මහා පුරවර දහයක් මුහුදු පතුළේ- වසර 28000කට වරක් ලෝක සිතියම උඩු යටිකුරු වෙයි

වසර 28000 කට වරක් පෘථිවි ගෝලයේ සියල්ල උඩු යටිකුරු වෙයි. මහා කාන්තාර මහා සාගර බවට පත්වන අතර මහා සාගර මහා කාන්තාර බවට පත්වෙයි. පංච මහාද්වීප එකට එකතු වන අතර එවිට පෘථිවිය සතුව පවතින්නේ එකම එක මහ සමුදුරක් පමණී. ඇතැම් ගොඩබිම් ප්‍රදේශ මුහුදුබත් වන්නා සේම මුහුදු පතුළෙන් නව ගොඩබිම් ප්‍රදේශ ඉස්මතු වීම ද සිදුවෙයි. මේ අනුව සෑම වසර 28 000 කට වරක් ලෝක සිතියම අංශක 360 කින් උඩු යටිකුරු වෙයි.

අපි දැන් ශ්‍රී ලංකාව ගැන අවධානය යොමු කරමු. අපේ රටේ පිහිටීම ද ඇතුළුව සම්පාදනය කරන ලද පැරණිත ම ලෝක සිතියමේ මුල් අයිතිය හිමිවන්නේ ටොලමි නම් සුප්‍රකට ජ්‍යොතිෂ විශාරදයාට ය. ඔහු විසින් සකස් කළ ලංකා සිතියම අනුව එය ඉන්දීය සාගරයේ විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවතී. ඒ අනුව ලංකාව අද පෙනෙනවාට වඩා බොහෝ මහත දෙහෙතට සිටි බව පෙනේ. මෙරට ජීවත් වූ කීර්තිමත් විද්වතකු වූ ආචාර්ය නන්දදේව විජේසේකර; භූ ගර්භ පර්යේෂණ මත පදනම් වෙමින් පෙන්වා දී තිබුණේ ලංකාව නම් අපේ රට දූරාතීතයේදී ඔස්ට්‍රේලියානු මහා භූමියේ කොටසක් බවයි. ඔස්ට්‍රේලියාවෙන් කැඩී වෙන් වූ මේ භූමි කොටස දූපතක් ලෙස පාවෙමින් අවුත් ඉන්දීය භූමියේ ආකර්ෂණයට ලක් වූ බවත් එතුමා සාධක සහිතව පෙන්වා දෙයි. මේ සමඟ අපි ඔබට තවත් පුදුමයක් ගැන කියමු. හෝර්ටන් තැන්න ලෙස අද අප දකින්නේ දැඩි ශීත කාලගුණයක් සහිත පාරාදීසයකි. එහෙත් මීට වසර 28000 කට පෙර එය දිය පොදක් පවා නැති කාන්තාරයකි.

මේ සියල්ල මෙසේ සිදු වන්නේ එක්තරා නිශ්චිත චක්‍රයකට අනුව බව පෙනේ. වසර 28000 කට වරක් සිදු වන්නේ කුමක් ද ? ඒ පිළිබඳව මිනිසා සතුව සාධක සහ සාක්ෂි ඇති තරම් තිබෙන මුත් සිදු වන්නේ කුමක් දැයි මෙතෙක් කිසිවකුත් නො දනී. වසර 28 000 කට වරක් යෙදෙන එක්තරා කාල පරිච්ජේදයකදී සෞරග්‍රහ මණ්ඩලයේ අති සුවිශේෂ සංසිද්ධියක් හට ගන්නා බව ජ්‍යොතිෂ ගණිතයේ දැක්වේ. ඒ අනුව නැකත් චක්‍රයේ ආරම්භය වූ අස්විදයේ අංශක 0 සහ රාශි චක්‍රයේ ආරම්භය වූ මේෂයේ අංශක 0 යන දෙකම එක එල්ලේ සමපාත වෙයි. රවි ග්‍රහයා අස්විදයේ සහ මේෂයේ අංශක 0 ට ඒම යනු අලුත් ම යුගයක ආරම්භක අවස්ථාවයි. තව ලෙසකට කිවහොත් අලුත් යුගයක් ආරම්භ වීම යනු එතෙක් තිබූ යුගයක පරිපූර්ණ විනාශය සළකුණු කරන අවස්ථාව ලෙස හඳුනා ගත යුතු ය. එය මහා විනාශයකට පසුව එන නව ජීවනයක උදාවයි. ලෝකය සෑම වසර 28000 කට වරක් විනාශ වෙයි. සෑම වසර 28 000 කට වරක් ම ලෝකය යළි උපදී. එදා මහා සමුදුරු මෙදා මහා කාන්තාර බවට පත්වෙන්නේ මේ නියාමය අනුව යැයි සිතිය හැකි මුත් එසේ වන්නේ ඇයි යන්න අභිරහසකි. එහෙත් අපට පමණක් උරුම ආඩම්බරයක් ද මෙහි සැඟවී පවතී. සෞරග්‍රහ මණ්ඩලයේ සිදුවන ඒ අති දැවැන්ත වෙනස සංකේතාත්මක ව සංස්කෘතික උත්සවයක් ලෙස සමරන ජාතීන් අතළොස්ස අතර සිංහලයා මුල් තැනට පත්වේ. සිංහල අලුත් අවුරුද්ද යනු එකී සංකේතාත්මක් සැමරුම වේ. සූර්යා ජල රාශියක සිට ගිනි රාශියකට සංක්‍රමණය වන අවස්ථාව ජ්‍යොතිෂය අනුව ගණ්ඩාන්තයක් හෙවත් අවදානම් මොහොතක් ලෙස පිළිගැනේ. එය පදනම් කැර ගෙන නොනගතය නම් අපූරු කාල මාන ගණිත සංකල්පය මුලින් ම ලොවට හඳුන්වා දෙන්නේ ද සිංහලයන්ගේ බක් මහ මංගල්ලයෙනි.

දූරාතීතයේදී ඉතා දියුණුවට පත්ව තිබූ මහා පුරවර සහ ශිෂ්ටාචාර දහයකට වැඩි ප්‍රමාණයක් අදටත් සාගර පතුළේ නිධන්ගතව පවතී. අති දියුණු ශිෂ්ටාචාරයක් පැවති බව කියන අත්ලාන්තික් මහද්වීපය ඒ සඳහා ඇති ප්‍රකට නිදසුනකි. අතීත ලෝකයට අයත් යෝධ පරිගණකයක් යැයි සැක කරන අද්භූත යන්ත්‍රයක් ද මෑතක දී සාගර පතුළෙන් සොයා ගත්තේ ය. කෙසේ නමුත් ජලය විසින් පරිපූර්ණව දියබත් කොට විනාශ කරන ලද මහා ශිෂ්ටාචාර ගණනාවක නටබුන් දකින අපට එමගින් අනාගතය ප්‍රක්ෂේපණය කළ හැකිව තිබේ. ඒ අනුව අපේ ලෝකය විනාශයට පත්විය හැකි වැඩිම අවදානම ඇති කරන්නේ පිටසක්වළින් එන යෝධ ග්‍රාහක නොව මේ අහසේ ම මේ පොළොවේ ම හට ගන්නා ජලයෙන් ම බැව් දවසින් දවස තහවුරු වෙමින් තිබේ. දරා ගත නො හැකි කාබන් විමෝචනය නිසා ලෝකයේ බොහෝ ගොඩබිම් සාගරයට බිලි විය හැකි බවට විද්‍යාඥයන් විසින් කරනු ලබන අනතුරු හැඟවීම් නො සලකා හරින ප්‍රමාණයට විනාශය ඉතා ඉක්මණින් කැඳවා ගනී.

සොබාවික චක්‍රය අනුව වසර 28000 කට වරක් ලෝක සිතියම වෙනස් වන්නේ ඒ මත පිහිටි සියල්ල ම පාහේ විනාශ කරමිනි. මිනිසා කුමක් කළත් නො කළත් ඒ චක්‍රය එලෙසින් ම ක්‍රියාත්මක වේ. එහෙත් මිනිසාගේ සොබාදහමට එරෙහි ක්‍රියාකාරකම්වල පරිමාව අනුව සියල්ල විනාශ වීමේ කාලය ඉක්මණින් ළඟා වීම සහ හට ගන්නා විනාශයේ තීව්‍රතාව ඉහළ යයි. මෙය වටහා ගැනීමට ශ්‍රී ලංකාවෙන් ම නිදසුනක් උපුටා ගනිමු. මෙරට මෝසම් වැසි සහ ගංවතුර චක්‍රය අනුව ජල ගැලීම් වනාහී මහා ආපදාවන් බවට පත්ව තිබෙන්නේ 2008 වර්ෂයෙන් පසුව යි. එහෙත් වර්ෂාපතන අගයන් වෙනස් වී නැත. සිදු වී තිබෙන්නේ පහත්බිම් ගොඩ කිරීම – අවිධිමත් සහ අවදානම් ඉදිකිරීම් – වාරි මාර්ග පද්ධතිය ආශ්‍රිත දැවැන්ත දුබලතාවන් නිසා ශ්‍රී ලංකාව දැඩි ගංවතුර අවධානමක් ඇති රටක් බවට පත්ව තිබීමයි.

ජ්‍යොතිෂය පදනම් කොට ගෙන කාලගුණ පුරෝකතනයන් සිදු කිරීම කරුණු කිහිපයක් අනුව අවදානම් සහගත වේ. ඒ අතර ඇති ලොකු ම ගැටලුව වන්නේ ලෝකායතන ජ්‍යොතිෂය හෝ ජ්‍යොතිෂ ගණිත සිද්ධාන්ත හෝ පිළිබඳව අබමල් රේණුවක තරම් වත් අධ්‍යනයක් නො කළ අය ද මතුපිටින් අතපත ගා අනාවැකි ප්‍රකාශයට පත් කිරීම ය. මේ ඊනියා අනාවැකි මහ දවාලේ බොරු බවට පත්වන හෙයින් මහජනතාව අතර ජ්‍යොතිෂය විහිලුවට ලක්වේ. වරක් ප්‍රසිද්ධ රූපවාහිනි සංවාදයකට පැමිණි ජ්‍යොතිෂ විශාරදයෙකු යැයි කියා ගන්නා කොලු ගැටයකු විසින් මෙසේ කියන ලදී. ” …. ගංවතුර ගැලුවේ සිංහල අලුත් අවුරුද්ද සඳහා යොදා ගත් නැකත් දෝෂ නිසා ය. …” මෙවැනි කෙබරකාරයන් හැම විටම පෙන්වන්නේ තම නූගත්කම වුවත් පහර වදින්නේ ජ්‍යොතිෂයට ය. දෙවැනි ගැටලුව මතුව එන්නේ බාගෙට උගත් ” විද්‍යාඥයන් ” නිසා ය. ගංවතුර හෝ නියඟය ආදිය ලා නිනා හෝ එල් නිනෝ තත්ත්වයක ප්‍රතිඵලයක් විනා ග්‍රහ තාරකාවල බලපෑමක් අනුව සිදු නො වන්නක් යැයි ඔවුන් කියයි. හැබැයි පැසිපික් සාගරයේ උෂ්ණත්වය අංශකයකින් එහා මෙහා කරවන්නේ කවුද ? ඒ කුමක් සඳහා ද යැයි කීමට ඔවුහු නො දනිති. කරුණු නො දැන ජ්‍යොතිෂයට කරන ගැරහීම් නිසා ද වටිනා දැනුම් පද්ධතියක් අභාවයට යමින් තිබේ.

කෙසේ නමුත් වර්ෂාව සහ ජල ගැලීම් පිළිබඳව නිවේදනය කරන ග්‍රහචාරය නිසි ලෙස ප්‍රයෝජනයට ගතහොත් ඒ පිළිබඳව සාර්ථක පුරෝකතනයන් ප්‍රකාශ කළ හැකිය. ඒ අනුව සඳු සහ සිකුරු ප්‍රධානත ම ජල කාරක ග්‍රහයන් වන බවත් කටක වෘශ්චික සහ මීන ජල කාරක රාශි බවත් සඳුට සහ සිකුරුට අයත් නැකත් ජල කාරක නැකත් බවත් පසුගිය සතියේ දී පෙන්වා දුනිමු. මේවා අතර හට ගන්නා නිසි සංයෝගයකින් තොරව වර්ෂාව හට ගන්නේ නැත. මෝසම් වැස්ස සහ මේ ග්‍රහ සංයෝග අතර ඇති සමානත්වය ද අපි එම ලිපියෙන් පෙන්වා දුනිමු. එකී සිද්ධාන්තය මත තව දුරටත් පදනම් වෙමින් අනාගතය ප්‍රක්ෂේපණය කරන විට පිරිසිදු ජලය විනිවිද දකින්නාක් මෙන් පැහැදිළිව පෙන්නුම් කරන්නේ අති බිහිසුණු ඛේදවාචකයකි. අතීතයේදී මහා පුරවරයන් මුහුදුබත්ව වැනසී ගියා සේම නුදුරු අනාගතයේදීත් මහා පුරවරයන් මුහුදුබත්වන ග්‍රහ පෙළ ගැස්ම ඉතා පැහැළිව දැක ගන්නට ලැබේ. නෝවා ගේ නැව මෙවර සාදන්නේ කවුද ? වැඩි දුර කරුණු අධ්‍යයන කිරීමට රිසි ඇත්තෝ සොයා බලත්වා !

කේ. සී.ජේ. රත්නායක

ඔබගේ අදහස අපට කියන්න

Close