ජනාධිපතිගේ කෝපය සහ ජනතාවගේ කෝප ගින්න

ජනාධිපතිවරයා බොහොම කෝපයට පත්වී ඇති බවක් පෙනෙයි. පසුගිය බදාදා උදේ ආබාධිත සොල්දාදුවන්ට ඉඩම් බෙදාදීමේ උත්සවයකදී ඔහු මේ කෝපය පිටකළේය. ඔහු කෝපවී ඇති බව පෙනෙන්නේ, නයිට් ක්ලබ් එකකට පහරදීමේ සිද්ධියකට තමා පුත්‍රයාගේ නම ඈඳී ඇති නිසා නොවේ. මහින්ද රාජපක්‍ෂ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය රට පුරා ජාතිවාදය ඇවිළවීම ගැනද නොවේ. ආණ්ඩුවේ මන්දගාමී ක්‍රියා පිළිවෙත නිසා රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ මහජන දේපළ මංකොල්ලකෑවුන්, ජනතාවට පොරොන්දුවූ පරිදි නීතිය ඉදිරියට ගෙනඒම පමාවීම ගැනද නොවේ. ඡන්දයට පෙර මහනුවර ජනතාවට පොරොන්දු වුණු පරිදි දළදා මාලිගාව ඉදිරිපිට ඒ26 මාර්ගය තවමත් ඇරගන්නට තමාට බැරිවීම නිසාද නොවේ.  නීතිඥ හේමන්ත වර්ණකුලසූරියට තමාගේ අතින්ම විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ධුරයක් පිරිනැමීම නිසාද නොවේ.

ජනාධිපතිවරයා කෝප යට පත්වී ඇත්තේ,  ගෝඨාභය රාජපක්‍ෂ උසාවියට ‘දක්කාගෙන ඒම’ නිසාය. ගෝඨාභය සමඟ නාවික හමුදාපතිවරුන් තිදෙනකු උසාවියට කැඳවීම ගැනද එහිදී ජනාධිපතිවරයා අප්‍රසාදය පළකළේය. තත්ත්වය කෙතරම් බරපතළද යත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂත් ජනාධිපති වරයාට කතාකොට තිබේ.

‘හිටපු ජනාධිපතිතුමාත් කතාකළා. මම දන්නෙත් නැහැ උසාවියට ගෙනියනකං. මට ඔය එක මිනිහෙක්වත් හිරේ දාන්න වුවමනාවකුත් නැහැ. රිමාන්ඞ් කරන්න වුවමනාවකුත් නැහැ. මම කිසිම කෙනකුට යටත් වෙන්න ලෑස්තිත් නැහැ. කිසිම කෙනකුට මගේ බැඳීමකුත් නැහැ.’

ජනාධිපතිවරයාට දැන් වුවමනාවක් නැතත්, ජනවාරි 8 වෙනසට දායකවූ රටේ මහජනතාවට නම්, පහුගිය ආණ්ඩු කාලයේ ඝාතන, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්, වංචා දූෂණ, මහජන දේපළ මංකොල්ලකෑම්වල යෙදුණු දූෂිතයන් නීතිය ඉදිරියට පමුණුවා ඔවුන් හිරේ විලංගුවේ දැමීම අවශ්‍යය. මතක ඇති ආකාරයට නම්, එසේ කරන බවට මෛත්‍රීපාල සිරිසේන නම් පොදු අපේක්‍ෂකයා පහුගිය ජනාධිපතිවරණය කාලයේදී ජනතාවට පොරොන්දුද දුන්නේය. ජනතාව පසුගිය කාලය පුරාම මැසිවිලි කිව්වේ, රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ එකී අපරාධ කළ හාල්මැස්සන් මිස තෝරු මෝරුන් නීතිය ඉදිරියට නොගෙනේම පිළිබඳවය. ඒ අර්ථයෙන්, බැසිල් රාජපක්‍ෂ උසාවියට ගෙනෙන විට, නාමල් රාජපක්‍ෂ, යෝෂිත රාජපක්‍ෂ වැන්නන් උසාවියට ගෙනෙන විට ජනවාරි වෙනසට දායකවූ මහජනතාව සිටියේ ප්‍රබෝධයෙනි. ඒ, ඔවුන් පිළිබඳව ඇති කිසිම පෞද්ගලික තරහක් නිසා නොවේ. රාජපක්‍ෂ පවුල එකතුවී පසුගිය දශකයක කාලයේ රටට කළ වින්නැහිය ගැන දළ අවබෝධයක් හැමෝම තුළ ඇති නිසාය. ගෝඨාභය රාජපක්‍ෂ උසාවි ගෙනෙන විට ඒ මහජනතාවට දැනුණේද එවැනිම ප්‍රබෝධයකි. ඒ ගෝඨාභය කියන්නේ කවුද යන්න ගැන මහජනතාව හොඳින්ම දැන සිටි නිසාය.  ඒ කාලයේ මුළු රටම එකම හමුදා බැරැක්කයක් බවට පත්කිරීමට ගෝඨාභයට ඕනෑවූ අතර රට හමුදාකරණය කිරීම ඔහුගේ මොළයෙන් දියත් කළ වැඩපිළිවෙළක් විය. මුළු රටම ඔත්තුකාරයන්ගේ රජදහනක් බවට පත්කොට තිබුණි. ආණ්ඩුව ගැන විවේචනාත්මක හැම කෙනකුගේම දුරකථන ටැප් කර ඔවුන්ගේ ඇමතුම්වලට කන්දීම එදිනෙදා පුරුද්දක් විය. ආණ්ඩුකාර ධුරයේ සිට හැකි හැම සිවිල් තනතුරක්ම හමුදා නිලධාරීන්ගෙන් පිරවූයේ ඔහුය. විදුහල්පතිවරුන්ට බ්‍රෙවේ කර්නල් තනතුරු දී පාසල් පවා හමුදාකරණය කළේ ඔහුය.

දෙමළ ජනතාවට විරුද්ධව හැම අතින්ම බිහිසුණු යුද්ධයක් දියත් කළා පමණක් නොව මුස්ලිම් ජනතාවට එරෙහිව මතවාදී මෙන්ම භෞතික ප්‍රහාර එල්ල කළ බොදු බල සේනා වැනි දුෂ්ට අන්තවාදී බලවේගවලට අනුමැතිය හා මාර්ගෝපදේශනය, එළිපිට මෙන්ම රහසේද සැපයුවේ කවරෙක්දැයි රටම දනී.
ඒ  කාලයේ චූදිතයන්ට විරුද්ධව උසාවිවල නඩු ඇසුවේ නැත. ඒ වෙනුවට සුදුවෑන්වලින් හිතූ හිතූ පුද්ගලයා පැහැරගෙන යනු ලැබූ අතර, යළි කිසිදා එවැන්නන් නිවසට ආවේ නැත. විරුද්ධවාදීන් ඝාතනය සඳහා ඒ ඒ හමුදාවල වෙනම කුඩා ප්‍රහාරක කණ්ඩායම් සැලසුම්සහගතව නිර් මාණය කොට තිබුණි. ගවයන් මරන විශේෂ අවියකින් ඇන ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ එවැනි ප්‍රහාරක කණ්ඩායමක් විසිනි. සාධාරණ නඩු විභාග කියන දේ ගෝඨාභයගේ න්‍යාය පත්‍රයේ තිබුණේ නැත. ඔහු දැනගෙන සිටියේ ප්‍රහාරයේ හා ඝාතනයේ භාෂාව මිස නීතියේ හා යුක්තියේ භාෂාව නොවේ. අත්අඩංගුවට ගන්නා සැකකරුවන් නඩු නොඅසා පොලිසිය විසින් වෙඩිතබා මරා දැමෙන ක්‍රමය ක්‍රියාත්මක වුණේ ඔහුගේ කාලයේය.

පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සිරමැදිරියට විනාඩි ගණනකට ඇතුළු කරනු ලැබුවේ එහෙව් කෙනෙකි. පහුගිය ආණ්ඩුවේ නිල ප්‍රහාරකයාවී සිටි පුද්ගලයා, මහේස්ත්‍රාත් අධිකරණ සිරකූඩුවේ සිටින ඡායාරූප දුටු රටේ වෙනසක් පැතූ මහජනතාව, තරාතිරම නොබලා රටේ නීතිය දැන් නම් ක්‍රියාත්මක වනවායැයි සිතා කිසියම් සතුටක් විඳින්නට ඇත. ජනවාරි 8වැනිදා වෙනසට දායකවූ අයට වුවමනා වී තිබුණු එක් දෙයක් නම් එයයි. නීතිය තරාතිරම නොබලා ක්‍රියාත්මක වනු දැකීමයි.

එහෙත්, දැන් ජනාධිපතිවරයා සිටගෙන ඉන්නේ ගෝඨාභයත් සමඟ උසාවි සිරමැදිරිය ඇතුළේය. ගෝඨාභයගේ තනි නොතනියට එසේ සිරගතවූ මෛත්‍රීපාල ඒ සමඟම තදබල පා පහරක් එල්ල කළේ ජනවාරි 8වැනිදා මහජන අපේක්‍ෂාවටය. යහපාලන ආණ්ඩුව යටතේ තරාතිම නොබලා නීතිය ක්‍රියාත්මක වනු දකින්නට කැමති මහජනතාවට දැන් සිදුවී තිබෙන්නේ ගෝඨාභය වැනි චූදිතයන් ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා කෝපයෙන් කතාකරනු අසා තමන්ගේ ඇඟේ ලේ රත්කර ගැනීමටය.

‘හමුදා බුද්ධි අංශවල දැන් ඉන්න නිලධාරීන් දැන් මාස දාසයක් තිස්සේ රිමාන්ඞ්භාරයේ තියාගෙන… වැරැද්දක් කරලා තියෙනවා නම් නඩු පවරන්න ඕනෑ. වැරැද්දකට අහුවෙන්නේ නැතිනම් නිදහස් කරන්න ඕනෑ.’

ජනාධිපතිවරයා මේ කියන්නේ ප්‍රගීත් එක්නැලි ගොඩ අතුරුදන්කිරීම ගැන විභාගවන නඩුව ගැනය. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්කිරීමේ සිදුවීම, ජනවාරි 8වැනිදාට පෙර නිකම්ම නිකම් අතුරුදන් කිරීමක් වුණු බව කවුරුත් දනිති. එහෙත්, ජනවාරි 8වැනිදාට පසු සීඅයිඩීය අපරාධ විමර්ශන පටන්ගත් පසු එක්නැලිගොඩ, හිටපු එල්ටීටීඊ සාමාජිකයකුගේ සහායෙන් රාජගිරියේදී පැහැරගෙන ගිරිතලේ හමුදා බුද්ධි අංශ කඳවුරට ගෙනගොස් එහිදී ප්‍රශ්නකිරීම්වලට ලක්කොට ඉන්පසු කඳවුරෙන් ඉවතට ගෙනගොස් ඇති බව ඉතා පැහැදිලිව හෙළිවී තිබේ. කඳවුරෙන් පිටතට ගෙනගිය එක්නැලිගොඩ ගෙනගොස් ඇත්තේ අක්කරෙයි පත්තුවටය. ඔහු නැවත ගෙනආවේ නැත. ගිරිතලේ කඳවුරේදී එක්නැලිගොඩ ගෙන් ප්‍රශ්න කර ඇත්තේ රාජපක්‍ෂ පවුල් ගහ ගැන ඔහු ඇන්ද කාටුන් පොතක් ගැනත්, රාජපක්‍ෂලාට විරුද්ධව ලියූ විරිදු පන්තියක් ගැනත් බව දැන් ප්‍රකටය. මේ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවේ පසුවන බුද්ධි අංශ නිලධාරීන්ට දිගු කාලයක් එසේ සිටින්නට සිදුවී තිබෙන්නේ, සීඅයිඩීය පවත්වන විමර්ශනවලට යුද හමුදාව ප්‍රමාණවත් තරමට සහාය දෙන්නේ නැති නිසාය. ගිරිතලේ හමුදා කඳවුරෙන් පිටතට එක්නැලිගොඩ ගෙනයෑමට අදාළ වාහනවල ධාවන සටහන් හා වෙනත් සටහන් විමර්ශනයට අවශ්‍ය නිසා සීඅයිඩීයට ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇතත්, හමුදාව ඒ තොරතුරු හා ලේඛන නිසි ලෙස සැපයුවේ නැත. කොච්චරද කියනවා නම්, අදාළ තොරතුරු ලබාදෙන්නේ නැතිනම්, යුද හමුදාපතිවරයා අත් අඩංගුවට ගන්නට නියෝග නිකුත්කරන්නට පවා සිදුවන බව කියන්නට මහේස්ත්‍රාත්වරයාට සිදුවිය.

පසුගිය සතියේ එක්නැලිගොඩ නඩුවට යුදහමුදා බුද්ධි අංශයේ ප්‍රධානි බි්‍රගේඩියර් සලේ කැඳවා තිබුණේය. ඔහු එදා උසාවියට ආවේ පෞද්ගලික නීතිඥවරයකුද සමඟය. රජයේ නිලධාරියකු වන සලේට, නීතිඥවරයකු අවශ්‍ය නම් ඒ බව දැනුම්දිය යුත්තේ නීතිපති දෙපාර්ත මේන්තුවටය. එහෙත් මේ වෙලාවේ සලේ තමා වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයකු පෙනීසිටුවා ඇත්තේ, වරදකාරිත්වය පිළිබඳ යම් හැඟීමක් ඔහු තුළ තිබෙන නිසාද පැහැදිලි නැත. මීට පෙර සලේ ප්‍රකාශ කර තිබුණේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඝාතන සැලසුමකට අදාළ, එක්නැලිගොඩද කතාකරන හඬපටයක් තමන් සතුව ඇති බවයි. එසේ තිබේ නම් අධිකරණයට එහි පිටපතක් ලබාදෙන ලෙස නියම කළ විට එවැන්නක් නැතැ’යි හමුදාව උසාවියට දැන්වූයේය.

ශම්මි කුමාරරත්න ඇතුළු හමුදා බුද්ධි අංශ නිලධාරීන් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට සම්බන්ධයැයි තොරතුරු හෙළිවෙමින් පවතින විට මතුවන ප්‍රශ්නය නම්, එක්නැලිගොඩ පැහැරගෙන යන්නට බුද්ධි නිලධාරීන්ට ඇති වුවමනාව කුමක්ද යන්නයි. අත්අඩංගුවේ පසුවන ඒ කිසිවකුට එවැනි පෞද්ගලික වුවමනාවක් නැති බව පැහැදිලිය. එසේ නම් ඔවුන් වැඩකර ඇත්තේ වෙනත් කිසිවකුගේ වුවමනාවට අනුවය. ඒ අය කවුද? කොහොම වුණත්, කතාව ඇත්ත නම්, හමුදා බුද්ධි නිලධාරීන් තමන්ගේ විෂය පථයට නොවැටෙන පුද්ගල පැහැරගැනීමක් හා අතුරුදන්කිරීමක් කර තිබේ. එම සැකකරුවන්, රිමාන්ඞ් වී සිටින්නේ පරීක්‍ෂණ අවසන් නැති නිසා නම්, පරීක්‍ෂණ අවසන් නොවන්නේ හමුදාව සීඅයිඩීයට අවශ්‍ය තොරතුරු ලබා නොදෙන නිසා නම්, රටේ සේනාධිනායකයා ජනාධි පතිවරයා නම්, ශම්මි කුමාරරත්න ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් දිගු කලක් රිමාන්ඞ් වී සිටීම ගැන අවසාන වගකිවයුත්තාත් සිරිසේන ජනාධිපතිවරයාම නොවේද?

ඔහු අවංක සේනාධිනායකයකු වී නම් කළ යුතුව ඇත්තේ, හමුදාව සතුව ඇති නඩුවට අවශ්‍ය සියලුම තොරතුරු නොපමාව උසාවියට සපයාදී පරීක්‍ෂණය අවසන් කිරීමට උදව්වන ලෙස හමුදාවට නියම කිරීමයි. ඒ උදව්ව ලැබුණොත් සැකකාර හමුදා නිලධාරීන්ට ඇප ලබාගත හැකිය.

තිත්ත ඇත්ත නම්, රාජපක්‍ෂ ආණ්ඩුව සිය දේශපාලන පළිගැනීම් සඳහා හමුදා බුද්ධි අංශ හා වෙනත් අංශවල නිලධාරීන් හා සෙබළුන් යොදාගත් බවයි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන පරීක්‍ෂණ කරන සීඅයිඩීය යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්‍ෂවරයකු වූ අරුණ වන්නි ආරච්චිගෙන් කටඋත්තරයක් සටහන් කර ගන්නට නියමිතය. තමාට පහරදී ඝාතනය කරන්නට තැත්දැරූවැ’යි රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් විසින් පසුගියදා උසාවියේදී හඳුනාගනු ලැබුවේද හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකි. මේ අනුව බලන කල, රාජපක්‍ෂ පවුල හා සමීපතමයන් විසින් තමන්ගේ මර්දන වුවමනා එපාකම් සඳහා හමුදාව යොදාගෙන ඇති බව පැහැදිලි වෙයි.
ජනාධිපතිවරයා කියන් නේ අත්අඩංගුවට ගන්නේ කවුදැයි තමා දැනගන්නේ මාධ්‍යවලින් බවයි. අත්අඩංගුවට ගන්නේ කවුද, උසාවියට ඉදිරිපත් කරන්නේ කවුද කියා ජනාධිපතිවරයාට කිව යුත්තේ ඇයි? පසුගිය කාලයේ ඒ පුරුද්ද තදින් ක්‍රියාත්මක කළේ මහින්ද රාජපක්‍ෂයි. අවසානයේ අත්අඩංගුවට ගත යුත්තේ කවුද, නොගත යුත්තේ කවුද කියා තීරණය කළේද මහින්ද රාජපක්‍ෂයි. යහපාලන ආණ්ඩුවටත් එවැනි පහත් සිරිතක් තිබිය යුතුද? අත්අඩංගුවට ගැනීමට පෙර තමාට දැනුම් දෙන්නැ’යි සිරිසේන ජනාධිපතිවරයා කියන විට ඔහු යන්නේද රාජපක්‍ෂ ගිය පාරේමය. හොඳයි, ලැයිස්තුව පෙන්නූ විට සිදුවීමට ඉඩ ඇත්තේ කමක්ද? අහවලා ගැන, අහවලා ගැන පැවැත්වෙන පරීක්‍ෂණ නතර කරන ලෙස හෝ අලුත් පරීක්‍ෂණ පටන් නොගන්නා ලෙස ජනාධි පතිවරයා නියම කිරීමයි.

එවැනි ක්‍රමයකට රටේ නීතිය පසිඳලන්නට බැරිය. එවිට සිදුවන්නේ පුද්ගල තරාතිරම වෙන වෙනම බලා, නීතිමය පියවරගැනීම ඒ තරාතිරම් අනුව සිදුවීමයි. ඒ යහපාලන ක්‍රමය නොව රාජපක්‍ෂ ක්‍රමයයි. ජනවාරි 8වැනිදා ලක්‍ෂ හැටදෙකක් ඡන්දය දුන්නේ ඒ ගර්හිත ක්‍රමය පවත්වාගෙන යන්නට නොවේ. එහෙත් අවාසනාවකට මෙන් මෛත්‍රීට වුවමනා වී ඇත්තේද ඒ ක්‍රමය නැවත ඇතිකර ගන්නට බව පෙනේ.

එෆ්සීඅයිඩීය, සීඅයිඩීය, අල්ලස් කොමිසම වැනි ආයතන මේ ආණ්ඩුවේ විශාල වැඩ කොටසක් කරන ආයතන බව රහසක් නොවේ. එසේ වන්නේ ජනතාවට දී ඇති දූෂන මර්දනය කිරීමේ පොරොන්දුව නිසාය. ඒ ආයතනවල නිලධාරීන්ගෙන් වැරදි සිදුනොවන බවක්ද මින් අදහස් නොවේ. එහෙත් ඒවා ගැන විවේචනය විය යුත්තේ මේ ආකාරයෙන් වේදිකාවල රෙදි ගලවාගෙන කෝපයෙන් නොවේ. ජනාධිපතිවරයාගේ තිරිංග නැති අමනොඥ ප්‍රකාශය නිසා මේ විමර්ශන ආයතනවල විමර්ශන නිලධාරීහු දැනටමත් උකටලීව සිටිති. පසුගිය කාලයේ මේ නිලධාරීන් බය කර ගැනීමේ වුවමනාව තිබුණේ මහින්ද රාජපක්‍ෂ කණ්ඩායමේ අන්ත දූෂිතයන්ටය. අපරාධකාරයන්ටය. දැන් ජනාධිපතිවරයාම ඒ කොන්ත්‍රාතුව භාරගෙන තිබේ.

ජනවාරි 8වැනිදා පරාජය කළේ මහින්ද රාජපක්‍ෂ පමණක් නොවේ. ඔහුගේ බිහිසුණු මර්දන යන්ත්‍රණයත් ඒ සමඟම පරාජය කරන ලදි. ඒ මර්දන යන්ත්‍රණයේ මහමොළකරු ගෝඨාභයය. එසේ ප්‍රතික්‍ෂෙප කරන ලද ගෝඨාභයට යහපාලන ආණ්ඩු කාලයේ වේදිකාවක් තිබිය යුතු නැත. ජනාධිපතිවරයා එවැනි වේදිකාවක් තනා දුන්නොත්, ඒ වේදිකාව සිය කෝපාග්නියෙන් දවා හළු කිරීමට ජනවාරි 8වැනිදා වෙනසක් පැතූ මහජනතාව ඉදිරියට එන බව පැහැදිලිය. එවිට ඒ කෝපාග්නියෙන් දැවී හළුවී යනු ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂ විතරක් නොවන බව මතක තබා ගැනීම වටින්නේය.(Ravaya)

3 thoughts on “ජනාධිපතිගේ කෝපය සහ ජනතාවගේ කෝප ගින්න

  • October 18, 2016 at 5:26 am
    Permalink

    තමාගේ පුතා කරපු දේ නිසා හිතේ ඇති වු කේන්තිය පිරිමසා
    ගැනිම

    Reply
  • October 18, 2016 at 8:18 am
    Permalink

    Extreamly truth. Good artical. Tnx

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close