බැසිල්ගේ නොවන බව කියූ මල්වානේ ඉඩම වෙන්දේසි කරන්නැයි අධිකරණයෙන් නියෝග

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ සම්බන්ධීකරණ කාර්යාලය ලෙස පවත්වාගෙන ගිය මල්වාන ගඟබඩ පාරේ අක්කර 16ක ඉඩම සහ එම නිවස ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා ලැබෙන මුදල් නඩුවට බැර කරන ලෙස පූගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන්පතිරණ මහතා  අද නියෝග කළා.

ඒ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව ලබාදෙමින්.

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට අයත් මල්වානේ ඉඩම සහ නිවස සම්බන්ධයෙන් ඔහු හෝ වෙනත් කිසිවකු හිමිකම් නොකියන්නේ නම් එය විකුණා මුදල් එම නඩුවට බැර කරන ලෙස රජයේ සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පසුගිය 04වනදා එම නඩුව කැඳවූ අවස්ථාවේ පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබිණ.

ඉඩමට හිමිකරුවෙක් නෑ

ඒ බැසිල් රාජපක්ෂ මහතා අදාළ ඉඩම තමන්ගේ නොවන බව අධිකරණයට දැනුම්දීම හේතුවෙන්.

මෙම ඉඩම බැසිල් රාජපක්ෂගේ ඥාති සහෝදරියක වන නිරූපමා රාජපක්ෂ මන්ත්‍රීවරියගේ සැමියා වන තිරුනඩේෂන් මහතාගේ නමට තිබී ඇති අතර පසුව ඔහු විසින් මුදිත ජයකොඩි නැමැත්තාගේ නමට එය පවරා ඇති බවයි ප්‍රකාශ වුණේ.

මුදිත ජයකොඩි යනු රාජපක්ෂවරුන්ගේ සෑම ව්‍යාපෘතියකම ගෘහනිර්මාණශිල්පියා ලෙස කටයුතු කළ තැනැත්තා වන අතර පූගොඩ නිවසේ ගෘහනිර්මාණශිල්පියාද වන්නේ ඔහුයි.

ඔබගේ අදහස අපට කියන්න

Close