ශ්‍රී ලංකා ඒ පිලෙන් හොද ආරම්භයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සමග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් සිවුදින ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනය නිමාවන විට කඩුලු 7ක් දැවී ලකුණු 272ක් රැස්කරගෙන සිටියේය.

තරගයේ කාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන් කුසල් ජනිත් පෙරේරා හා සඳුන් වීරක්කොඩි පළමු කඩුල්ලට ලකුණු 133ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූහ. ඒ අතරතුර කුසල් පන්දු 59කින්ද, වීරක්කොඩි පන්දු 64කින්ද අර්ධ ශතක වාර්තා කළහ. ඉනිමේ 29වැනි ඕවරයේදී කුසල් ජනිත් පෙරේරා ලකුණු ලකුණු 69කට දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණි. පන්දු 85කට මුහුණදුන් කුසල් හතරේ පහර 11ක් ඉනිමට එක්කර ගත්තේය.

පළමු තරග දෙකේදී අසාර්ථක වූ ළහිරු තිරිමාන්න නායකත්වයේ වගකීමද සහිතව මේ තරගයට එක්වූ අතර ඔහුට යළිත් ලකුණු අතරට ඒමට නොහැකි විය. ඔහුට පන්දු 14කින් ලබාගත හැකිවූයේ ලකුණු 2ක් පමණි. දෙවැනි කඩුල්ල ලකුණු 151දී බිඳ වැටුණු අතර තවත් ලකුණු 2ක් එක්වෙද්දී වීරක්කොඩිගේ ඉනිමද නිමා විය. ඔහු පන්දු 105කදී හතරේ පහර 10ක් සමගින් ලකුණු 79ක් රැස් කළේය. අසේල ගුණරත්න (16) සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර චරිත් අසලංක හා රොෂෙන් සිල්වා 5වැනි කඩුල්ලට ලකුණු 56ක් එක් කරමින් සිටියදී රකීම් ‍කොන්වෙල් හමුවේ අසලංක ලකුණු 46කට දැවී ගියේය. දසුන් ශානක (13) හා ජෙෆ්රි වැන්ඩෙසේ (2) 6වැනි හා 7වැනි කඩුලු ලෙසින් පිටියෙන් ඉවත් වූ අතර තරගය නතර කරනවිට රොෂෙන් සිල්වා නොදැවී ලකුණු 40ක් රැස්කර තිබිණි.

තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානක, කඩුලු රකින නවක ක්‍රීඩක සඳුන් වීරක්කොඩි, වමතින් දඟ පන්දු යවන අමිල අපෝන්සු, වේග පන්දු යවන ළහිරු ගමගේ හා ආබාධයක් හේතුවෙන් දෙවැනි තරගයට ක්‍රීඩා නොකළ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ද ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබිණි. දෙපිල අතර කොළඹ දී පැවැති පළමු නිල නොවන සිවුදින ටෙස්ට් තරගය කඩුලු 7කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර දෙවැනි තරග ලකුණු 333කින් ජයගනිමින් තරගාවලිය 1-1කින් සමකරගැනීමට කොදෙව් පිල සමත්ව සිටී.

අද තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම – 272/7 (ඕවර 80) සඳුන් වීරක්කොඩි 79, කුසල් ජනිත් 69, චරිත් අසලංක 46, රොෂෙන් සිල්වා නොදැවී 40 (රකීම් කොන්වෙල් 93/3, ඩෙලන් ජොන්සන් 43/2, ඩෙමියන් ජෙකොබ්ස් 64/2)‍

ඔබගේ අදහස අපට කියන්න

Close