ප්‍රසන්න විතානගේගේ උසාවිය නිහඩයි වෙනුවෙන් පාර්ශව රැසක් පෙරට – Video

අධිකරණය විසින් මේ වනවිට වාරණය කොට ඇති ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ උසාවිය නිහඩයි සිනමා පටය සම්බන්ධයෙන් අද පාර්ශව ගණනාවක් අදහස් දක්වනු ලැබුවා.
ඒ විශේෂ සාකච්ජාවක් කැදවමින්. එහිදී අදහස් දැක්වූ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා පැවසුවේ මෙම සිනමා පටයට බාධා මතුකිරීමෙන් අදහස් පල කිරීමේ අයිතියේ සුරක්ෂිතභාවයට ගැටලු මතුවන බවයි.
මේ එහිදී දක්වන ලද අදහස්.

අධිකරණය විසින් මේ වනවිට වාරණය කොට ඇති ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටිය සඳහා පාදක කරගෙන ඇත්තේ රාවය පුවත්පත විසින් හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකගේ ක්‍රියාකාරකම් ගැන කරන ලද වාර්තා කිරීම්, ඒ සම්බන්ධයෙන් රාවය හිටපු කර්තෘ වික්ටර් අයිවන් විසින් ලියන ලද ‘නොනිමි අරගලය’ කෘතිය හා එම සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවයි.

හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකගේ උපදෙස් පිට ඔවුන්ගේ නීතිඥයන්ගෙන් ලැබුණු එන්තරවාසියකට පිළිතුරු වශයෙන් තම ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටියට පාදක වූ තොරතුරු මූලාශ්‍ර වශයෙන් ඉහත සඳහන් කරුණු චිත්‍රපටියේ අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මීට පෙර දන්වා යවා ඇත.

හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක මහව මහේස්ත්‍රාත්වරයා හැටියට සේවය කරද්දී තමා ඉදිරියේ විභාග වූ නඩුවක විත්තිකරුවකුගේ භාර්යාව කටඋත්තරයක් ලබා ගැනීමටයැ’යි කියා තානායමකට ගෙන ගොස් ලිංගික සංසර්ගයේ යෙදීම, තමා ඉදිරියේ විභාග වන නඩුවක විත්තිකාරියකට පිස්තෝලයක් පෙන්වා බියගන්වා ඇය සමඟ ලිංගික සංසර්ගයේ යෙදීම හා මහේස්ත්‍රාත් ධුරය ලැබීමට පෙර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සේවය කරමින් සිටියදී තුන්වන පාර්ශ්වයේ රක්ෂණ මුදල් වංචාවක් සම්බන්ධව තමන් වැරදිකරු වී සේවයෙන් ඉවත් කරන ලද බව හෙළිදරව් නොකොට මහේස්ත්‍රාත් ධුරය ලබාගැනීම ඇතුළු චෝදනා හතරක් සම්බන්ධයෙන් ලෙනින් රත්නායක මහතාට එරෙහිව අභියාචනාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් මගින් විමර්ශනයක් පවත්වන ලද අතර එය අවසානයේ රත්නායක මහතා සියලු චෝදනාවලට වැරදිකරුයැ’යි තීරණය විය.

ප්‍රසන්න විතානගේ මහතා ‘උසාවිය නිහඬයි’ වාර්තා චිත්‍රපටය නිපදවා ඇත්තේ ඉහත කාන්තාවන් දෙදෙනා සමඟ බලහත්කාරයෙන් ලිංගික සංසර්ගයේ යෙදීමේ සිදුවීම් පාදක කරගනිමිනි.

පසුගිය ඔක්තෝබර් 4 වැනිදා සිට සීමිත සිනමාහල් කීපයක මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා සූදානම් කරන ලද අතර වාරණ නියෝගය ලබාගෙන ඇත්තේ මෙම මහජන ප්‍රදර්ශනයට විරුද්ධවය.

මීට පෙර මෙම චිත්‍රපටය විවිධ සංවිධාන, කණ්ඩායම් හමුවේ හා විවිධ සිනමා උළෙලවල ප්‍රදර්ශනය වූ අතර ඒ ආශ්‍රිතව අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව සාකච්ඡා ද සංවිධානය කෙරිණ.

එම මහජන ප්‍රදර්ශනය සම්බන්ධයෙන් ලෙනින් රත්නායක මහතා විසින් ඉහත එන්තරවාසිය එවන ලදි.

කොළඹ දිසා විනිසුරු එම්.යූ. ගුණවර්ධන විසින් උසාවිය නිහඬයි චිත්‍රපටය ප්‍රදර්ශනය ඔක්තෝබර් 19 දින දක්වා වාරණයට ලක් කර ඇති අතර හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක විසින් කරන ලද පැමිණිල්ලක් සලකා බලා එම නියෝගය ලබාදී ඇත.

හිටපු මහේස්ත්‍රාත්වරයා සිය පැමිණිල්ලෙන් දක්වා ඇත්තේ ස්වර්ණවාහිනිය විසින් චිත්‍රපටියට පසුබිම් වූ කතා පුවතට අදාළව විකාශය කරන ලද වැඩසටහනක් මගින් තමන්ට අපහාස වූ බවට සඳහන් කරමින් අපහාස නඩුවක් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවත් එම නඩුව අවසන් නොමැති තත්ත්වය තුළ මෙම චිත්‍රපටිය ප්‍රදර්ශනයවීමෙන් තමන්ට අගතියක් සිදුවන බවත්ය.

ඔබගේ අදහස අපට කියන්න

Close