ප්‍රභූ පුතෙක් සම්බන්ධ බව කී සමාජ ශාලා ගැටුම ගැන ජනපති නියමයෙන් පරීක්ෂණ

කොළඹ, යූනියන් පෙදෙස රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ‍ ගැටුම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන මෙන් ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා.

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන මහතා මේ බව සදහන් කළේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ජාවට එක්වෙමින්.

ජනාධිපතිවරයාගේ පුතු වන දහම් සිරිසේන මහතාගේ නමද ඈදා ගනිමින් පුවත් පළවන බැවින් මෙම නියෝගය ලබාදී ඇති බවයි පරණවිතාන මහතා පැවසුවේ.

ජනාධිපති විමර්ශන ඒකකය විසින් ද මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරමින් පවතිනවා.
මෙම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියා මාර්ග ගනු ඇති බවට නියෝජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කර තිබෙනවා.

මතක නැහැලු – අදුරන්නෙත් නැහැලු

නමුත් මෙම සිද්ධියට අදාළ ආයතනයේ හිමිකරු පවසා ඇත්තේ තම ආයතනයේ එවන් සිද්ධියක් නොවූ බවයි.
එමෙන්ම පහරකෑමට ලක් වූ පුද්ගලයා පවසා ඇත්තේ තමාට පහරදුන් පුද්ගලයින් හදුනා ගැනීමට නොහැකි වූ බවයි.

මෙහිදී මාධ්‍යවේදියකු විමසා සිටියේ සිද්ධියට අදාළ පිරිස් මෙවැනි ප්‍රකාශයන් සිදු කරන්නේ කුමන හේතූන් මතද යන්නයි.

ඊට අදාළව යම් බලපෑමක් ඇත්දැයි සොයා පරීක්ෂණ සිදුකරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

ඔබගේ අදහස අපට කියන්න

Close