බැදුම්කර කෝප් වාර්තාව ආන්දෝලනාත්මක වන ලකුණු

පසුගිය 2015 වසරේ පෙබරවාරි මාසයේ සිට මෙම වසරේ මැයි මාසය දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ බැඳුම්කර සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) විමර්ශන වාර්තාව තවත් දේශපාලන බෝම්බ පිපිරුමක් බවට පත් වන ලකුණු පහළ වී ඇත.

මෙම බැඳුම්කර සම්බන්ධ චෝදනා පදනම් කරගෙන විගණකාධිපතිවරයා විසින් විමර්ශනයක් සිදු කර එම අවසන් වාර්තාව මේ වන විට කෝප් කමිටුව වෙත බාර දී ඇත. ඒ අනුව පසුගිය බ‍්‍රහස්පතින්දා හා සිකුරාදා දින දෙකෙහිම කෝප් කමිටුව රැස්වී සිය අවසන් වාර්තාව සැකසීම සම්බන්ධයෙන් විවාදාත්මක සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වූව ද පත‍්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විටත් එය අවසන් එකඟතාවකට නොපැමිණ තිබිණි. කෙසේ නමුත් කෝප් කමිටුවේ නිර්දේශය සුළුතරයේ හා බහුතරයේ බෙදුණු තීන්දුවක් පරිදි වාර්තා දෙකක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමේ වැඩි සම්භාවිතාවක් තිබුණු නමුත් මේ වන විට එක් එක් කමිටු සාමාජිකයාගේ අදහස් වෙන වෙනම වාර්තා ලෙස ගෙන ඒ සියල්ල එක්කර නිසි නිර්දේශයකින් තොර වාර්තාවක් සැකසීමට සුළුතර පාර්ශ්වයක් විසින් පසුගිය දා යෝජනා කර ඇති බව ද පැවසේ. නමුත් එය සම්ප‍්‍රදාය නොවන බවත් කමිටු සභාපතිවරයා විසින් එක් වාර්තාවක් සකසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ශ්‍රීලනිපයේ මෛත‍්‍රී පාර්ශ්වයේ නියෝජිතයන් පෙන්වා දී ඇත.

පසුගිය මාස කිහිපය මුළුල්ලේ කෝප් කමිටුව මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වූ අතර ඒ සඳහා වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි,බැඳුම්කර සම්බන්ධයෙන් මහ බැංකුවේ වගකීම උසුලන ඉහළ නිලධාරීන් මුදල් අමත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග යන අය කැඳවා ප‍්‍රශ්න කර ඇත.

මෙහි දී අවධානය යොමු කරනු ලැබුවේ බැඳුම්කර නිකුතුවක දි මහ බැංකුව අතීතයේ සිට අනුගමනය කරන ක‍්‍රමවේදය සහ විවාදයට තුඩු දී තිබෙන බැඳුම්කර නිකුතු දෙක සම්බන්ධයෙන් අනුගමනය කළ ක‍්‍රමවේදය සම්බන්ධයෙනි. ශ්‍රී ලංකා මහ බැංකුව මුල් වරට බැඳුම්කර නිකුත් කළේ 1997 වසරේ දී ය. 1998 දී සහ 2008 වසරේ දී මේ සම්බන්ධයෙන් ප‍්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කර ඇත.

ඒ අනුව විවාදයට තුඩු දී ඇති බැඳුම්කර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන පරිදි 26 දෙනකුගෙන් යුතු කෝප් කමිටු සාමාජිකයන් බහුතරය පැහැදිලි ස්ථාවර දෙකක් මත වෙන් වෙන්ව අදහස් පළ කර ඇත. කෝප් කමිටු සභාපතිවරයා ප‍්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ මන්ත‍්‍රීවරු මෙන්ම මහින්දවාදී විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරු පිරිස එක් පාර්ශ්වයක් ද එජාපය නියෝජනය කරන මැති ඇමැතිවරු තවත් පාර්ශ්වයක් ද ලෙස කටයුතු කර තිබේ. මේ අතර ශ්‍රීලනිප මෛත‍්‍රී පාර්ශ්වයේ මන්ත‍්‍රීවරු සහ දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රීවරු නිශ්චිත අදහසක නැති බවත් වාර්තා වේ.

කෝප් කමිටුව විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ මහ බැංකු නිලධාරීන් කැඳවා කළ ප‍්‍රශ්න කිරීමවල දී මහ බැංකු අධිපතිවරයා හෝ එම නිලධාරීන් වරදක් කර නොමැති බවත් අගමැතිවරයා මාර්ගයෙන් ආණ්ඩුවේ මුදල් අවශ්‍යතාව මත ඉදිරිපත් වූ ඉල්ලීම ඉටු කිරීම පමණක් සිදු කර ඇති බව පැහැදිලි බවත් එජාපයේ පිරිස පෙන්වා දී ඇත.

එමෙන්ම විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් වුව ද නීත්‍යනුකුල නොවන ආකාරයේ ගනු දෙනුවක් සිදුව ඇති බව සඳහන්ව නැති අතර විගණකාධිපතිවරයා බැඳුම්කර සම්බන්ධයෙන් පසුගිය ජුනි 29 වන දින නිකුත් කළ වාර්තාව සහ එය යාවත්කාලීන කරමින් පසුගිය සැප්තැම්බර් 30 වන දින කෝප් කමිටුවට දුන් වාර්තාව අනුව සඳහන් වන්නේ මෙම බැඳුම්කර ගනුදෙනුව නිසා රජයට වළක්වාගත හැකිව තිබූ රුපියල් බිලියන 1.67 ක අවාසියක් සිදුව තිබෙන බවය. ඊට බලධාරීන් වගකිවයුතු බවත් විගණකාධිපතිවරයා පවසයි. නමුත් වංචාවක් හෝ මහ බැංකුවේ රහසිගත තොරතුරු ප‍්‍රාථමික වෙළෙඳපොළට හොර රහසේ පිටව ඇති බවක් හෝ මෙම විමර්ශනවල දී අනාවරණය වී නොමැත.

මේ අතර පසුගිය සිකුරාදා (20) ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා ජවිපෙට අනුබද්ධ සංවිධානයක් වන දූෂණ විරෝධී හඬ නම් සංවිධානය වෙනුවෙන් වත්මන් මහ බැංකු අධිපති කුමාරස්වාමි මහතාට යොමු කළ ලිපියක‘බැඳුම්කර වංචාවෙන් රුපියල් බිලියන 15 ක පමණ ඇස්තමේන්තු කොට ඇති සෘජු පාඩුවක් සහ වක‍්‍රාකාරව රුපියල් බිලියන සියය ඉක්මවන මුදලක් රජයට පාඩු වූ බව මේ වන විටත් ගණනය කොට..’ ඇති බවය. ජවිපෙ ඇතුළුව මෙම බැඳුම්කර සම්බන්ධයෙන් චෝදනා කළ විවිධ පාර්ශ්ව මෙම ගනුදෙනුවේ දී බිලියන සිය ගණනින් වූ විශාල වංචාවක් සිදුව ඇති බවට දිගින් දිගටම චෝදනා කරමින් සිටිති. එහෙත් එම සංඛ්‍යා තහවුරු කරගනු ලැබුවේ කවුරුන් විසින් කවර ක‍්‍රමවේදයකින්ද යන්න පැහැදිලි කර නැත.

කෙසේ නමුත් මෙම චූදිත පාර්ශ්වය මහ බැංකු බැඳුම්කර දැවැන්ත වංචාවක් බවට ප‍්‍රකාශයට පත් කෙරෙන කෝප් වාර්තාවක් බලාපොරොත්තුවෙන් සිටින බව වසන්ත සමරසිංහ මහතා එම ලිපිය මාධ්‍යයට යොමු කිරීමෙන් පැහැදිලි වේ. එසේ නොවුණහොත් එම දේශපාලන පක්ෂ සහ දූෂණ විරෝධී සංවිධාන මහ ජනතාව හමුවේ බොරුකාරයන් බවට පත් වීම වැළැක්විය හැකි නොවේ. මේ තත්ත්වය හමුවේ කෝප් කමිටුවේ ජවිපෙ සහ මහින්දවාදී නියෝජිතයන් වඩාත්ම අර්බුදයට පත්ව සිටින කණ්ඩායම් බවට පත්ව සිටී.

යම් ලෙසකින් හිටපු මහ බැංකු අධිපතිවරයා වරදකරු කරනු නොලැබුවහොත් ඒ අගමැතිවරයාගේ ජයග‍්‍රහණයක් වීම වැළැක්විය නොහැක. එහෙත් වරදකරු කරනු නොලැබූව ද එජාපය හෝ අගමැතිවරයා අර්බුදයකට යෑමකට වඩා ආණ්ඩුවේ යහපාලනය තහවුරු වීමක් ලෙස මේ අර්ථකථනය කිරීමේ වාසිය ද ආණ්ඩුවට හිමි වේ. මේ අතර පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම බැඳුම්කර නිකුතුව අගමැතිවරයාගේ ඉල්ලීම පිට සිදු වූවක් බැවින් මෙහි වගකිවයුත්තා ලෙස අගමැතිවරයාව නම් කළ යුතු බවට මහින්දවාදී විපක්ෂයේ නියෝජිතයන්ගෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවය. එහෙත් ඒ සඳහා අනෙක් කිසිදු පාර්ශ්වයක් එකඟ වී නැති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ නමුත් යම් ලෙසකින් හෝ බැඳුම්කර මඟින් රජයට පාඩුවක් සිදු වීම තහවුරු වූවත් ඒ සම්බන්ධයෙන් නෛතික පියවර ගැනීමට හැකි වීමේ සම්භාවිතාව ඉතා අවමය. කෝප් කමිටුවට ඒ සඳහා කිසිදු බලයක් නොමැත. එසේම මෙම කාරණය සම්බන්ධයෙන් යමෙකු අධිකරණය හමුවට යෑම ද රජය බරපතළ අර්බුදයකට ලක් විය හැකි කරුණකි. මන්ද, මහ බැංකුව සතු අතිශය රහසිගතව පවත්වාගෙන යන තොරතුරු අධිකරණය හමුවේ අනාවරණය කිරීමට සිදු වනු ඇති බැවිනි.

විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පවා මෙම රහසිගත තොරතුරු අනාවරණය කර නොමැත. කථානායකවරයාට හා ඔහුගේ ඉල්ලීම මත කෝප් කමිටු සාමාජිකයන් 26දෙනාට පමණක් ලබා දී තිබෙන විශේෂ වාර්තාවේ ද රහසිගත තොරතුරු මුළුමනින්ම ඉදිරිපත් කර නොමැත. මේ තත්ත්වය හමුවේ කෝප් කමිටුව කවර නිර්දේශයක් ඉදිරිපත් කළ ද එය තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත් වෙනු ඇත.

මේ අතර 2017 අයවැය යෝජනා සම්බන්ධයෙන් ද එජාපය හා ශ්‍රීලනිපයේ මෛත‍්‍රී පාර්ශ්වය අතර වන විවාදාත්මක තත්ත්වය තවමත් සමහන් වී නොමැත. ශ්‍රීලනිපයේ ඉදිරිපත් කර ඇති යෝජනා අත්හැර අයවැය සකසන්නේ නම් ඊට විරෝධය දැක්වීමේ සූදානමක ශ්‍රීලනිප කණ්ඩායම පසුවේ. එමෙන්ම එජාපය නියෝජනය කරන ඇමැතිවරු පස් දෙනකු සම්බන්ධයෙන් එල්ල වී ඇති වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යම් පියවරක් ගැනීම සිදු විය යුතු බවත් විශේෂයෙන්ම කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කර ඔවුන්ව එම තනතුරුවලින් ඉවත් කිරීම සිදු විය යුතු බවටත් මෙම මන්ත‍්‍රී කණ්ඩායමේ අදහස වී තිබේ.(sathhanda)

ඔබගේ අදහස අපට කියන්න

Close