වන්නි හත්පත්තුවේ ජනකතා හෙට එළි දකී

වන්නි හත්පත්තුව කියන්නේ මීට සියවසක් හමාරක් දක්වා ගුප්ත ඇඳහිළි සහ විශ්වාස වලින් පිරුණු ප්‍රදේශයක්. අතීතයේ එහි සෑම ගැමියකු තුළම පාහේ යක්ෂ, දේව විශ්වාස තදින්ම බල පැවැත්වෙන බවට සාක්ෂි තිබෙනවා. ඊට හේතුව නීතිය, සිවිල් පරිපාලනය ආදී මානව ක්‍රියාකාරී ව්‍යුහයන් සවිමත් නොවූ ඒ කාලයේ මිනිසුන් එම සාමාජ අවශ්‍යතා යකුන් ගෙන් සහ දෙවි වරුන්ගෙන් පිරිමසා ගත් නිසයි. නමුත් මෙවන් ගුප්ත විශ්වාස හුදු මිථ්‍යා මතවාද වශයෙන් බැහැර කරන නූතන සමාජය මේවායේ ගැබ්වුණු සමකාලීන මානව, සමාජ විද්‍යාත්මක හරයන් පිළිබඳව නිසි ඇගැයුමක් කරන්නේ නැහැ. මෙය එක්තරා අන්දමක සමාජ ඛේදවාචකයක් ලෙසයි මා දකින්නේ.
නූතන සමාජයේ ජන ඇඳහිළි සහ විශ්වාස ගවේෂක ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මහතා එසේ කියයි.
“අද කාලයේ අපට එරෙහි පුද්ගල සහ සමාජ අසාධාරණයන් පිළිබඳව පැමිණිළි කිරීමට පොලිසිය තිබෙනවා. අධිකරණය තිබෙනවා. මානව හිමිකම් කොමිසම වැනි ආයතන වගේම එක් එක් ක්ෂේත්‍රය සම්බන්ධ වෙන් වෙන් ආයතන තිබෙනවා. නමුත් අතීත ගැමි ජන සමාජයට මෙවැනි ප්‍රජාතන්ත්‍රිය හිමිකම් තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් මේ සියල්ල පිළිබඳව පැමිණිළි කළේ දෙවියන්ට. නැතිනම් යකුන්ට. ඉතින් විසඳුම් ප්‍රාර්ථනා කළේත් යකුන්ගෙන් සහ දෙවියන්ගෙන්. ඒ අනුව අතීතයේ පැවැති ඒ තත්ත්වයන් ගැන මානව හා සමාජ විද්‍යාත්මක  වශයෙන් විමසුම් කොට ඒවා මතු පරපුරට දායාද කිරීමේ වැදගත් කම අප වටහා ගත යුතුය.”
ඔහු වැඩිදුරටත් එසේ කියයි.
ඉහත සඳහන් විෂය ක්ෂේත්‍රය මුල් කොට සේනාසිංහ මහතා විසින් වන්නිහත්පත්තුව අළලා කරනු ලැබූ ජන විශ්වාස ඇඳහිළි පිළිබඳ ගවේෂණයක් මුල් කොට ඔහු විසින් ලියන ලද “වන්නිහත්පත්තුවේ ජනකතා යක්ෂ දේව ප්‍රවාද” කෘතිය මෙම ඔක්තෝම්බර් 16 ඉරුදින පෙ.ව 09.00ට සපුගස්කන්ද හෙයියන්තුඩුව පුරාණ විහාරයේ දී එළි දැක්වීමට නියමිතය.
මෙම උත්සවයේ විශේෂ ආරාධිත දේශනය පවත්වනු ලබනුයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය දයා අමරසේකර විසිනි.
වන්නි හත්පත්තුවේ ජන කතා – යක්ෂ‍දේව ප්‍රවාද කෘතිය රාජගිරිය ග්‍රැෆිකෙයා ප්‍රකාශනයකි.

ඔබගේ අදහස අපට කියන්න

Close