සක්වල සහ සසර පැවැත්ම ගැන බුදු දහමේ මතය – ඛෙල්ලන ඥානවිමල නාහිමි

අපවත්වී වදාළ ඛෙල්ලන ඥානවිමල නාහිමියන් මෙරට වැඩ විසූ ගූණවත් හා ප්‍රඥාවන්ත යතිවරුන් අතරින් ප්‍රධානය.

උන්වහන්සේ  වැඩසිටි සමයේ දේශනා කරන ලද සක්වල සක්මන දේශනා මාලාවේ බුදු සරණ පුවත්පත වෙනුවෙන් චාමික මුණසිංහ මහතා රචනා කළ  ලිපි එකතුවක තවත් ලිපියක් මෙසේ පල කරන්නෙමු.

මහානායක හාමුදුරුවනේ, සක්වළේ සහ අපේ සසර පැවැත්ම පිළිබඳව බුදුදහමේ විස්තර වන්නේ කොහොමද?

මේ මහා සක්වළ ඇතුළු සකල විශ්වයම ක්‍රියා කරන්නේ කිසියම් ධර්මතාවයකට සහ රටාවකට අනුවයි. සක්වළේ වගේම අපේ සංසාර ගමනේත් එබඳු එක්තරා රටාවක් පවතිනවා. මෙන්න මේ කාරණය වටහා ගැනීමට අපට ‘නියාම ධර්ම’ උපකාරී වෙනවා. මේවාට පොදුවේ අප ‘විශ්ව ධර්මතා’ කියලත් කියනවා. මේ ධර්මතා පිළිබඳව නිවැරැදිව තේරුම් නොගත් අවස්ථාවලදී මේ ලෝකය, අපේ සංසාරය අද්භූතයි, අභව්‍යයි, ගුප්තයි, හරිම අදෘශ්‍යමානයි, විස්මිතයි කියනු ලබනවා.

තව කෙනකුට ‘නියාම ධර්ම’ හා ‘විශ්ව ධර්මතා’ පිළිබඳ හරිහැටි නොවැටහීමෙන් මෙබඳු ගැටලු – ප්‍රශ්න මතු වෙන්නටත් පුළුවන්.

  1. ඇයි? ඉර, හඳ, තරු හැමදාම එකම පැත්තකටම ගමන් කරන්නේ.

 

  1. පෘථිවිය ඇතුළු මේ ග්‍රහ වස්තුවලට අනෙක් පැත්තට භ්‍රමණය වෙන්න බැරිද?

 

  1. මේවා හතරැස් නොවී රවුම් වුණේ මොකද?

 

  1. ඇයි බිළින්දන් ක්‍රමිකව මහල්ලන් වෙලා මිය යන්නේ?

 

  1. මහල්ලන්ට ක්‍රමිකව ආපසු තරුණ වී බිළින්දන් වෙලා මිය යන්න බැරිද?

 

වාගේ නොයෙක් විකාර රූපී සිතිවිලි මතුවෙන්න ඉඩ තිබෙනවා.

 

නියාම ධර්ම පහ

 

එතකොට, නියාම ධර්ම මඟින් කියා පාන්නේත් මේ විශ්ව ධර්මතාවයන්මද?

 

ඔව්. දැන් ‘නියාම ධර්ම’ ලෙස 1. උතු නියාම, 2. බීජ නියාම, 3. කම්ම නියාම, 4. ධම්ම නියාම සහ 5. චිත්ත නියාම යන නියාම ධර්ම පහක් පිළිබඳව බුද්ධ දේශනාවේ විස්තර වෙනවා.

 

  1. බක්, වෙසක් මාසවල (වසන්ත කාලයට) මල්, ඵල, ගෙඩි බහුලව ස්වභාවිකව හටගන්නේ ‘උතු නියාමය’ නිසායි. ඇයි මේ කාලයට මල්ඵල හට ගන්නේ කිය කියා, සිත සිතා පසුවෙනවාට වඩා ඒ උතුනියාමය මඟින් ඇති කරන වස්සාන සෘතුවේ ස්වභාවයයි. සිතීම ප්‍රඤ්ඤාගෝචරයි.

 

  1. ‘බීජ නියාමය’ කියන්නේ පාරම්පරික ආරෙට මතුවන (ජාන) ලක්‍ෂණ වලටයි. අපේ සිංහල දෙමාපියන්ට බිහි වන දරුවන් තුළ පිහිටන්නේ යුරෝපීය හෝ අපි‍්‍රකානු හෝ පෙනුමක් නොවෙයි. ඒ වගේ වඳුරන්ගේ පැටව් ලෙස බිහිවෙන්නේ, ක්‍රමිකව වැඩෙන්නේ වලිගයක් සහිත වඳුරු පැටව්මයි. ජීවීන් තුළ වගේ ම ගස් වැල් ශාඛ තුළත් මෙම බීජ නියාම ලක්‍ෂණ බල පැවැත්වෙනවා. එනම්, වී ඇටයකින් බිහිවන පැළය ගොයම් (වී) පැළයක්ම විනා තල හෝ මුන් හෝ අබ පැළයක් නොවෙයි. ඒවගේම අඹ පැළයක් හැදෙන්නේ අඹ ඇටයකින්මයි. ඒකට කලින් කිව්ව ‘උතු නියාමය’ හෝ ‘කර්මය’ නිසා හෝ බලපෑමක් කිරීමට හෝ වෙනස් කිරීමක් කරන්නට හෝ හැකියාවක් ඇත්තේ නැහැ. ඒ අනුව ‘බීජ නියාමයෙහි’ ස්වභාවය අපි අවබෝධ කර ගැනීම වැදගත් වෙනවා.

 

  1. කම්ම නියාමය යනු සත්ත්වයන්ගේ කර්මයේ (පින්, පව්වල) සම්බන්ධයකින් තොරව හොඳ, නරක විපාක ලැබීමයි. එනම් කෙනෙකු දෙස සිනාසී ඉතා හෘදයාංගම ලෙස බැලූ විට ඒ තැනැත්තා ද පෙරළා එබඳු ප්‍රසන්න බැල්මක් පානවා. අප වෛරයෙන් රවා ඊර්ෂ්‍යාවෙන් යුතුව කෙනකු දෙස බැලූ විට ඔහු හෝ ඇයද ඊට සමාන ඉරියව් පෑම ස්වභාවික සංසිද්ධියක්. සමාජයට හිතකර හොඳ දෙයක් කළ විට පෙරළා පැසසීම් හොඳ ප්‍රතිචාර ලැබීම වගේම අවැඩක් කළාම අවලාද හෙළාදැකීම් ගැරහුම් හිමි වෙනවා. ඒ වගේම අප පොල් පැළයක් හොඳින් සාත්තු කර වවා ගත හොත්, අපට පොල්ඵලදාව භුක්ති විඳීමට අවස්ථාව උදා වෙනවා.

 

  1. අප මහා බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගැනීමේ සිට සිදු වූ බොහෝ සංසිද්ධීන්, ප්‍රාතිහාරයන් ධම්ම නියාමයේ බලය විහිදා පානවා. ජලය පහත් භූමිය කරා බැස යාම මෙන්ම ස්වකීය බුද්ධත්වය ලැබීම සනිටුහන් කිරීමක් ලෙස පාත්‍රය උඩුගං බලා පා හැර හැරීමද ධර්ම නියාමයට අයත් වෙනවා. මේ සියලු සිදුවීම් තුළ ඇත්තේ උතු නියාමයක් බීජ නියාමයක්, කම්ම නියාමයක් හෝ නොවෙයි.

 

  1. ලස්සන මලකට ආකස්ත බවක් ඇතිවීම, මවකට දරුවකු කෙරෙහි බැඳීමක්, තරුණයකුට තරුණියක කෙරෙහි ආදර සිතිවිල්ලක් පහළ වීම යන ආදිය ‘චිත්ත නියාමය’ ලෙස සැලකෙනවා. එලෙස ස්වභාවිකව ඇතිවන සිත් පහළ වීම නැති වීම ආදී තත්ත්වයන් ‘චිත්ත නියාමයෙහි’ ස්වභාවය වෙනවා.

 

කර්මය සහ ධර්මතා

 

එහෙමනම්, කර්මය වගේම නියාම ධර්මතාවයනුත් ලොව සියලු දෙනාටම පොදු වූ විශ්ව ධර්මතාවයක් කියලා ද? ඔබ වහන්සේ කියන්නේ,

 

ඔව්. දැන් බඩගින්නට වෙන රටකට ගියා කියලා බඩගින්න නිවෙන්නේ නැහැ. ඒ වගේම මම අහවල් භක්තිකයෙකු කියලා වසංගත ලෙඩක් පැතිරුණ පළාතකට ගිහින් පරිස්සම් නොවී හිටියොත් ඒ වසංගත රෝගය මටත් වැළඳෙන්න පුළුවන්. හොඳ පවුලක ඉපදීමට කම්ම නියාමය උදව් වුණාට ඒ දෙමව්පියන්ගේ වර්ණයට, පෙනුමට සමාන රූප ලක්‍ෂණ හිමි වන්නේ බීජ නියාමය නිසායි. ඊඟාවට ඔබ ඇසූ පරිදි කර්මය නියාම ධර්මතා හා විශ්ව ධර්මතා හැමටම පොදු වූවක්. තමන් කරන කර්මයට අනුව කුසල අකුසල විපාක භුක්ති විඳීමට හැම දෙනාටම සිදු වෙනවාමයි. ඒක මං අහවල් බැතිමතෙකු හෝ අහවල් ජාතිකයෙකු හෝ කියා එයින් පැන යාමට හැකියාවක් කාටවත් ඇත්තේ නැහැ. මේ ‘විශ්ව ධර්මතා’ තේරුම් ගෙන ක්‍රියා කිරීම දෙලොවටම වැඩදායි වන බව හැම දෙනාටම මතක් කර දීම වටිනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close