව ජනතාවට සහන දෙනවා කිව්වා. පහුගිය අයවැයෙනුත් සහන දෙනවා කිව්වා. නමුත් ජනතාවට ලැබුණු සහනයක් නැහැ. හැබැයි මේ ගැන ජනතාවගේ ලොකු විරෝධයකුත් නැහැ. ජනතාවට සහන ලබා දීමට ජ.වි.පෙ. මැදිහත් වීමක් කරනවාද?

රටේ ගොවි ජනතාවගේ සහන කප්පාදු කරන විට, රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ වැටුප් කප්පාදු කරන විට, සමෘද්ධිය කප්පාදු කරන විට,     ‍පොහොර සහනාධාරය කප්පාදු කරන විට, පාසල් දරුවන්ගේ නිල ඇඳුම් කප්පාදු කරන විට සහ තවත් නොයෙකුත් ජනතා විරෝධි කටයුතු සිදුකරන විට අපේ වෘත්තීය සමිති ජනතාව සමග එකතු වී සටන් කරමින් සිටිනවා. ඒ නිසා අද අපේ රටේ ජනතාව විවිධ පීඩාවන්ට, රාජ්‍ය පාලනය විසින් ආණ්ඩු පාලනය විසින් ඇතිකර තිබෙන විට ජනතා විමුක්ති පෙරමුණ එයට එරෙහිව ප්‍රබල හඬක් නඟමින් සිටිනවා.

ඔබ හිතනවාද එම ක්‍රියාමාර්ගය පමණක් මෙයට ප්‍රමාණවත් කියලා?

සටන් ක්‍රියාමාර්ග පමණක් මෙයට ප්‍රමාණවත් වන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. අපි සටනින් අපේ කප්පාදු කරන ලද අයිතිවාසිකම් ආරක්ෂා කර ගත යුතු  අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සටනක් කරනවා වගේම මේ ගොඩ නැගී තිබෙන සමාජ ආර්ථික ක්‍රමයට එරෙහි සටනක් බවට මෙය අනිවාර්යයෙන්ම පරිවර්තනය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමට එරෙහිව ගෙන යන සටන පුළුල් සමාජ ආර්ථික දේහය පරිවර්තනය කිරීම සඳහා පෙළ ගැස්වීම තමයි ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ.

2020 මෙහෙයුම

පසුගිය කා‍ලේ පුරා දිගටම ජ.වි.පෙ. සඳහන් කළේ ඊළඟ මහ මැතිවරණයේදී තීරණාත්මක කාර්ය කරන්නේ ජ.වි.පෙ. බව. ඒකට අදාළව පවතින තත්ත්වයන් කොහොමද?

ඉතිහාසය පුරාවට රටේ ජාතික මැතිවරණයේ තීරණාත්මක සාධකය වුණේ ජ.වි.පෙ.යි. නමුත් එම අවස්ථාව අපිට අපේම වූ බලයක් කර ගැනීම සඳහා කළමනාකරණය කරගෙන මෙහෙය වීමට තිබුණු තත්ත්වයන් තුළ අපිටම අත්පත් කර ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. එළඹෙන ජාතික මැතිවරණයකදී අපි කවර හෝ පාලනයකට කවර හෝ කණ්ඩායමකට එරෙහිව කරට කර බලය පිළිබඳ සටනක් දිනීම සඳහා අපි කටයුතු කර තිබෙනවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම හරහාත් රාජපක්ෂ කල්ලියේ අපරාධ තවත් හෙළිදරව් වීම හරහාත්, මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ල.නි.ප. නායකයා නොවීම හරහාත් විශාලම සමාජ කවයක් ඒ හරහා නිර්මාණය වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය බලයට පත් කරපු ජනතාවගේ අපේක්ෂාවන් බිඳ වට්ටලා තියෙනවා. ඒ හින්දා රට තුළ නව දේශපාලන බලවේගයකට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය වී තිබෙනවා. 2020 දී කරට කර සටනක් දිය හැකි ඒ සඳහා වූ පුළුල්ම මධ්‍යස්ථානයක් ගොඩ නගන්න ජනතා විමුක්ති පෙරමුණ අපි බලා‍පොරොත්තු වෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close