නොරොච්චෝලේ තත්ත්වය බරපතලයි- විදුලි කප්පාදුව හෙට සිට

නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ ‘බරපතළ මට්ටමේ’ පිපිරීමක් සිදු වී ඇති බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ  ඒ හේතුවෙන් මෙගාවොට් 900 ක බලශක්ති හිඟයක් ඇති විය හැකි බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසන්නේ නොරොච්චෝලේ බලාගාරයේ මෙම බිදවැටීම් මෙරට අනෙක් විදුලි බලාගාරවල සිදුනොවීම පුදුමයට කරුණක් බවයි.
නොරොච්චෝලේ තාප බලාගාරය ආරම්භ කළ දිනයේ පටන් අවස්ථා ගණනාවකදී ඇනහිටි බවද ඔහු සිහිපත් කළා.
නොරොච්චෝලේ බලාගාරය ඉදි කිරීමේදී නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ප්‍රමිතියෙන් බාල උපාංග ගෙන්වා ඇති බවට එවකට විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩු පක්ෂයේ ඇතැම් පාර්ශව චෝදනා කළ බවත් එම චෝදනා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව මේ දක්වා විධිමත් පරීක්ෂණයක් සිදු කොට නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්මහතා වැඩිදුරටත් කියා සිටියා.
ඒ කොලඹදී පැවැති මාධය හමුවකට එක්වෙමින්.

වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරුත් මේ ඇනහිටීමට උත්තර බැඳීමක් පමණයි දැන් කරන්නේ. මේ යන්ත්‍ර සූත්‍රවල වැරද්දක් තිබේ නම් ඒ පිළිබඳ තාක්ෂණික ඇගයීම් වාර්තාවක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි

සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ දිනයේදී නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු අක්‍රීය වුණා.
ඒ හේතුවෙන් උතුර, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල ප්‍රදේශ ගණනාවක විදුලි සැපයුම බිඳ වැටුණු බවයි වාර්තාවුණේ.
පවත්නා තත්ත්වය තුල සතියක පමණ කාලයක් විදුලි කප්පාදුවක් වෙත යොමුවීමටයි රජය තීරණය කර ඇත්තේ.
ඒ අනුව දිනකට පැය 4 බැගින් මෙම විදුලි කප්පාදුව කොටස් වශයෙන් සිදුකිරීමට නියමිතයි.
ඊට අදාළ කාලසටහන හෙට නිකුත් කෙරෙනු ඇති.

ඔබගේ අදහස අපට කියන්න

Close