රට වෙනස් කිරීමට දැක්වූ නායකත්වයට අගමැතිට යුරෝපයෙන් පැසසුම්

ඒකාධිපතිවාදය, දූෂණය සහ භීෂණය කරා ගමන් කරමින් තිබූ රටක්, ඉන් මුදවා යහපාලනය සඳහා කැපවුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත් කරලීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා කළ කැපවීම සහ පරිත්‍යාගය යුරෝපීය කවුන්සලයේ ඇගයීමට ලක්ව තිබෙනවා.

යුරෝපීය කවුන්සලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් මහතා මේ බව සදහන් කළේ  බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස, යුරෝපීය කවුන්සිල මූලස්ථානයේදී හමුවූ අවස්ථාවේදීයි.

ටස්ක් මහතා වැඩිදුරටත් පැවසූයේ ශ්‍රී ලාංකීය ජනතාව සහ වික්‍රමසිංහ මහතා වෙත දක්වන විශේෂ සැලකිල්ලක් වශයෙන් ජීඑස්පී ප්ලස් සහනය යළි ශ්‍රී ලංකාවට ලබා දීමට තමා පූර්ණ සහය ලබා දෙන බවයි.

ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාව පිළිබඳව වික්‍රමසිංහ මහතා මැතිවරණ ගණනාවක දී අවධාරණය කර ඇති බව සිහිපත් කළ ටස්ක් මහතා එවැනි සම්මුතිවාදී පාලන ක්‍රමයක් ඔස්සේ ශ්‍රී ලංකාව මුළු මහත් කලාපයටම ආදර්ශයක් ලබා දී ඇති බව ද කියා සිටියා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරලීම උදෙසා වික්‍රමසිංහ මහතා දැක්වූ අවංක, අධිෂ්ඨානශීලී කැපවීම තමන් යළි යළිත් අගයන බව ද, එය තමාගේ පමණක් නොව මුළු මහත් යුරෝපීය කවුන්සිලයේම අදහස බව ද ටස්ක් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ලබා ඇති වත්මන් දේශපාලන හා සමාජ ප්‍රතිසංස්කරණ හමුවේ ජීඑස්පී ප්ලස් සහනය ලබා ගැනීම ආසන්නයටම පැමිණ ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

ජීඑස්පී සහනය ඇතුළුව, ශ්‍රී ලංකාවේ අනාගත අභියෝග ජයගැනීම උදෙසා යුරෝපීය ප්‍රජාව වෙතින් ලබා දෙන සහය පිළිබඳ කෘතඥතාව පළ කළ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආගන්තුක සත්කාර විදිමින්, එහි නව සංවර්ධන හා ප්‍රජාතන්ත්‍රීකරණ ක්‍රියාවලීන් දැක බලා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ටස්ක් මහතාට ආරාධනා කර තිබෙනවා.

යුරෝපීය කවුන්සිල සමාජිකයන් පමණක් නොව තමනුත් ඉතා ප්‍රිය කරන ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සතුටට හේතුවක් බව පැවසූ ටස්ක් මහතා, ජනාධිපති සිරිසේන මහතා වෙනුවෙන් වික්‍රමසිංහ මහතා කළ ආරාධනය සතුටින් පිළිගන්නා බවත්, ලබන වසරේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්‍ෂා කරන කියා සිටියා.

යුරෝපීය රාජ්‍යයන් ශ්‍රී ලංකාවට උපරිම සහය දැක්වීමට අපේක්‍ෂාවෙන් සිටින අවස්ථාවක දී නීති විරෝධී ලෙස ලාංකේය සංක්‍රමණිකයන් යුරෝපයට පැමිණීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස ද ටස්ක් මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සාර්ථකව ඉදිරියට යද්දී නීති විරෝධී සංක්‍රමණික ප්‍රශ්නය බොහෝ දුරට විසඳෙන බවට බලාපොරොත්තු පළ කළ වික්‍රමසිංහ මහතා, මේ පිළිබඳ කාර්ය සාධක බලකායක් පිහිටුවන බවත්, ඊට – නීතිය හා සාමය, නැවත පදිංචි කිරීම සහ අධිකරණ යන අමාත්‍යංශ, ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙන්ම යුරෝපීය කොමිසම ද සම්බන්ධ කරගන්නා බවත් අවධාරණය කළා.

ශ්‍රී ලංකා ආණ්ඩුවක නායකයෙකු යුරෝපීය කවුන්සලයේ සභාපතිවරයෙකු සමග පැවැත්වූ මුල්ම සාකච්ඡාව මෙය වීම ද විශේෂයකි.

ඔබගේ අදහස අපට කියන්න

Close