බැදුම්කර ගනුදෙනුවේ තොරතුරු හෙළිකළ අය රකින්න – මහ බැංකුවට ඉල්ලීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් Perpetual Treasuries Limited (PTL) සමාගම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේ තොරතුරු අනාවරණය වීම සම්බන්ධයෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කොට තිබේ.

එම නිවේදනය මගින් කිසිදු අවස්ථාවක එම වාර්තාව අසත්‍ය වාර්තාවක් බවට ප්‍රකාශ නොකරන අතර දළ වාර්තාවක් පමණක් බව පැහැදිලිව හදුනාගත හැකිය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැවැන්ත අලාභයක් කළ මේ රටේ පුරවැසියන් දැවැන්ත ණය උගුලක කොටස්කරුවන් බවට පත් කළ ‘මහ බැංකු බැදුම්කර වංචාව‘ සම්බන්ධයෙන් වන මෙම වාර්තාව හෙළිදරව් කිරීම සමාජ සුබසෙත සදහා වූ ඉදිරිගාමී පියවරකි.

ඒ සදහා මැදිහත් වූ බැංකුකාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිසිවෙටෙක සමාජගත විය නොහැකිව තිබූ,  එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව සතුව විමර්ශනය කිරීමේ හා අනාවරණය කිරීමේ හැකියාව ඇති තොරතුරු සමාජ ගත කොට ඇත.

මුලින්ම හෙළිකලේ දූෂණ විරෝධී පෙරමුණ

එය ලංකා ඉතිහාසයේ මැද භාගයේ සිදු වූ දැවැන්තම මුල්‍ය වංචාව පිළිබද විමර්ශන සිදු කිරීමට බලකර සිටී.

මහා භාණ්ඩාගාරය විසින් සිදු කළ බැදුම්කර වංචා සිදුවීම් දෙකේ දී මුලික හෙළිදරව් කිරීම් සිදු කරනු  ලැබූවේ ‘දුෂණ විරෝධී පෙරමුණ‘ විසිනි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නැවත එම තනතුරට පත් කිරීමට එරෙහිව කීර්ති තෙන්නකෝන් මහතා විසින් අධිකරණයේ නඩු පැවරීම සිදු කරනු ලැබීය.

අප එමගින් බලාපොරෝත්තු වූයේ පොදු සමාජයේ යහපත සහ මහ බැංකුවේ සිදු වූ දැවැන්ත මුල්‍ය අපචාරයක් අනාවරණය කිරීමය.

තොරතුරු හෙලිකළ අයට පරීක්ෂණ එපා

මෙම වාර්තාව අනාවරණයවීම පිළිබදව විමර්ශන පැවැත්වීම වෙනුවට වහා සිදු කළ යුතුව ඇත්තේ මේ දැවැන්ත මුල්‍ය අපරාධය සිදු කළ පාර්ශව සම්බන්ධයෙන් වහා විමර්ශන ඇරඹීම යි.

එමෙන්ම මෙම තොරතුරු අනාවරණ්‍යට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන්  Whistleblower Protection (අකටයුතු නාදකයින් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය) යටතේ ආරක්ෂාව හිමි විය යුතුයි.

දුෂිත මුල්‍ය අක්‍රමිකතා අනාවරණය කිරීමේ දිරිගැන්ම සිදු කළ හැක්කේ එමගිනි.

අදාළ වාර්තාව මගින් හෙළිවන මුලික කරුණු මෙසේය.

  • මෙම අභ්‍යන්තර විමර්ශනය 2015 නොවැම්බර් 24 සිට 26, 2016 ජුලි 26 සිට 28සහ 2016 අගෝස්තු 4 සිට 8 දක්වා යන කාලවල සිදුකර ඇත.
  • හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝෂියස් මහතා ප්‍රධාන විධායක නිලධාරී ධූරය දැරූ ඔහුට අයත් පර්පෙචුවල් ට්‍රේෂරීස් ආයතනය වෙළඳපොලේ පවතින පොලී අනුපාතිකයන්ට පිටින් ලංසු තැබීම් සිදුකර ඇත.  එය නීත්‍යානුකූල නොවන දඬුවම් ලැබිය හැකි වරදක් වේ.
  • චෝදනා එල්ල වී ඇති සමාගම සිය ගනුදෙනුකරුවන්ගේ තොරතුරු ලංකා සෙක්‍යු පද්ධතිය වෙත අප්‍රමාදව සහ නිරවද්‍ය ලෙස වාර්තා කිරීමට අපොහොසත් ව ඇත.
  • එම තත්ත්වය තුළත් මෙම සමාගම 2016 මැයි වනවිට MRA ගිවිසුම් 172ක් සහ ගනුදෙනුකරුවන් සමඟ ගිවිසුම් 132 ක් අත්සන් තබා ඇත.
  • තවත් වැදගත් අනාවරණයක් වනුයේ ප්‍රමාණවත් මූල්‍ය හැකියාවක් සහ ශක්තියක් නොපවතින තත්ත්වයක් තුළ මෙම සමාගම අධිප්‍රාමාණික ලංසු තැබීම් බැඳුම්කර වෙන්දේසි වලදී සිදුකර ඇති බවයි.
  • තවදුරටත් මෙම වාර්තාව දක්වන පරිදි 2016 මාර්තු 29 සහ 31 යන දිනවල පැවති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී මෙම සමාගම තැබූ මුළු ලංසුව රු.බිලියන 49.4වන අතර එයට අනුව අප්‍රේල් 01 දින වනවිට රු. බිලියන 42 ක් එම භාණ්ඩාගාර බැඳුම්කර ලංසුව ප්‍රතිග්‍රහණය කරවීම සඳහා පියවිය යුතුව තිබුණි. කෙසේවෙතත්, අදාළ දිනය වනවිට රු. බිලියන 36 කවත් ප්‍රමාණවත් මූල්‍ය ශක්තියක් මෙම සමාගම සතුව නොතිබුණි. එම නිසා සැලකිය යුතු ප්‍රමාණයක ණයක් ප්‍රතිවර්ත වෙන්දේසියෙන් (Reverse Repo Auction), එක්දින ද්‍රවශීලතා පහසුකම් වලින් සහ  මූල්‍ය වෙළඳපොලින් සපයාගත යුතු විය.
  • කෙසේ නමුත් එම ප්‍රමාණවත් මූල්‍ය පියවීම සිදුකිරීමට අපොහොසත් වීම නිසා මෙමPTL සමාගමට රු.මිලියන 21.3 කා අතිරේක දඩමුදලක් ද  නියම කොට ඇත.
  • මෙලෙස ප්‍රමාණවත් මූල්‍ය හැකියාවක් නොතිබියදී පවා ප්‍රාථමික වෙන්දේසියේදී ලබාගත් භාණ්ඩාගාර බැඳුම්කර වෙළඳාම් කිරීමෙන් රු.මිලියන 4652.7 ක ප්‍රාග්ධන හිමිකාරීත්වයක් ලැබීමට 2016 අප්‍රේල් සහ මැයි කාලවලදී මෙම සමාගම සමත්වී ඇත.
  • ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඉනෝකා මොහොට්ටි මහත්මිය විසින් මෙම වාර්තාව සකස් කොට ඇත.  ඇය එම දෙපාර්තමේන්තුවෙන් මාරු කොට මෙම වාර්තාව යට ගැසීමේ උත්සාහයක් පැවතිණි.  එහි අරමුණ වූයේ මේ කරුණු ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත වාර්තා කිරීම වැලැක්වීම යි.
බිලියන 5ක ලාභයක්

අර්ජුන් ඇලෝසියස් මහතා ගේ හිමිකාරීත්වය සහිත පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම 2016මාර්තු 31 අවසන් ගිණුම් වර්ෂය තුළ බදු ගෙවීමෙන් පසුව රු. බිලියන 5.1 ක ලාභයක් ලබා ඇත.

එයට පෙර වසරේ ලැබූ රු.බිලියන 0.9 ක ලාභය හා සසඳන කළ එය සියයට430 ක වර්ධනයකි.  එක් දිනකට අදාළ සමාගම රුපියල් කෝටි එක හමාරකට ආසන්න ලාභයක් වාර්තා කර ඇත. එය 20 දෙනෙකුගෙන් යුතු සමාගමකට ඇදහිය නොහැකි ලාභයකි.

ලංකා ඉතිහාසයේ දැවැන්තම මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළ පුද්ගලයින්ට Whistleblower Protection (අකටයුතු නාදකයින් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය) යටතේ ආරක්ෂාව ලබාදීම දුෂණ මැඩලීමේ පිළිගත් ව්‍යවහාරය යි.

ඒ වෙනුවට ශ්‍රී ලංකා මහ බැංකුව හෝ වෙනත් දේශපාලන බලාධිකාරියක් අකටයුතු නාදකයන් මර්ධනය කොට වංචාකරුවන් ආරක්ෂා කිරීමට උත්සහ දරන්නේ නම් දුෂණ විරෝධී පෙරමුණ එය උත්සාහය පරාජය කිරීමට අපගේ උපරිම කැපවීම දක්වනු ඇත.

ඔබගේ අදහස අපට කියන්න

Close