හිස් කිහිපයකින් යුත් නාගයා මිථ්‍යාවක්ද ?

හෙළයන් වශයෙනුත්, බෞද්ධයන් වශයෙනුත් ‘නාගයා’ අපට හුරු පුරුදු සත්වයෙක්. කුරුණෑගල නයින්දනාව විහාරයේ දක්නට ලැබෙන පෙණ හතකින් යුතු උසින් අඩි හතක් පමණත්, පළලින් අඩි පහ හමාරක් පමණත් වන ගලින් නිම කළ නාග රූපය ගැන දක්වමින් පුරාවිද්‍යා චක‍්‍රවර්තී එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ ප‍්‍රකාශ කොට තිබුණේ පුරාණ යුගයක එහි නාග වන්දනාව පවතින්නට ඇති බවයි. බුදු දහම මෙරටට ලැබීමත් සමඟ නාගයන් කෙරෙහි වූ ගරු සත්කාර යම් තරමකින් වැඩි වූ බව නිසැකයි. ප‍්‍රාග් බෞද්ධ යුගයේ නාගයන් වන්දනා කරන්නට හෙළයන් යොමුව තිබුණ බවට සාධක මේ පෞරාණික කැණීම් මගින් හෙළි වී තිබෙනවා.

අප දකිනා නාගයන් ගොඩබිම සැරිසරන උරගයන් වුණත් අතීත කලාකරුවන් නාග රූප යොදාගෙන බොහෝ ඉදිකිරීම් සිදු කර තිබෙන්නේ ජලය ආශ‍්‍රිතවයි. මේ උරගයා ජලයට තිබෙන සම්බන්ධතාවය කුමක්ද කියන කාරණය අතීත කලාකරුවන් දැනගත්තේ සම්බුදු දහමෙන්. තිරිසන් අපායට අයත් වූ නාග ලෝකය ගැන සම්බුදු නුවණින් කළ විස්මිත හෙළිදරව්ව නිසයි ගැඹුරු සාගරයේ මහාමේරු පර්වත පාමුල ඇසුරු කරගෙන සැප සම්පතින් ආඪ්‍ය වුණ නාග ලෝකය පිහිටා තිබෙන බව මිනිසුන් දැනගත්තේ.

ජලය ආශ‍්‍රිත සංකේතයක් වශයෙන් නාග රූපය භාවිත කරන්න මුල් වුණේත් මේ දැනුම ම විය යුතුයි. මිහින්තලයේ නාග පොකුණේ තිබෙන පෙණ පහකින් යුතු සුවිසල් නාග ශීර්ෂය තුළින් නාගයා ජලයේ සංකේතයක් ලෙසත්, මේ පොකුණ ඇතැම් විට නාග ලෝකය තෙක් ම දිවෙන තරම් ගැඹුරු වූවක් බවත් පැවසෙන බවයි විද්වතුන් කියන්නේ. කිසිදා නො සිඳෙන මේ නාග පොකුණ එකල නාගයන් සහ මනුෂ්‍යයන් අතර වූ සමීප සබඳතාවයන් ගැන රහස් සඟවාගෙන සිටිනවා වන්නටත් පුළුවන්. ‘මහවැලි ව්‍යාපාරයේ’ සංකේතය ලෙස පෙණ හතකින් යුතු නාග රූපය යොදා ගන්නට ඇත්තෙත් මේ කාරණාවන් නිසා විය යුතුයි.

අපට අද සජීවී ව දකින්න ලැබෙන්නේ එක හිසක් සහිත අඩි පහක් පමණ දිග නාගයින්වයි. එහෙත් දුරාතීතයේ පටන් ඉදිකළ නාග රූප තුළ පෙණ ගොබ ගණනාවක් දරන, අර්ධ ස්ත‍්‍රී හෝ අර්ධ පුරුෂ ස්වභාව දරන, මහා විශාල සිරුරු දරන නාගයන් නිරූපණය කෙරෙනවා. නූතන ලෝකයට එය කලාකරුවාගේ මනසේ ඇති වූ අතිශයෝක්තියක් පමණයි කියා සිතෙන්නට පුළුවනි. එහෙත් සියවස් ගණනාවක් පුරා ඉන්දියාවේ බොහෝ ප‍්‍රදේශවලත්, හෙළදිවත් නිර්මාණය වූ නාග රූපවල මේ විස්මයජනක රූප ස්වභාවයන් පැවතීම නිසා එය කලාකරුවාගේ හුදු මවාපෑමක් පමණක් යැයි සිතීමේ ඉඩකඩ බැහැර වෙනවා.

ඉන්දියානු කලාකෘති පුරාවට මුණ ගැසෙන නාගරූප තනි පෙණ ගොබයක් හෝ පෙණ ගොබ කිහිපයක් සහිත නාග රූපයි. ලක්දිවත් තත්ත්වය එසේ ම යි. එහෙම නම් නාග ලෝකයේ මේ ස්වභාවයන් ගැන හෙළිදරව් කෙරෙන මූලාශ‍්‍රයන් මේ කලාකරුවන් විසින් ඇසුරු කළා විය යුතුයි. අන්න එ් මූලාශ‍්‍රයන් සොයා බලනකොට මේ අපූර්ව කලා කෘති හරහා හෙළිදරව් වන නාග ලෝකය ගැන සම්බුදු දහම තුළ සිදුකරන හෙළිදරව් කිරීම් අපට මුණ ගැසුණා.

ජාතක පාලිය තුළ මුණ ගැසෙන සංඛපාල, භූරිදත්ත, චම්පෙය්‍ය ආදි ජාතක කථා තුළින් අප මහ බෝසතාණන් වහන්සේ නාග ලෝකයේ ඉපිද සිටිය දී පවා සිල් ආරක්ෂා කරගත් ආකාරයන් කියැවෙනවා. එ් ජාතක කථා තුළින් බලසම්පන්න නාගයන් සතු ඍද්ධිමත් භාවයන් පෙන්නුම් කෙරෙනවා. අවශ්‍ය පරිදි විශාල ශරීර හෝ, කුඩා ශරීර හෝ, විවිධ වර්ණයේ ශරීර හෝ, පෙණ ගොබ ගණනාවක් සහිත ශරීර හෝ මවා ගැනීමේ ඍද්ධියක් ඔවුන් සතුයි. අහිකුණ්ඨිකයෙකු විසින් අල්ලා ගත් භූරිදත්ත බෝසත් නා රජු ස්වකීය ඍද්ධීන් පෙන්වූ ආකාරය ජාතකට්ඨ කථාවේ විස්තර වෙන්නේ මේ ආකාරයෙන්.

‘‘ඉක්බිති ඔහු නයාව පෙට්ටියෙන් පිටතට ගෙන විශාල වෙන්න යැයි කීය. විශාල විය. කුඩා, රවුම්, විවෘත වූ, එක පෙණයක්, පෙණ දෙකක්, තුනක්, පහක්, සතක්, අටක්, නවයක්, දහයක්, විස්සක්, තිහක්, හතළිහක්, පණහක් පෙණ, පෙණ හත උස්ව – පහත්ව, කය පෙනෙන්නට – කය නො පෙනෙන්නට, ශරීරයෙන් බාගයක් නො පෙනෙන්නට, නිල් පාට, කහ පාට, ලේ පාට, සුදු, මදටිය පාට වෙන්න, දැල විහිදුවන්න, ජලය – දුම විහිදුවන්න… ඔහු විසින් කියන ලද ආකාරය මේ ලෙස නිර්මාණය කර නැටුම් දැක්වී ය.”
(ජාතකට්ඨ කථා – භූරිදත්ත ජාතකය)

මේ ධර්මය අසා තිබුණ සහ ඇතැම් විට සජීවී ව ම ඍද්ධිමත් නාගයන් දකින්න අවස්ථාව සැලසී තිබුණ මිනිසුන් අතින් මේ විස්මිත නාග රූප නිමැවුණ බව නිසැකයි. නාගයන්ගේ තේජස්වී ස්වභාවය වගේ ම බෝසතාණන් වහන්සේ නාග ලෝකයේ උපත ලද නිසා නාගයන් කෙරෙහි වූ ගෞරවය ඉස්මතු කරවන්නට කලාකරුවා බහු පෙණ නාග රූප යොදාගෙන තිබෙනවා. එයින් අපට හෙළි වන්නේ මේ කලා නිර්මාණ හරහා ධර්මය තුළ අසා තිබුණ දෙය නිරූපණය කිරීමක් සිදු වූවා මිසක බහු පෙණ නාගයන් කියන්නේ කිසිසේත් ම මිථ්‍යාවක් නම් නො වන බවයි..!!!(mahamega)

ඔබගේ අදහස අපට කියන්න

Close