සන්ධ්‍යා එක්නැලිගොඩ ජනපතිගෙන් සාධාරණය ඉල්ලයි

හමුදා නිලධාරීන් අධිකරණයට ගෙන යැම ගැන සොයා බලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට යුක්‌තිය ඉටුකර දීමට මැදිහත් නොවන්නේ ඇයිදැයි ගැටලුවක්‌ බව සන්ධ්‍යා එක්‌නැලිගොඩ මහත්මිය පවසනවා.
ඇය මේ බව සදහන් කළේ අතුරුදන් තම සැමියා වන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.
අපරාධකරුවන්ට සහන සැලසීම හෝ නීතිය ඉදිරියට ගෙන යාම වැලැක්වීම සිදුවන්නේ නම් සාධාරණත්වයක් අපේක්ෂා කළ නොහැකි බවයි ඇය මෙහිදී කියා සිටියේ.
මේ එහිදී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පල කළ අදහස්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුදාපතිවරු අධිකරණයට ගෙන යැම ගැන කතා කිරීමෙන් පසුව මැති ඇමැතිවරු, විවිධ පුද්ගලයන් විවිධ ප්‍රකාශ මතු කළා. ජනාධිපති සිය ප්‍රකාශය හරහා හමුදා නිලධාරීන් මාස 18 ක්‌ හිරේ ඉන්නවා කිව්වා. ජනාධිපතිතුමනි මම මාස 81 ක්‌ යුක්‌තිය සොයමින් යනවා.

ප්‍රගීත්ව පැහැර ගෙන යැම සැලසුම් සහගතව කළ අපරාධයක්‌. එකම කණ්‌ඩායමක්‌ කළේ. මේ අපරාධකරුවන් ගැන සොයාගෙන තිබෙනවා. අපරාධ කළ කොටසක්‌ තමයි බන්ධනාගාරගතව සිටින්නේ. අපරාධකරුවන් නිදහස්‌ කරන ලෙසට රටේ ප්‍රධාන පුරවැසියා ප්‍රකාශ කරනවා නම් මේ රටේ වින්දිතයන්ට අධිකරණ ක්‍ෂේත්‍රය ගැන විශ්වාසය තියා ගන්න බැහැ.

එදා පරීක්‍ෂණ සඳහා නිලධාරීන්ට ගිරිතලේ හමුදා කඳවුරට යන්න බැරිව තිබුණා. දුරකථන සංවාදවල වාර්තා ගන්න බැරිව තිබුණා. හමුදා බුද්ධි අංශයෙන් මේ තොරතුරු ලබා දුන්නේ නැහැ. හමුදා බුද්ධි අංශවල අය සහාය දුන්නේ නැහැ. කාගේ හරි අණ ක්‍රියාත්මක කළා නම්, තමන් නිර්දොaෂී නම්, දන්නා තොරතුරු අධිකරණයට ලබාදිය යුතුයි. නමුත් ඔවුන් එහෙම කරන්නේ නැහැ.

ප්‍රගීත්ගේ ඇටකටුවක්‌ හෝ ගෙනැල්ලා පෙන්වන්න. තම පියා, සැමියා එන තුරු බලා සිටින අපට සැනසීමක්‌ ලැබෙයි. මම කළ වරද කුමක්‌ද? ප්‍රගීත් කොටි සමග කිසි සම්බන්ධයක්‌ නැහැ. ඒ ගැන කිසිම තොරතුරක්‌ නැහැ. අද ඔවුන් කියනවා කොටි සන්ධ්‍යා කියලා. ජනාධිපතිවරයාගේ අවධානයට මේවා යොමු කරන්නේ අපට අයිතියක්‌ තිබෙන නිසයි. පොදු අපේක්‍ෂකයෙක්‌ වූ දා සිට ඡන්ද ව්‍යාපාරය තුළ අපේ ඡායාරූපත් යොදා ගත්තා. ඔබ ආණ්‌ඩුව තුළින් අපට යුක්‌තිය ඉටු කරන්න. රජය පත් වෙලා වසර දෙකකට ආසන්නයි. නමුත් අපි කිසිම වරප්‍රසාද ඉල්ලා නැහැ.

ඔබගේ අදහස අපට කියන්න

Close