බන්දුලට නව ඇමති ධූරයක් / පොලිස් කාන්තාවන් ආවාට වෙල්ගම සතුටින්

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පසුගියදා රැස්ව තිඛෙනවා.එහිදී නුවර දී වැට් විරෝධී පත්‍රිකා බෙදීම කෙහෙළිය සහ මහින්දානන්දටත් එයම 24දා කොළඹ දී බෙදීම රෝහිත සහ ප්‍රසන්නටත් පැවැරිණි. 26දා මෝදර කාලි මෑණියන්ගේ දේවාලයේ වැට් පනතට අත ඔසවන අයට දේව ශාපය පතා පොල් ගැසීම සංවිධානය කිරීම භාර වුණේ බන්දුලටය.
‘අපේ අනාගත පොල් සංවර්ධන ඇමැතිටම වැඩේ භාර දුන්නු එක හොඳයි යැයි රෝහිත විහිළුවක් කරද්දී ‘ඔන්න ඉතින් වැඩේ නොකෙරෙන තැනකට ගෙනාවා. එතුමාගේ බලාපොරොත්තුව මුදල් ඇමැති වෙන්න” යැයි ගම්මන්පිල කීවේය.
‘හොඳයි අපි මුදල් සහ පොල් සංවර්ධන ඇමැති කරමුකො. ඔය උසස් අධ්‍යාපන සහ මහා මාර්ග කියලා ඇමැතිවරයකුත් ඉන්නේ” යැයි කියමින් මහින්ද ඒ ප්‍රශ්නයටත් ක්ෂණික විසඳුමක් ගෙනාවේය.

පාර්ලිමේන්තුව තුළ සිදු කරන නිර්මාණශීලී නැවුම් විරෝධය සංවිධානය කිරීම පවිත්‍රා, ලොකුගේ සහ රංජිත්ට භාර විය. එය අවසන් මොහොත දක්වා රහසක් ලෙස තබා ගැනීමට කවුරුත් ගිවිස ගත්හ. පනතට සංශෝධන යෝජනා සැකසීමේ වගකීම භාර ගත්තේ බන්දුල ගුණවර්ධනයි.
කුමාර වෙල්ගම මහතාගේ මතුගම වත්ත පරීක්ෂා කර තිබුණේ එදිනය. මේ නිසා මහින්ද වෙල්ගමගෙන් මොකද්ද මේ ගැටලුව යැයි අසද්දී වෙල්ගම කීවේ ‘නෑ සර් වෙඩි නොවදින වාහන දෙකක් ගැන හොයන්න එකපාර පොලිසියේ පනහක් විතර ආවා. වැඩේ කියන්නෙ පොලිස් කාන්තාවෝ හතර දෙනකුත් එතැන හිටපු එකයි” යැයි කියාය.
“සර් හැබැයි පොලිස් කාන්තාවොත් ආපු එක ගැන වෙල්ගම හරි කැමැත්තෙන් ඉන්නෙ” යැයි බන්දුල කියද්දී ඊට එතැන සිටි සියලුදෙනා සිනාසෙන්නට වූහ.
“නෑ නෑ. මේවා අපේ අත්තා මුත්තා කාලේ ඉඳන් මේ ගමේ පදිංචි අය. ඒ ගමේ යම් කීර්තියක් තියෙනවා නම් ඒක නැති කරන්න තමයි මේක කරලා තියෙන්නෙ යැයි වෙල්ගම කියද්දී, ඉතිං ආණ්ඩුවට කීර්තියක් නෑනේ. ඒ ගැන කලබල වෙන්න එපා” යන්න දිනේෂ් දුන් උත්තරය විය.

ඔබගේ අදහස අපට කියන්න

Close