රාජපක්ෂවරුන්ගේ බව කියූ ඩුබායි ගිණුමේ සල්ලි අතුරුදන්

ඩුබායි ගිණුම ගැන පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා දිනක් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට පැමිණි බවත්, ඇය ගොස් පැයක් විතර යද්දී මහින්ද රාජපක්ෂ මහතාගෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ආ බවත්, අනාවරණවී තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කළේ  අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය එම පරීක්ෂණ සඳහා සහය වන ලෙසට ඩුබායි වෙත යැවීමට සැකසූ ලිපියක් රැගෙන ජනාධිපතිවරයා හමුවී ඒ සඳහා අවශ්‍ය අත්සන ගැනීම යනාදිය සිදුකරගෙන ගිය බවයි.

එසේ පිටත්ව ගිය පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ඩුබායි ගිණුම ගැන පරීක්ෂණ කිරීම සඳහා ලිපියකට අත්සන් තැබූවේදැයි විමසූ බව ජනාධිපතිවරයා විසින් රාජිත සේනාරත්න මහතාට සදහන් කර තිබුණා.

මෙම සිද්ධියත් සමග දූෂණ වංචා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල විනිවිධභාවය ගැන ගැටළු මතුවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පෙර කී ඩුබායි ගිණුමෙන් ඩොලර් මිලියන 500 බැගින් දෙවරකදී ලබාගෙන ඇති බවත්, දැන් එම ගිණුමේ සල්ලි නැති බවත්, ඒ ගැන පරීක්ෂණ අසාර්ථක වූ බවත්, රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවේ අනාවරණ කළා.

දූෂණ වංචාවලට සම්බන්ධ වූවන්ට නඩු පැවරීමේදී නඩු පවරා ඇත්තේ සුළු කරුණු සදහා බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

ඇවන්ට්ගාඩ් නඩුව ගත් කළ එය සම්පූර්ණයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට වාසි වන පරිදි දමා ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඔබගේ අදහස අපට කියන්න

Close