දුෂණ විරෝධී පෙරමුණ ජනපතිගේ ප්‍රකාශය ගැන විමතියෙන් – කීර්ති තෙන්නකෝන් කියයි

හමුදා ප්‍රධානීන් සහ ඉහළ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් අධිකරණයට කැඳවනු ලැබීම සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දීර්ඝ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තැබීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමතියට පත් වූ බව දූෂණ විරෝධී පෙරමුණ පවසනවා.

දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා මේ බව සදහන් කළේ බී බී සී ගුවන් විදුලිය සමග සාකච්ජාවකට එක්වෙමින්.

හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයට කැඳවන ලද්දේ ‘ඇවන්ගාර්ඩ්’ විභාගයට අදාළ නඩුකරයක් සඳහා වූ  බව කීර්ති තෙන්නකෝන් මහතා මෙහිදී සිහිපත් කළා.

‘හමුදාවේ නිලධාරීන් යුද්ධයට ගිය බව ඇත්ත. නමුත් ඔවුන් යුද්ධයෙන් පසුව වෙනත් තනතුරු දරමින් සිදු කරන කටයුතු ශ්‍රී ලංකාවේ නීතියට පටහැණි වේනම් පිළිගත් ක්‍රමවේදයන්ට අනුව ඔවුන් සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය එම ක්‍රමවේදය අනුව කටයුතු කර ඇති බව තම හැගීම බවද තෙන්නකෝන් මහතා පැවසුවා.

එක් පාර්ශ්වයක් සම්බන්ධයෙන් එවැනි නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් ඇති අතරම අනිත් අතින් අල්ලස් දූෂණ සිදු කළ තවත් පුද්ගලයන්ට එරෙහිව දේශපාලන ළබැඳියා නිසා පියවර නොගැනීමක් දක්නට ලැබෙන බවත් ඔහු පෙන්වා දෙනවා.

දේශපාලන බලපෑම්

මහබැංකු බැඳුම්කර විකිණීමේ සිද්ධියේ දී සිදු වූ අපචාර ඇතුළත් වාර්තාවක් මහජනතාව අතට පත්ව තිබියදීත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගැනීම ඔහු ඊට උදාහරණයක්.

පසුගිය කාලය තුළ දූෂණ සම්බන්ධයෙන් සිදු කෙරුණ පරීක්ෂණවලට දේශපාලන බලපෑම් එල්ල වීම ඉතා පැහැදිළි කරුණක් බවයි රජිත් කීර්ති තෙන්නකෝන් පවසන්නේ. (BBC)

 

ඔබගේ අදහස අපට කියන්න

Close