ලොව වැඩිම කලක් කිරුළ දැරූ භූමිපොල් රජු මිය යයි – පාලන කාලය වසර 70 යි

ලෝකයේ වැඩිම කාලයක් සිහසුන දැරූ රාජ්‍ය පාලකයා වන තායිලන්තයේ භුමිපාල් රජු අද අභාවප්‍රාප්ත වුණා.

රාජ්‍ය පාලනයෙන් තායිලන්තය තුළ මහත් ගෞරවාදරයට පාත්‍රව සිටි එතුමන්ගේ පාලන කාලය තුළ හමුදා කුමන්ත්‍රණ රැසක් සිදුවීමද විශේෂත්වයක්.

දේශපාලන අධිකාරියට ඉහලින් පෙනී සිටි පීතෘවරයෙකු බඳු චරිතයක් හිමිව සිටි ඔහු දේශපාලන කැළඹීම් සහිත අවස්ථාවන් වල දී ඒවාට මැදිහත්වී කටයුතු කරනු ලැබුවා.

තායිලන්ත ව්‍යවස්ථාවට අනුව රාජ්‍යත්වයට හිමිවන්නේ සීමිත බලයක් වුවද තායිලන්ත ජාතිකයින් ඔහුට දක්වනු ලැබුවේ අසීමිත ගෞරවයක්.

ඉපදුණේ අමෙරිකාවේදී

භුමිපාල් රජු උපත ලැබුවේ 1927 දෙසැම්බර් මස 5 වැනිදා ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ කේම්බ්‍රිජ් හි දීය.භුමිපාල් බිලිඳා උපත ලැබුවේ ඔහුගේ පියා වූ මහිපාල් අතුලතේජ් කුමරු හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටියදීය .

ආපසු තායිලන්තයට පැමිණ භුමිපාල් කුමරු දෙහැවිරිදි වියේ පසුවෙද්දී ඔහුගේ පිය රජු අභාවප්‍රාප්ත විය.භුමිපාල් කුමරුගේ පියාගේ මරණින් පසු මව ස්විස්ටර්ලන්තයට ගිය අතර කුමරු අධ්‍යාපනය ලැබුවේ එහිදීය.

1932 දී තායිලන්ත රාජ්‍යත්වයේ බලතල අඩු කිරීමෙන් පසු රජ පවුලට හිමි රාජකීය තත්වය ක්‍රමයෙන් හීන වී ගිය අතර 1935 දී භුමිපාල් කුමරු ගේ මාමා වූ ප්‍රජාධිපොක් රජු පාලනය අත්හළේය.

අනතුරුව සිහසුන පැවරුනේ භුමිපාල් කුමරුගේ සහෝදරයෙකු වූ නව හැවිරිදි ආනන්ද කුමරුටයි.1946 දී බැංකොක් මාලිගයේ සිදුවූ වෙඩි තැබීමකින් ආනන්ද රජු මිය ගිය අතර වයස අවුරුදු 18 ක් වූ භුමිපාල් කුමරු සිහසුනට පත් වුණා.

ඔබගේ අදහස අපට කියන්න

Close