දේශපාලන ප්‍රතිපත්ති වෙනස් නොවුනොත් ජී එස් පී යළි ලැඛෙයි / අගමැති කියයි

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වූ පසුව ක්‍රියාත්මක කරන ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සියල්ලම, එම ක්‍රියාවලියෙහි වෙනසක් නොකර ඉදිරියට ගෙන යනවා නම් ලබන මාර්තු – මැයි මාස අතරතුර දී ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය නැවතත් ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකියාව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

20 වන දා දහවල් යුරෝපීය පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡා වාරයන්ගෙන් පසුව ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් අමතමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ මුළු රටම ඒකරාශී කර ගනිමින් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරලීම ජනවාරි මාසයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවය.

කතා කිරීමේ කාලය අවසන් වී ඇති බවත්, දැන් උදාවී ඇත්තේ සැලසුම් ක්‍රියාත්මක කරලීමේ කාලය බවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

එහිදී වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

“යුරෝපා පාර්ලිමේන්තුවේ දකුණු ආසියා පාර්ලිමේන්තු කණ්ඩායම මුණගැසීමෙන් අනතුරුව යුරෝපා සංගමය සමග මේ සංචාරයේ දී කෙරුණු සාකච්ඡා අවසන් වුණා. එම සාකච්ඡාවල දී ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය වෙතින් ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබුණු බව කිව යුතුයි.

ශ්‍රී ලංකාව යුරෝපා සංගමයෙන් ඉල්ලූ ජීඑස්පී ප්ලස් සහනය ලබාදීමට තවත් ඇත්තේ තාක්‍ෂණික කරුණු කිහිපයක් පමණක් බව යුරෝපා සංගමයේ විදේශ කටයුතු භාර ප්‍රධාන නියෝජිතවරිය වන මොගේනි ඇමැතිවරිය පවසා සිටියා. ශ්‍රී ලංකාවේ වෙළෙඳ අංශය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කාරණා ක්‍රියාත්මක වී තිබෙනවා ද, නැද්ද යන කරුණ පිළිබඳව ඔවුන් තවදුරටත් සොයා බලාවි. “ටෙක්නිකල් ඇප්ලිකේෂන් ඇසෙස්මන්ට්” නැතහොත් ඉල්ලූම් පත්‍රයේ තාක්‍ෂණික ඇගැයීම යනුවෙන් එම කාරණය හඳුන්වනවා. දැනට ඔවුන් කර ගෙන යන්නේ එම කාරණයයි.

අප ඉහත කරුණු ඉතා හොදින් ක්‍රියාත්මක කර ගෙන යන බව මා ඇයට දැනුම් දුන්නා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසර ආරක්‍ෂණ වැඩසටහන් ප්‍රකාශ කළ අයුරින්ම ඉදිරියට ගෙන යන බව මා දැනුම් දුන්නා. එසේ නම් අපට ජීඑස්පී ප්ලස් සහනය ලබා දීමට හොඳම අවස්ථාවක් උදා වී ඇති බව යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරිය මා සමග පැවසුවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වූ පසුව අප ක්‍රියාත්මක කරන ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සියල්ලම එම ක්‍රියාවලියෙහි වෙනසක් නොකර ඉදිරියට ගෙන යනවා නම් ලබන මාර්තු – මැයි මාස අතරතුර දී ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය නැවතත් අපට ලබාගැනීමට හැකියාව තිබෙනවා.

යුරෝපා කොමිසම සිදු කරන්නේ තාක්‍ෂණික ඇගයීමක් පමණයි. එම තාක්‍ෂණික ඇගයීම ඔවුන් විසින් අනුමත කළ පසුව අපගේ ඉල්ලීම යුරෝපා සභාව වෙත යොමු කෙරෙනවා. යුරෝපීය සංගමයේ රටවල ප්‍රධානීන්ගෙන් යුරෝපා සභාව සමන්විතයි. එම නිසා එම රටවල ප්‍රධානීන් සමග අප සාකච්ඡා කළ යුතුව තිබෙනවා. කොළඹසිට හෝ එම රටවලට ගොස් හෝ ඔවුන් හමුවී සාකච්ඡා කළ යුතුයි. එම වැඩ කටයුතු අප විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාට බාර දෙනවා. ඇතැම් රටවලට ජනාධිපතිතුමා කතා කරනු ඇති. මමත් යුරෝපා බලධාරීන් සමග මේ පිළිබඳව කතා කරනවා.

ශ්‍රී ලංකාවේ ජීඑස්පී ප්ලස් සහන ඉල්ලීම යුරෝපා සභාවෙන් අනුමත වූ පසුව යුරෝපා පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කෙරෙනවා. යුරෝපා පාර්ලිමේන්තුවේ කණ්ඩායම් ගණනාවක් තිබෙනවා. ඒ අතර එක්සත් ජාතික පක්‍ෂය සමග සබඳතා ඇති පක්‍ෂ ද තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ සෙසු පක්‍ෂ සමග ද සම්බන්ධතා ඇති කණ්ඩායම් ද සිටිනවා. අප සියලූ දෙනාම එක් වී ඒ අය සමග සාකච්ඡා කිරීම බලාපොරොත්තුවයි. යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රධානතම පක්‍ෂ දෙකක් වන යුරෝපීය ජනතා පක්‍ෂය සහ යුරෝපීය කන්ස්වේටිව් පක්‍ෂය සමග ලබන ජනවාරියේ දී සාකච්ඡා කිරීමට තීරණය කර තිබෙනවා.

අපගේ ධීවර නිෂ්පාදනවලට පනවා තිබූ යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීමට අපට හැකි වුණා. එම තහනම ඉවත් කර ගැනීමත් සමග රටේ ධීවර අපනයන සීඝ්‍රයෙන් වැඩි වී තිබෙනවා. එමෙන්ම අපට ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ලැබුණු පසුව රටට තවත් ලාභ ප්‍රයෝජන රාශියක් හිමි වෙනවා. දැන් ධීවරයන්ගේ අතේ මුදල් තිබෙනවා. ධීවර අස්වැන්න ඉදිරියේ දී වැඩි වැඩියෙන් අපනයනය කිරීම නිසා දැන් එදිනෙදා පරිභෝජනය සඳහා අප රටේ මාලූ හිඟයක් ඇති විය හැකියි. මේ ප්‍රශ්නය පිළිබඳව මා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡා කළා. ඊට විසඳුමක් ළඟදීම දැනුම් දෙනු ඇති.

2002 – 2003 සමයේ මා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී යුරෝපා සංගමය වෙතින් ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ඉල්ලූම් කිරීමට කටයුතු කළා. එහිදී ආණ්ඩුව වෙනස් වුණත්, එවකට ජනාධිපතිනී චන්ඬිකා කුමාරතුංග මහත්මියත්, විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර් මහතාත් එම සහනය ලබා ගැනීම සඳහා කටයුතු කළා.

නමුත් පසුකාලීනව සිදු වූ තත්ත්වයන් නිසා අපට ඒ සහනය අහිමි වුණා. එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද? බංග්ලාදේශය එම ජීඑස්පී ප්ලස් සහනය ලබා ගත්තා. 2003 වසරේ සිට අද දක්වා ලංකාවේ මසා නිම කළ ඇඟළුම් අපනයනය 87% කින් වැඩි වී තිබෙනවා. එම වැඩි වීම සිදු වූයේ වසර 12 ක් ඇතුළතයි. නමුත් අපට අහිමි වූ ජීඑස්පී ප්ලස් සහනය ලබාගත් බංග්ලාදේශයේ ඇඟළුම් අපනයනය එම කාලය තුළ 406% කින් වැඩි වී තිබෙනවා. අඩු ගණනේ අපට 300% කින් වත් ඇඟළුම් අපනයනය වැඩි කර ගැනීමට හැකි වුණා නම් මෙලෙස ලෝකයට ණය වීමට සිදු වන්නේ නැහැ. එවිට අප අද මුහුණ දෙන ප්‍රශ්න ඇති වන්නේ නැහැ. මුදල් ඇමැතිතුමාට අලූත් යෝජනා ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන්නේ ද නැහැ.

ජීඑස්පී ප්ලස් සහනය අවශ්‍ය නැතැයි කියා එය අහිමි කර ගැනීමෙන් පාඩු සිදුවූයේ ශ්‍රී ලංකාවේ ජනතාවටයි. අප එම සහනය ලබා ගැනීමට ප්‍රමුඛත්වය ලබා දී තිබෙන්නේ අපට අහිමි වූ පාඩු මඟ හරවා ගෙන ජනතාවට උසස් ජීවන තත්ත්වයක් ලබාදීම සඳහායි.

යහපාලන රජය ගෙන යන ප්‍රජාතන්ත්‍රවාදී වැඩසටහන යටතේ, මානව හිමිකම් ආරක්‍ෂා කොට නිදහස් සමාජයක් ඇති කරන වැඩසටහන යටතේ මෙන්ම, වෙළෙඳ හා ආර්ථික වැඩසටහන යටතේ විශාල වශයෙන් රැකියා උත්පාදනය කිරීමට අපට අවස්ථාව ලැබෙනවා.

මේ වැඩ කටයුතු සම්බන්ධයෙන් බොහෝ රටවල් සමග සාකච්ඡා කිරීමට මට අවස්ථාව ලැබුණා. චීනය සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට වරාය, ගුවන් තොටුපොළ දියුණු කිරීමටත්, ඒ ආශ්‍රිතව කර්මාන්ත සහ සංචාරක ව්‍යාපාරය ඇරැඹිමටත් වැඩ කටයුතු අප සාකච්ඡා කරනවා.

පසුගිය සතියේ මා ඉන්දියාවට ගොස් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවුණා. ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් එහි ගොස් ඉන්දීය අගමැතිවරයා හමුවුණා. ඉන්දියාව සමග වෙළෙඳ ගිවිසුම් සහ සංවර්ධන කටයුතු ඒ අයුරින්ම කර ගෙන යනවා. ඒ සංවර්ධන වැඩසටහන් යටතේ ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශ දියුණු කිරීමට ඉන්දියාව එකඟ වී තිබෙනවා.

ජපාන අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයෙකු ද සමග ශ්‍රී ලංකාවට පැමිණි එරට නියෝජිත පිරිසක් පසුගිය සතියේ දී මා හමුවී සංවර්ධන වැඩසටහන් පිළිබඳව සාකච්ඡා පැවැත්වුවා. ලබන සදුදා ඉන්දීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි පසුව ඔවුන් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතයි.

යහපාලන රජය මේ වන විට සංවර්ධන සැලසුම් සකසා අවසන් කොට තිබෙනවා. දැන් ඉතිරි වී තිබෙන්නේ මා විසින් සිදු කරන ආර්ථික ප්‍රකාශනයත්, මුදල් අමාත්‍යතුමා විසින් කරන අයවැය ප්‍රකාශනය ඉදිරිපත් කිරීමත් පමණයි. ඒ වැඩ කටයුතු අවසන් වූ විට අප කතා කිරීම නවතා වැඩට බැසීමේ කාර්යය කළ යුතුව තිබෙනවා. ඉන් අනතුරුව අප ජනතාවට ප්‍රතිඵල ලබාදිය යුතුයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වී ලබන ජනවාරිය වන විට වසර දෙකක් ගත වෙනවා. පළමු මාස දෙක ඇතුළත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කොට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ජාතික රජයක් පිහිටුවූවා. අපට මෙතරම් දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීමට හැකි වූයේ පක්‍ෂ දෙකම එකට එක් වූ නිසයි. අප විශාල වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා. ඒ පිළිබඳව අප සාකච්ඡා කළා. දැන් ඉතිරි වී තිබෙන්නේ ඒ වැඩසටහන් ඉදිරියට ගෙන යාමයි.

ලබන මාර්තු මාසයේ දී ජිනීවා සාකච්ඡාවලට ගිය පසුව මානව හිමිකම් සම්බන්ධයෙන් තිබෙන ඉතිරි ප්‍රශ්න කිහිපයත් විසදා ගැනීමට අපට හැකියාව ලැබෙනවා. ඊට අවශ්‍ය නීති කෙටුම්පත් ගණනාවක් අප ඉදිරිපත් කරනවා. සංවර්ධනය සඳහා වන විශේෂ නීති කෙටුම්පතත්, බස්නාහිර පළාත දියුණු කෙරෙන මෙගාපොලිස් නීති කෙටුම්පතත් ඉදිරිපත් කොට එය සම්මත කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

නිවාස ලක්‍ෂ 5 ක් ඉදිකරන වැඩසටහන සඳහා මේ වන විට මුදල් ලබාගෙන තිබෙනවා. වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කෙරෙන නීති ඉදිරිපත් කිරීමට නියමිතයි. ලබන සතියේ දී කළමනාකරණ අධ්‍යාපන ආයතනයක් විවෘත කිරීමට මහින්ද සමරසිංහ අමාත්‍යතුමාට අවස්ථාව ලැබෙනවා. අමාත්‍යවරු ගණනාවක් මේ ආකාරයට වැඩ කටයුතු සිදු කරනවා.

අප දැන් කතා කරන කාලය අවසන්… මේ වැඩ කටයුතු ආරම්භ කොට ජනවාරි මාසයේ දී ජනාධිපතිතුමන් මූලික වැඩ කටයුතු ක්‍රියාත්මක කළ පසු මුළු රටම ඒකරාශී කර ගනිමින් සංවර්ධන වැඩසටහන ඉදිරියට ගෙන යාම අපේ බලාපොරොත්තුවයි. ඊට අවශ්‍ය විදේශ ගිවිසුම් පසුබිම අප විසින් අවසන් කර තිබෙනවා. ඒ බව ජනතාවට දැනුම් දී අප අලූත් යුගයක් සඳහා ඉදිරියට ගමන් කරමු. ජනතාවගේ සාක්කුවට මුදල් ලබාදීමට, ඔවුන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට හැකි පසුබිමක් ඇති කරමු.” යැයි ද වික්‍රමසිංහ මහතා පැවසීය.

ඔබගේ අදහස අපට කියන්න

Close