අහසින් එහා ගීතය ලියන්න මට ගතවුණේ විනාඩි දහයයි

බොහෝ කලාවන්හි නිපුණත්වයක් පෑ අපූර්ව නිර්මාණකරුවෝ ලොව සුලබ නොවෙත්. නමුදු එවන් වූ නිපුණත්වයක් සතු කලාකරුවන් අතලොස්ස අතර සිටින අපූර්ව කලාකරුවෙක් ලෙස ඔහු හඳුන්වා දිය හැකියි. මේ සොඳුරු නිර්මාණකරුවා තුළ මාධ්‍යවේදියකු, කවියකු, ගීත රචකයකු, පුවත්පත් කලාවේදියකු, රූපවාහිනී නිවේදකයකු, වැඩසටහන් නිෂ්පාදකවරයකු, තිර රචකයකු, එමතු නොව

ලේඛකයෙකු ලෙසද අපූරු හැකියාවන් ඇති තවත් බොහෝ චරිත ජීවත්ව සිටියි. මේ සියල්ලේම හිමිකරු නීලාර් එන් කාසිම් ගැන මේ දිනවල බොහෝ රසිකයන් වැඩි වශයෙන් කතාබහ කරන්නේ ගී පද රචකයකු ලෙස ඔහු පැමිණ ඇති සාර්ථක ගමන් මගයි. එයට හේතු වූයේ ඔහු පසුගිය දිනෙක නිකුත් කළ ඔහුගේ ‘වලාකුළු වියන්‘තුන්වැනි ගී පද සරණියයි. නීලාර් සමග කලකට පසුව යෙදෙන මේ කතාබහට නිමිති වනුයේ ද එයයි.

• ‘වාලාකුළු වියන් ‘සමග යළිත් ඔබ රසිකයන් අතර කතාබහට ලක්වෙලා?

‘වලාකුළු වියන් මගේ තුන්වැනි ගී පොත. මා ලියූ දහවැනි කෘතිය. වසර දහයකට පස්සේ තමයි මෙහෙම ගීත පොතක් නිකුත් වෙනනේ. පසුගිය කාලයේ ගීත සාහිත්‍ය යේ යම් පරිහානියක් මෑත කාලය වන තුරුම දකින්න ලැබුණා. මෑත වසරවල වුණත් අලුත් පරපුර ලියූ ගීතවල සාහිත්‍යමය අගයක් දැක්කෙ නැහැ. මේ අකාරයට ගීතය පරිහානියට ගිය යුගයක් තුළ ගීත කෘතියක් එළිදැක්වීමට ලැබීම ඉතා වැදගත් කියලා මට හිතෙනවා.

• මේ ගී පොතට ඇතුළත් වන්නේ?

පරම්පරා තුනකට ලියූ ගීත මෙහි ඇතුළත්.

• හොඳ ගීත කලාවක් නව පරපුරෙන් දකින්න නොලැබෙන්නේ ඇයි?

එයට ප්‍රධානම හේතුව ලංකාවේ ජනමාධ්‍ය පද්ධතිය. අලුත් පරම්පරාවේ හොඳ නිර්මාණ අතරින්පතර බිහි වෙනවා. බිහි නොවෙනවා නොවෙයි.ඒ නිර්මාණ ජනතාව අතට පත්විය යුත්තේ විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේයි. එහෙම බිහිවෙන හොඳ නිර්මාණ ජනගත කරනවා වෙනුවට අතීශය අවර ගණයේ ගීත ප්‍රචාරය කරන එකයි වෙන්නේ. එයට හේතුව විදිහට මම දකින්නේ මේ මාධ්‍ය නාළිකාවල ඉන්න ප්‍රචාරය සඳහා ගීත තෝරන අයට කිසිම සාහිත්‍ය අවබෝධයක් නැති කමයි. ඒ වගේම වින්දන ශක්තියක් ද නැහැ. මුද්‍රිත මාධ්‍යයත් මෙයට වගකිව යුතුයි. ඒ අයත් බොහෝ විට පුවත්පත් අතිරේක මඟින් සුකිරි බටිල්ලන් සඳහා ලොකු වෙළෙඳපොළක් නිර්මාණය කර දෙනවා. නවපරපුරේ යහපත් ප්‍රවණතාවලට වැඩි ඉඩක් නැහැ.

• ඔබ ගීත ලියන්නේ ප්‍රචාරය කරවා ගැනීමේ අරමුණෙන්මද?

කිසිසේත්ම නැහැ. මම ගීතයක් ලියන්නේ කවර හෝ ගායක ගායිකාවක් ඉල්ලා හිටියොත් පමණයි. ඒ අය තමයි එය ප්‍රචාරය කරවන්නේ. වාසනාවකට වගේ මා ලියූ බහුතරයක් ගීත ජනප්‍රිය වුණා.

• ඔබ මේ වන විට ගීත විශාල ප්‍රමාණයක් රචනා කර තිබෙනවා?

මම නියෝජනය කරන පරම්පරාවේ වැඩිම ගී ප්‍රමාණයක් රචනා කර තිබෙන්නේ මම හිතන විදිහට මමයි. එලෙස ලියූ බොහෝ චිත්‍රපට ගීත ජන ප්‍රසාදයට ලක් වුණා. මෑත කාලයේ ළඟ ළඟ ආ ප්‍රවේගය, ආදරණීය කතාවක්, වැනි චිත්‍රපටවලට වගේම ඉදිරියේ තිරගත වෙන්නට නියමිත‘ස්වර ‘,‘නෙලා‘,‘කුපාඩියා‘වැනි චිත්‍රපට රැසකට අඛණ්ඩව ගීත ලිව්වා. ඒ වගේම ටෙලිනාට්‍ය වෙනුවෙන් රචනා කළ ගීත ද බොහොමයක් තිබෙනවා.

• මේ මා‍ධ්‍යයන් සඳහා ගීත ලිවීම පහසුද?

සරල ගීතයක් ලියනවාට වඩා චිත්‍රපට හා ටෙලි නාට්‍යවලට ගීත ලියන එක අභියෝගාත්මකයි. රූප මාධ්‍යය පිළිබඳ සංවේදීතාවක් ඇතිව ලිවිය යුතුයි.

• ඒ අභියෝගය ජය ගන්න ඔබට හැකි වී තිබෙනවාද?

මෙහෙමයි. මම වෘත්තීමය වශයෙන් රූපවාහිනියේ වැඩසටහන් පූරකයෙක් වගේම වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කරනවා. මේ වනවිට විධායක නිලධාරීවරයෙක්. පසුගිය දශක දෙකක තරම් කාලය තුළ රූපවාහිනී මාධ්‍ය සමඟ ගෙවූ කාලය ඒ සඳහා අතිශය ඉවහල් වුණා. එසේම දීර්ඝ කාලීනව සිනමාව පිළිබඳ තිබෙන අධ්‍යයනයත්. මේ සියලු කරුණු හේතු වුණා මේ අභියෝගය ජය ගන්න.

• නව පරපුරේ ගීත රචකයන් ගැන ඔබ දකින්නේ මොන විදිහටද?

නව පරපුරේ බොහෝ ශිල්පීන් නිර්මාණාත්මක වශයෙන් දුප්පත්. තාක්ෂණික මෙවලම් භාවිතය අතින් පොහොසත්. ඔවුන්ගෙන් බිහිවන බොහෝ නිර්මාණවල ගුණාත්මකභාවය පිළිබඳව මගේ ප්‍රසාදයක් නැහැ. නමුත් ඒ අය මා සමග වැඩ කරන්න ආවම මගේ තිබෙන කොන්දේසි සමගයි මම වැඩ කරන්නේ. ගීතය කියන දේ සාහිත්‍යමය අගයෙන් පරිපූර්ණ නිර්මාණයක් විය යුතුයි යන මූලික පදනම මතයි මම වැඩ කරන්නේ. ඔවුන් සමග කරපු නිර්මාණ බොහෝ ජනප්‍රිය වුණා. නව පරපුරේ දක්ෂයෝ බොහෝවිට මාත් එක්ක අත්වැල් බැඳ ගත්තා. උදාහරණයක් කිව්වොත් භාතිය/උමාරියා ගයන වලාකුල් වියන් තනාලා , භාතිය/සන්තූෂ් ගයන උන්මාදිනී හැංගුණා, රැවන් හෙට්ටිආරච්චි ගයන රොන් සුවඳ දෙන වැනි ගීත නම් කරන්න පුළුවන්. මේ දිනවලත් මම නවපරපුරේ ගායක ගායිකාවන් කිහිප දෙනෙකු වෙනුවෙන් ගීත රචනා කළා.

• ඔබ ගීත රචනයට පෙර කවි රචනා කළා?

ඔව්. මම මුලදී ලිව්වේ කවි. මගේ ගමන පටන්ගත්තේ එතැනින්. දෙමළ භාෂා දැනුම සමඟ දෙමළ කවි පරිවර්තනය කළා. එහෙම කවි එකතු කරලා දෙමළ පරිවර්තන එකතුවක් ලෙස‘සහෝදර පියාපත්‘නමින් කවි පොතක් එළි දැක්වූවා. මේ අතරතුර තමයි ගීත රචනයට යොමු වන්නේ. මේ අතර සැරි සරද්දී මට තේරුම් ගියා මගේ දක්ෂතාවය වඩාත් ප්‍රකට කරන්න පුළුවන් ගීත මාධ්‍යය ඔස්සේ කියලා. ඒ සඳහා කවියෙන් ලබපු ශික්ෂණය අතීශය මහෝපකාරී වුණා. ඒ වගේම දීර්ඝ කාලයක් අඛණ්ඩව කේමදාස මාස්ටර් සමඟ කටයුතු කිරීමත් එයට පිටිවහලක් වුණා.

• ඔබ අතින් ගීතයක් රචනා වෙන්නේ මොන වගේ වෙලාවටද?

ගීත ලියන්න සන්සුන් මානසිකත්වයක් තිබෙන්නට ඕන. සමහර විට මම වාහනයේ යද්දී සංකල්පනා එන වෙලාවල් තිබෙනවා. නිදා ගන්න ගියාම වුණත් සංකල්පනා එන වෙලාවල් තිබෙවා. ඒ අවස්ථාවලදී මම ඒ දේවල් කෙටියෙන් සටහන් කර ගන්නවා. බොහෝ විට රාත්‍රී කාලය, විවේකී සති අන්තයක මට නිර්මාණකරනයේ යෙදෙන්න සුදුසු මානසික පරිසරයක් ගොඩනගනවා. සමහර විට යම් චිත්‍රපටයක්, විශේෂ තේමාවක් මුල්කොට ගෙන ගීතයක් ලියන්න ඕන වුණහම එය ටික කාලයක් හිතේ කැකෑරෙමින් තිබෙනවා. අදහස ආපු සැරයෙන් ලියැවෙන්නේ නැහැ. නමුත් ඒ කැකෑරෙන අදහස සන්සුන් මනසකින් වාඩිවුණාම ඉතා කෙටි කාලයකින් ලියැවෙනවා.

• ඒ අත්දැකීම් ඔබට නිතර ලැබෙනවා ඇති?

භාතිය-සන්තූෂ් ගයන ‘චාන්දනී පායලා‘ ගීතය ලියන්න මට මාස අටක් පමණ ගත වුණා. එය තනුවකට අනූව ලියූවක්. ඒ වගේම ආදරණීය කතාවක් චිත්‍රපටයේ එන ‘අහසින් එහා ‘ගීතය ලියන්න මට ගතවුණේ විනාඩි දහයයි. එය ලිව්වේ ගීතය පටිගත කරන මැදිරියේ දී. මම ස්ටූඩියෝ එකට ගිහින් තනුව ඇහුවා ගීතය එකපාරින් ලියැවුණා.

• හිතල ලියන ගීතය ද තනුවට අනූව ගීත නිර්මාණය කිරීමද වඩා පහසු?

ඔය දෙවිදිහටම මම ගීත ලියනවා. මම පෞද්ගලිකව හිතන විදිහට මම කැමැති හිතල ලියන ගීතයට. නිරෝෂා ගයන ඔබ ගියාම මට දුක දී ගීතය මම ලිව්වේ හිතට නැගුණු සංකල්පනාවකට අනුව. භාතිය හා උමාරියා ගයන වලාකුල් වියන් ගීතය පූර්ව තනුවකට අනූව ලියැවුණු ගීතයක්. පූර්ව තනුවකට අනූව ගීත ලිවීමේදී රචකයා කොන්දේසි ගණනකට කොටු වෙනවා. මම විශ්වාස කරන්නේ දක්ෂ පද රචකයෙකුට මේ පැති දෙකම පිහිටිය යුතුයි කියලා. මානවසිංහ, මහගම සේකර, සුනිල් ආරියරත්න, වැනි ප්‍රවීණ ගේය පද රචකයන් මේ දෙවිදියෙන්ම විශිෂ්ට ගීත නිර්මාණය කළා.

• ගීත ක්ෂේත්‍රයට එක්වන ආධුනිකයන්ට ඔබ දෙන පණිවුඩය කුමක්ද?

ආධුනිකයන්ගේ සමහර නිර්මාණවලදී අපට පෙනෙන දෙයක් තමයි ඒ අය කවිය හා ගීතයේ වෙනස්කම් , ආකෘතිමය ලක්ෂණ අවබෝධ කර නොගැනීම. සරලව කිව්වොත් කවිය කියන්නේ කේවලව රසවිදිය හැකි කේවල නිර්මාණයක්. ගීතය කියන්නේ සාමුහික කලාංගයක්. කවියක පුනරුක්තිය කරත් දී එය දුෂණයක් වන අතර ගීතයේ දී එය විභූෂණයක් ලෙසයි සලකන්නේ. අලුතින් ගීත ලියන අයට භාෂා සාහිත්‍යය පිළිබඳ මනා අවබෝධයක් තිබීමත් වැදගත්.

ඔබගේ අදහස අපට කියන්න

Close