මන්ත්‍රීවරු යන්නේ බර කරත්තෙන්ද ? මුදල් ඇමති අසයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවී තිබෙන තීරු බදු රහිත වාහන බලපත්‍ර විකුණා ඇති බවට පළවන වාර්තා අසත්‍යයක් විය හැකි බව මුදල් ආමාත්‍ය රවී කරුණානායක අද ප්‍රකාශ කළා.
ඒ පෙරවරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පසුගියදා ලියකියවිලි සහිත හෙළිදරව්වක්කරමින් පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඔවුනට හිමි තීරු බදු රහිත වාහන බලපත්‍රය භාවිතයෙන් වාහන ආනයනය කර අලෙවිකිරීමට පියවර ගෙන ඇති බවයි.
අදාළ වාහන බලපත්‍රය විකුණා රුපියල් ලක්ෂ 250ට ආසන්න මුදලක් මන්ත්‍රීවරැ උපයාගෙන ඇති බවටයි එම චෝදනාවේ දැක්වුණේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ, මන්ත්‍රීවරුන් වාහන බලපත්‍ර අලෙවිකරනු ඇතැයි තමන් නොසිතන බවයි.
මං හිතන්නේ ඒක බොරුවක්, මාධ්‍යයට නිකං බයික් එකක් දුන්නොත් ප්‍රශ්නයක් නැහැ, හැබැයි මන්ත්‍රීවරුන්ට දුන්නොත් ප්‍රශ්නයක්, ඉතින් විකුණපු එක්කෙනෙක්ගෙන් අහන්න
මන්ත්‍රීවරුන්ට අදාළ වාහන බලපත්‍ සපයා තිබෙන්නේ එම වාහන පරිහරණය කිරීමට විනා අලෙවියට නොවන බවයි ඔහු අවධාරණය කර සිටියේ.
ඒ කියන්නේ මන්ත්‍රීවරයෙකුට බර කරත්තෙකද යන්න කියන්නේ, විනිසුරු වරයෙකුට වාහනයක් දුන්නට ප්‍රශ්නයක් නැහැ,මාධ්‍ය ලොක්කන්ට දුන්නට ප්‍රශ්නයක් නැහැ. නමුත් මන්ත්‍රීවරයෙකුට දුන්න ගමන් ලොකු ආන්දෝලනයක් ඇති වෙනවා, යැයි ද පැවසූ අමාත්‍යවරයා ,යම් කළු බැටළුවෝ ඉන්නවා ඕනෑම තැනක, හැම දෙනා ම එක බුරුසුවෙන් පාට කරන එක වැරදියි යනුවෙන්ද සදහන් කළා.

පසු සටහන

මුදල් අමාත්‍යවරයා අර්ථ දක්වන පරිදි මෙරට කිසිදු මාධ්‍යවේදියකු සදහා යතුරු පැදි බදු සහන යටතේ හෝ නොමිලේ ලබාදීමක් සිදුකර නොමැත. පසුගිය සමයේ මාධ්‍යවේදීන් වෙනුවෙන් යතුරු පැදි ලබාදීමක් සිදුකෙරුණද එම සියලු මාධ්‍යවේදීන් යතුරු පැදි ලබාගත්තේ යතුරු පැදියේ මිලට සියයට 9 ක පොලී ගෙවීමක්ද සමගිනි. එය සාමාන්‍ය කල් බදු ක්‍රමයට සියයට 15 ක පොලී අනුපාතයත් යටතේ ලබාගැනීමෙන් සිදුවන අලාභය සියයට 9 ක් වීමේ වාසිය හැර කිසිදු මාධ්‍යවේදියකුට නොමිලේ යතුරු පැදි ලබාදී නොමැති බව අප අවධාරණය කරන්නෙමු. එබැවින් මාධ්‍ය වෙත එල්ල කරන එවන් අසාධාරණ චෝදනා අප මාධ්‍යවේදීන් වෙනුවෙන් ප්‍රතික්ෂේප කර සිටින්නෙමු.

ඔබගේ අදහස අපට කියන්න

Close