විසාලාවක් වූ සාලාවේ මිනිස්සු තවමත් අසරණයි – ව්‍යාපාර අඩපණයි

කොස්ගම සාලාව ( Salawa ) අවි ගබඩාව හදිසියේ පුපුරා යෑමෙන් සිදුවූ අතිවිශාල විනාශය හදිසි ආපදාවක් නොවන බව අපි දනිමු.

එමෙන්ම එම ප්‍රදේශය අතිබිහිසුණු යුද්ධයකට හදිසියේ මෙලෙස නතු නොවූ බව ද පිළිගනිමු.

සිදුවීමට මේවන විට මාස හතරක් ගතවී හමාරය.

එය කෙසේ සිදු වූවා ද යන්න සෙවීම කෙසේ වෙතත් තවමත් ඊට මැදිවී පිළිසරණක් සොයන මිනිසුන්ගේ හඬ නම් අදටත් සාලාවේ සුලබය.

“අපිට තව කාලයක් බලා ඉන්න බෑ. දැන් මාස හතරකට ළඟයි.

අපේ ව්‍යාපාර ගොඩනගා ගන්න ඕනෑ. ගෙවල්වලට වෙලා ඉඳලා අපේ මානසිකත්වය දැන් බිංදුවට බැහැලා.

ඒක තවත් වට්ටන්න එපා කියලායි අපි කියන්නේ”

පළමුව නිවාස – දෙවනුව ව්‍යාපාර

“ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මුලදී කීවා පළමුවෙන් නිවාස, ගොඩනැගිලි ඉදිකර දීලා දෙවනුව ව්‍යාපාර ගොඩනගලා දෙනවා කියලා.

ඒ නිසා පසුගිය කාලයේම අපි අනිත් මිනිස්සු එක්ක එකතු වෙලා ඒ අයගේ ගැටලුවලට විසඳුම් ලබාගන්න උදව් කළා.

දැන් වෙළෙද ව්‍යාපාරිකයෝ තනිවෙලා. අපේ කිසිම දේකට තවම විසදුම් නෑ.” මේ හඬ සාලාව නගරයේ ව්‍යාපාරිකයන්ගේ ය.

මේ දිනවල එම ප්‍රදේශයේ ව්‍යාපාර භාණ්ඩ තක්සේරුව සිදුවෙයි.

රජය එය කප්පාදුවකට ලක් කිරීමෙන් ව්‍යාපාරිකයන්ට අසාධාරණයක් සිදුවන බවට ද සාලාව ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව පවසති.

එබැවින් සැප්තැම්බර් 6 වැනි දින ඔවුහු මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිල්ලක් ඉදිරිපත් කළෝය.

කොන්දේසි ලිපි

“මට කරුණු නවයකින් කොන්දේසි දාලා ලියුමක් එවලා තියනවා.

ආදායම් බදු විස්තර, සැපයුම් කරුවන්ගෙන් විස්තර, ස්ටොක් පාලන විස්තර ඒ වගේ තවත් දේ.

සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාත්, දිසාපතිතුමාත් කීවේ නැතිවුණු ඇල්පෙනෙත්තක දේ වුණත් තමන්ගේ හෘදය සාක්ෂිය දන්නවා නම් ගෙවීම් කරනවා කියලා.

අපි ඒතරම් දේවල් ඉල්ලුවේ නෑ. හෘදය සාක්ෂියට එකඟවයි අපි ඇස්තමේන්තු රජයට භාර දුන්නේ. අපි මාස ගණනක් ගෙවල්වල.

අපේ ගෝලයෝ ගෙවල්වල. තවමත් මේවාට විසඳුම් නෑ.”

මේ, සාලාව එක්සත් වෙළෙඳ ව්‍යාපාරික සංගමයේ සභාපති එස්.එච්. හේමන්ත මහතාය.

පිපිරීම සිදුවූ පසු මිනිසුන් තමන්ගේ ස්ථාන බැලීමට පැමිණියේ දින කීපයකට පසු යුද හමුදාව සමඟ බවත් මිනිසුන් ඒවාට මැදිහත්වීමට ප්‍රථම යුද හමුදාවෙන් නිවාස, ව්‍යාපාරික ස්ථාන සියල්ල රූගත කළ බවත් ඔහු පවසයි.

එබැවින් මිනිසුන් තක්සේරුවක් දීමට පෙර ඔවුන් සතුව ද එම දත්ත තිබෙන බවත් දැන් නැවතත් මිනිසුන්ගෙන් පෙර ඡායාරූප, සීසීටීවී දර්ශන ඉල්ලීම වැරදි බවත් ඔහු පවසයි.

සිදුව තිබෙන විනාශයෙන් සියල්ල අළු වී ගොස් තිබිය දී සීසීටීවී කැමරා ඉතිරි නොවූ බව ඔවුන් නොදන්නේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

ද්විත්ව නාමලේඛන ප්‍රශ්නයක්

“සමාන අංක තියන ගෙවල්, ගොඩනැගිලි ඔක්කොම ද්විත්ව නාමලේඛන කියලා ගෙවන්නේ නැතිව නවත්තගෙන ඉන්නවා.

මගේ ව්‍යාපාරික ස්ථානයේ අංකෙම තියන ගෙවල් තුනක් තව තියනවා වෙන නිවාස සංකීර්ණවල, ඒවා වෙනත් අයගේ ඒවා.

ඒ ඔක්කෝම ද්විත්ව නාමලේඛන කියලා තාම ගෙවන්නේ නෑ.

ග්‍රාම නිලධාරීත් දන්නවා ගෙවල් හතරක් බවත්, හතර දෙනෙක්ගේත් බවත්.

හතර දෙනාම ගෙන්නලා හරි තත්පරෙන් විසඳන්න පුළුවන් ගැටලුවක් තියාගෙන තාම ඉන්නවා”

මහින්ද කාරියප්පෙරුම මහතා තම නටබුන් වී ගිය නිවසත් ව්‍යාපාරික ස්ථානයත් පෙන්වමින් පවසයි.

මාස හතරකට ආසන්න වුවද තවම පූර්ණ හානි සඳහා ලබාදෙන රුපියල් පනස්දහසේ දීමනාව තෙවන මාසය සඳහා කිසිවෙකුට ලබා දී නොමැති බවට ද ඔවුහු චෝදනා කරති.

සාලාව නගරයේ ලෙනදොර නමින් හෝටලයක් පවත්වාගෙන ගිය නන්දසේන රණසිංහ මහතා ද පවසන්නේ මෙවන් කතාවකි.

“භාණ්ඩ තක්සේරුවේ මුදල් තවම ලැබුණේ නැහැ.

මගේ ළඟ සේවකයෝ තුන්දෙනෙක් වැඩ කළා. මම ඒ අයට දවසකට රුපියල් දාහ ගාණේ ගෙවුවා.

එක මාසයක් ඒ අයට රුපියල් දහදාහේ දීමනාව ලැබුණා.

එක මාසෙන් මේවා ආපහු ගොඩ නගලා දුන්නා නම් ඒ මුදල ඇති. ඒත් එහෙම වුණේ නැහැනේ.”

සාකච්ජාවනුත් ඉවරයි

මෙම කටයුතු සියල්ල යළි ගොඩ නංවා අවසාන වන තෙක් ඒවායේ උන්නතිය පිළිබඳ සාකච්ඡා කිරීමට සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ ජනාධිපතිතුමාගේ උපදෙස් මත පිහිටු වූ කමිටුව ද පැවැත්වුණේ වාර තුනක් පමණක් බව සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව හා සාලාව එක්සත් වෙළෙඳ සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි පවසයි.

“මේ වැඩ කටයුතු අවසන් වන තුරු සතියකට වරක් පවත්වන ලෙස දැන්වූ කමිටුවත් දැන් අත්හිටුවලා.

ඒ නිසා ජනතාවගේ ගැටලු කියන්න තිබුණ තැන දැන් නෑ.

ඒ නිසා අසරණ වෙලා ඉන්න මිනිස්සු දිනපතාම වගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යනවා.

ඒ අයට පැහැදිලි පිළිතුරක්, විසඳුමක් තවම නෑ.”

සාලාව නගරයේ නටබුන් ලෙස දිස්වූ ව්‍යාපාරික ස්ථාන මේ වන විට යුද හමුදාව විසින් ඉවත් කර තිබෙයි.

නැවත ඒවා ඉදිකිරීමට නව නගර සැලසුමක් යටතේ සිදුවනු ඇති බව සීතාවක ප්‍රාදේශීය ලේකම් බණ්ඩාර මාපා මහතා පවසයි.

එතෙක් ව්‍යාපාරිකයන් සඳහා රුපියල් පනස්දහසේ දීමනාව නොකඩවා ලබාදීමට ඉල්ලීම් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කරයි.

“ව්‍යාපාරික යන්ගේ තක්සේරුවල ගැටලු තිබෙනවා.

ඒවා විසඳා ගැනීමට දිසාපතිතුමාත් ලිපියකින් දැනුම් දී තිබෙනවා තොග බඩු ලබාගත් තැන්, බැංකු ගනුදෙනු ආදි ලියකියවිලි ඉදිරිපත් කරන්න කියලා.

මුදල් ගෙවීමේ යම් ප්‍රමාදයක් තිබෙනවා. මුදල් නැතිව නෙමෙයි, ගෙවන්න යම් පරීක්ෂාවක් කිරීම අවශ්‍යයි.”

සැප්තැම්බර් 21 වන දා මුදල් අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආපදා කළමනාකරණ අමාත්‍යාංශ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණු බව සාලාව චන්දන සූරියආරච්චි පවසයි.

“පූර්ණ හානි 136ට අගෝස්තු මාසය සඳහා රුපියල් 50,000 දීමනාව ලබාදීමටත් එය නොවැම්බර් දක්වා දීර්ඝ කිරීමටත් එහිදී තීරණය වුණා.

ඒවා තවම ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් සැප්තැම්බර් මාසය වුණත් තවම අගෝස්තු මුදලත් නෑ.

ඒ ගැන අපි නැවත දිස්ත්‍රික් ලේකම් වරයාගෙන් විමසුවාම තවම ආපදා එකෙන් මුදල් ලැබුණේ නෑ කියනවා.

සැප්තැම්බර් 21 සාකච්ඡාවේ දී නම් කතාවුණේ 22 වෙනිදා වන විට මුදල් දෙන්න පුළුවන් වගේ මට්ටමෙන්.

ජනතාව කර ගත් වරදක්ද

මිනිස්සු තමන් විසින්ම කර ගත් දේකට රජය අල්ලගෙන ඉන්නවා වගේ තැනකට තමයි දැන් මේක තල්ලු වෙලා තියෙන්නේ.”

ඒ අතර සාලාව නගරයේ නටබුන්වී ගිය දැවැන්ත නිවාස අබියස දූවිලි බොමින් බොහෝ නිවැසියෝ තම නිවාස ඉදි කිරීමට සූදානම් වන බාස්වරුන්ට අත් උදව් දෙති.

සමහර අයට අඩක් හෝ ලැබුණු ගොඩනැගිලි තක්සේරුවෙන් ඔවුහු වැඩ අරඹා තිබේ.

තවත් අය එම මුදල් ලැබෙන තුරු කඩා වැටෙන්නට ඔන්න මෙන්න තිබෙන ගොඩනැගිලි කොටස් එලෙසම තිබෙන්නට හැර තක්සේරුවට එන තුරු බලා හිඳිති.

ඒ නිවාස අසල තිබී ආපදාවට ලක්වූ රථවාහන ද තවමත් නිසොල්මනේ ය.

සියල්ල යළි ගොඩනැගෙන තෙක් ඉවත් නොවන බව මුලදී පැවසූ යුද හමුදාව ද මේ වනවිට තමන්ට උදව් දීමෙන් බැහැරව ඇතැයි ඇතැමෙක් චෝදනා කරති.

සුළු හානි සිදුවූ නිවාස, ගොඩනැගිලි ඉදිකර දී ඔවුන් ඉවත් වූ බව ද ඔවුහු පවසති.

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

ඔබගේ අදහස අපට කියන්න

Close