සදා අමරණීය ඇත් රජු රාජා

දියත පතල මහනුවර ඇසළ පෙරහැරෙහි මුඛ්‍යතම අංගය දළදා පෙරහැරයි. නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන දේවාල පෙරහැර සමග පෙරහැර පහකින් සමන්විත ඇසළ පෙරහැරෙහි සුවිශේෂී උත්තරීතර අංගය වන්නේ සධාතුක කරඬුව වැඩම කරවන හස්‌ති රාජයා ය. දළදා පෙරහැරේ ගමන් කරන සෙසු හස්‌තීන් අතර එම හස්‌ති රාජයා සැබැවින්ම අති විශිෂ්ට වාසනාවන්ත, පුණ්‍යවන්ත හස්‌තියකු වන්නේ ය. මෑත පෙරහැර ඉතිහාසය තුළ අඩ සිය වසරකට ආසන්න කාලයක්‌ සධාතුක කරඬුව වැඩම කරමින් උදාර මෙහෙවරක යෙදෙමින් සදානුස්‌මරණීය සිහිවටනයක්‌ තැබු කීර්තිමත් හස්‌තිරාජයා වූයේ ශ්‍රී දළදා මාලිගයෙහි රාජා හස්‌තියාය. කාලයාගේ ඇවෑමෙන් වයෝවෘද්ධ භාවය නිසාම බෙලහීන තත්ත්වයට පත්වූ රාජා හස්‌තියා අභාවයට පත්ව මේ වන විට වසර 28 ක් ගතව තිඛේ.

බුදුරජාණන් වහන්සේ ලොවට දායාද කළ ප්‍රථම ලෝකාදර්ශය කෘතගුණ දැක්‌වීමයි. පරමෝදාර ඒ ඉගැන්වීම අනුව යෙමින් “රාජා” ඇත් රජුන් පිළිබඳව සමරු සටහනක්‌ තැබීම කාලෝචිත යෑයි හැඟේ.

මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ එරාවුර් හි පදිංචි වෘත්තියෙන් අලි අල්ලන්නකු වූ එම්. උමේරු ලෙබ්බේ නමැත්තා තම කාණ්‌ඩය සඳහා වන වැදුණු 1925 වර්ෂයේ එක්‌තරා දිනෙක මන්නාරම් ප්‍රදේශයේ ඝන කැලෑවෙන් අලි පැටවකු අල්ලා ගනු ලැබිණි. මෙම අලි පැටවාත්, මඩකලපු ප්‍රදේශයෙන් අල්ලා ගනු ලැබූ අලි පැටවකුත් උමේරු ලෙබ්බේ රු. 3300.00 ක මුදලකට මහනුවර ප්‍රදේශයේ යටිනුවර, ගිරාගම මාම්පිටිය වලව්වේ පුංචි බණ්‌ඩාර හෙවත් ටිකිරි බණ්‌ඩාර මාම්පිටිය දිසාවට විකුණනු ලැබීය. 1925. 12. 11 වැනි දින 1318 අංක දරණ අවසර පත්‍රය ප්‍රදේශයේ දිසාපතිතුමාගෙන් ලබාගත් මාම්පිටිය දිසාවේ ඇත් පැටවුන් දෙදෙනා මහනුවරට රැගෙන ආවේය. ඉක්‌බිති යටිනුවර, ගිරාගම වලව්වේ ඇත්ගාලේ මෙම ඇත් පැටවුන් දෙදෙනා ජීවත් වූහ. එක්‌ ඇත් පැටවෙක්‌ ‘රාජා’ නමින් ද අනෙක්‌ ඇත් පැටවා ‘දත් පූට්‌ටුවා’ නමින් ද හඳුන්වනු ලැබූ අතර ‘දත් පූට්‌ටුවා’ පසු කාලයේ ‘කන්දා’ නමින් ද හඳුන්වන ලදී. ‘රාජා’ සහ ‘කන්දා’ මාම්පිටිය දිසාවේගේ සුරතලුන් ලෙස කල් ගෙවන්නට වූහ.

මෙලෙස කෙළිදෙලෙන් කල් ගත කළ ‘රාජා’ වයස අවුරුදු එකොළහේදී පමණ දැඩි ලෙස රෝගාතුර විය. ඉතාමත් අසීරුවෙන් බේත් හේත් පොවමින් මාම්පිටිය දිසාවේ රාජා සුවපත් කිරීමේ වෑයමක යෙදුණ අතර ‘රාජා’ සුවකර ගැනීමට දේව රැකවරණය ලැබුණහොත් අලුත්නුවර දේවාලයට රනින් කළ ඇත් රූපයක්‌ පූජා කරන බවට බාරයක්‌ ද විය. කෙසේ වෙතත් රාජා සුව අතට හැරුණු අතර බාරය ද ඔප්පු කිරීමට මාම්පිටිය දිසාවේ පියවර ගත්තේය. මාම්පිටිය දිසාවට නිබඳ සතුට ගෙනා එමෙන්ම ගිරාගම වලව්වේ අභිමානය වැඩූ අගනා සම්පත වූ ඇත් පැටවුන් දෙදෙනා පිළිබඳ තීරණයක්‌ ගැනීමට දිසාවගේ වයෝවෘද්ධභාවය බලපෑවේය. තීරණය වූයේ ඇත් පැටවුන් දෙදෙනා මහනුවර ශ්‍රී දළදා මාලිගයට පූජා කිරීමයි. මේ වන විට රාජා වයස අවුරුදු දොළහ ගෙවන කෙළිලොල් සුරතලෙකි.

1937 ජුලි මස 31 වැනි දිනට යෙදුණු ඇසළ පුර පසළොස්‌වක පොහොය දිනය ගිරාගම වලව්වට සුවිශේෂී දිනයක්‌ විය. පුංචි බණ්‌ඩාර නොහොත් ටිකිරි බණ්‌ඩාර මාම්පිටිය දිසාව මහනුවරට කැඳවාගෙන ගිය මෙම ඇත් පැටවුන් දෙදෙනා විහාරස්‌ථානවලට ඉඩම් පූජා කරනු ලබන ආකාරයට සකස්‌ කරන ලද ඔප්පුවක්‌ මගින් ශ්‍රී දළදා මාලිගයට පූජා කළේය. එවිට ‘රාජා’ ගේ උස අඩි 8 ක්‌ සහ ‘දත් පූට්‌ටුවා’ හෙවත් ‘කන්දා’ ගේ උස අඩි 7 1/2 ක්‌ බව ඔප්පුවේ තොරතුරු අනුව අනාවරණය වේ. ශ්‍රී දළදා මාලිගයෙහි දී ඇත් පැටවුන් භාරගැනීමේ කාර්යය සිදුකෙරුණේ එවක දියවඩන නිලමේ තනතුර හොබවන ලද ටී. බී. රත්වත්තේ මහත්මා විසිනි. 1937 ජුලි මස 31 වැනි දින මහනුවරදී අත්සන් තබන ලද පූජා ඔප්පුව ලියන ලද්දේ පුංචි බණ්‌ඩා රණරාජා නමැති ප්‍රසිද්ධ නොතාරිස්‌ තැන බව සඳහන්ය.

මෙම ඓතිහාසික අවස්‌ථාව සියෑසින් දුටු රඹුක්‌පොත මඩුගල්ලේ කුමාරිහාමි මහත්මිය ඒ පිළිබඳ මතකයෙන් ප්‍රකාශ කළ කරුණු 1984 සැප්තැම්බර් මස පළ වූ “කල්පනා” සඟරාවේ මෙසේ සඳහන් වේ.

“රාජයි, කන්දයි, අපේ මාමයි මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ අභියසට පෙරහැරෙන් එන විට අනිත් ප්‍රභූන් හිටියෙ ප්‍රධාන වාහල්කඩ ළඟ. ඒ අවස්‌ථාවෙ ගස්‌වලත් මිනිස්‌සු නැගලා හිටියා ඇත්තු පූජා කරන හැටි හරිහැටි බලා ගත්න. ලස්‌සනට ඇඳගත්ත රාජා එක පැත්තකත්, මාම්පිටිය දිසාව මැදිනුත් අනිත් පැත්තෙ කන්දත් ප්‍රධාන වාහල්කඩ දොරටුව ළඟට ආවා. අපේ මාමා ඇත්තු දෙන්නගෙම හොඬවැල් දෙක අල්ලලා දියවඩන නිලමෙතුමාගෙ අත් උඩ ඒ හොඬවැල් දෙක තැබුවා. ඇතුන්ගෙ හොඬවැල් මත රන් කෙණ්‌ඩියෙන් වතුර වක්‌කර පූජා කළා. ඒ මොහොතේ රැස්‌ව සිටි මිනිස්‌සු සාධුකාර දුන්නා. රාජා ඒ වෙලාවෙ කුඤ්චනාද කළා. මාම්පිටිය දිසාවගේ පමණක්‌ නෙවේ දියවඩන නිලමෙතුමා ඇතුළු හැමෝගෙම ඇස්‌වලින් කඳුළු වැටුණා.”

අතිශය සංවේදී වූ මේ සිදුවීම බෙහෙවින්ම ප්‍රකට කරුණකි.

ගිරාගම වලව්ව හැර ශ්‍රී දළදා මාලිගයට මෙලෙස පැමිණි ‘රාජා’ සහ ‘කන්දා’ එදා සිටම වාර්ෂිකව ඇසළ පෙරහැරේ ගමන් කළහ. මේ වකවානුව වන විට පෙරහැර කරඬුව වැඩම කරවීමේ කාර්යය ඉටුකළේ පෙර සඳහන් කළ ‘මහා රාජා’ හෙවත් ‘දත්කොටා’ නමැති හස්‌තියාය. ‘රාජා’ ටත් ‘කන්දා’ටත් දළදා කරඬුව වැඩම කරවීමේ අවස්‌ථාව මුල් කාලයේ උදාවූයේ නැත.

මහනුවර ඇසළ පෙරහැර ඉතිහාසයේ අමරණීය සිහිවටනයක්‌ වූ ‘රාජා’ ඇතා පළමු වතාවට දළදා කරඬුව වැඩම කළේ කිනම් කාලසීමාවක සිටද යන්න නිශ්චය කර ගැනීම තරමක්‌ දුෂ්කරය.

මේ පැනයට පිළිතුරු සොයනු වස්‌ වෙහෙසුණු පෙර කී ‘කල්පනා’ සඟරාවේ ලේඛක මඬුල්ල එවක අස්‌ගිරි පාර්ශ්වය වෙනුවෙන් වසර ගණනාවක්‌ දළදා මාලිගයේ සේවාවන්හි යෙදුණු ‘මාලිගාවේ හාමුදුරුවෝ’ ලෙසින් ප්‍රකට අපවත් වී වදාළ පූජ්‍ය උඩුවාවිල චන්දානන්ද ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ විමසා තිබේ. උන්වහන්සේ එවක මල්වතු පාර්ශ්වයේ ගෞරවනීය, මහානායක මාහිමිපාණන් වහන්සේ වෙත යොමුකර ඇති අතර උන්වහන්සේගේ පිළිතුර වී ඇත්තේ මතකය පරිදි එක්‌දහස්‌ නවසිය හතළිස්‌ ගණන්වල බවයි. වයස අවුරුදු දහයේ පටන්ම ඇසළ පෙරහැරට සම්බන්ධ කලා ශිල්පියකු වූ දවුල් වාදනයේ කෘතහස්‌ත හිරිපිනා ඉහළවෙල මහත්මා විමසූ එකී කණ්‌ඩායමට නිශ්චිත පිළිතුරක්‌ ලැබී නැත.

ඇසළ පෙරහැරට සම්බන්ධ සුවිශේෂී කලා ශිල්පී පරපුරක්‌ වන මාලගම්මන පරපුරෙහි සයිමන් මාලගම්මන මහත්මා වෘත්තියෙන් නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයෙහි නර්තන ගුරු භවතාය. ‘කල්පනා’ කණ්‌ඩායම හමුවේ ඔහු මෙසේ පවසා තිබේ.

“මට හොඳට මතකයි ‘රාජා’ ගැන. 1953 ට කලින් ගියත් කරඬුව වැඩම කළේ ඉඩම්පිsටියෙ ඇතායි. ‘රාජා’ පළමු වතාවට බැන්දෙ, ඒ කියන්නෙ රන්සිවි ගෙය ඔහු පිට උඩ බැන්දෙ 1953 දීයි. ඒ කාලෙ දියවඩන නිලමෙතුමා හැටියට හිටියෙ සී. බී. නුගවෙල නිලමේතුමායි. මට ඒක හොඳට මතක තියෙන්නෙ ඒ කාලෙ තවත් සිද්ධියක්‌ වුණා. රාජා කරඬුව වඩමවන්ට පටන්ගෙන අවුරුදු දෙකකට පමණ පස්‌සේ ඔව්, 1955 පෙරහැරේදී රාජා කරඬුව වැඩමවාගෙන පෙරහැරේ යන ගමන් කුවීන්ස්‌ හෝටලේ ළඟට ආවා විතරයි එහෙමම නැවතුණා. හැලහෙල්ලුමක්‌ නෑ. ඇත්ගොව්වො දන්නා දේ කළා. නමුත් රාජා නොවෙයි හෙල්ලන්නෙ, පෙරහැර දැන් නැවතිලා. පස්‌සෙ පිටුපසින් පෙරහැරේ ගමන් කළ නුගවෙල දියවඩන නිලමෙතුමාට ගිහින් කීවා. එතුමා ඇවිත් ඇතාට කතා කළා. ඇතා ගොරවලා බලා සිටියා. දියවඩන නිලමේතුමා කිව්වා ඇත්ගොව්වන්ට රන්සිවිගේ බැඳලතා තියෙන පටි බලන්න කියා. බැලින්නම් මොකද වෙලා තියෙන්නෙ? බඳ පටිය කැඩිලා, තව අඩියක්‌ ගියා නම් රන්සිවිගේයි, කරඬුවයි. ඔක්‌කෝම බිම ඔන්න ඔය සිද්ධිය නිසා මට ඒක හොඳට මතකයි.”

කෙසේ වෙතත් ‘රාජා’ ඇසළ පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ කාර්යය අරඹා ඇත්තේ විසිවන සියවසේ මැද භාගයේදී පමණ බැව් මේ තොරතුරු අනුව අනුමාන කළ හැකිය.

පසඟතුරු ගොස, ගජගා වන්නම, අඩව්, කස්‌තිරම් මධ්‍යයේ මහනුවර නගරයේ වීදි සරන ඇසල පෙරහැරේ සිටි විසිතුරු නරඹනු වස්‌ සැදී පැහැදී සිටිනා දෙස්‌ විදෙස්‌ නෙක දනන් සාධුකාර දෙමින් හුනස්‌සෙන් නැගී සිටිනුයේ පෙරහැරේ උත්තම අංගය වන සධාතුක කරඬුව වැඩම කරවන මංගල හස්‌තිරාජයා තමන් ඉදිරියෙන් තේජාන්විත ලීලාවෙන් ගමන් ගන්නා කල්හිය. ඒ උතුම් වරම රාජා හස්‌තියාට ලැබුණ ද අන් සෑම ඇතෙකුටම හිමි නොවන්නකි. සධාතුක කරඬුව වැඩමවීම පිණිස සුදුසුකම් ලැබීමට ඇතකු සතුව පිහිටිය යුතු මංගල කරුණු ගණනාවක්‌ වේ. එය ශ්‍රී දළදා මැඳුරේ ධාතු   කරඬුව වැඩම කරවන සෑම හස්‌තියකුටම පාහේ පොදු වූ කරුණකි.

පෞරාණික හස්‌ති ශිල්පයට අනුව සධාතුක කරඬුව වැඩම කරවන මංගල හස්‌තියකු තුළින් විද්‍යමාන විය යුතු ලක්‍ෂණ අතර සතර පා, සොඬය, වලිගය හා ලිංගය යන සප්ත ස්‌ථානය පොළවට ස්‌පර්ශ විය යුතුය. පිටෙහි කොඳු නාරටිය සමතලා වීම මෙන්ම අභිමානවත් ලෙස හිස ඔසවා ගමන් කිරීම අවශ්‍ය වේ. මේ සියලු ලක්‍ෂණ කුඩා කල සිටම ‘රාජා’ වෙතින් ප්‍රදර්ශනය විය. බොහෝ ඇතුන් අතර දක්‌නට නොලැබෙන ලක්‍ෂණයක්‌ වූ දකුණු දළයට වඩා වම් දළය මඳක්‌ උස්‌ව පිහිටීම නිසාත් ‘රාජා’ හස්‌තියා මංගල ලකුණින් පිරිපුන් විය. එබැවින් ශ්‍රී දළදා මාලිගයේ ඇසළ පෙරහැර වංශ කතාවේ ‘රාජා’ හස්‌තියා සලකුණු කරනුයේ අද්විතීය ස්‌ථානයකි.

1984 සැප්තැම්බර් ‘කල්පනා’ සඟරාවෙහි පළ වූ රොහාන් පියදාස මහත්මා වන සත්ත්ව සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ, එමෙන්ම ‘රාජා’ හස්‌තියාට වෛද්‍ය ප්‍රතිකාර කිරීමෙහිලා පුරෝගාමී වූ වෛද්‍ය ෂෙල්ටන් අතපත්තු මහතා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී එතුමන් පවසනුයේ ලංකාවේ තිබෙන ඇත් කුල ගණනාව අතරින් උසස්‌ම කුලය වන ‘කුමරිය’ නමැති කුලයට ‘රාජා’ අයත් වන බවයි.

සධාතුක කරඬුව සහිත රන්සිවිගෙය පිට මත හොවාගෙන පෙරහැරට එක්‌වන ‘රාජා’ ගේ ගමන් ලතාව ඉතා ගාම්භීර ය. අලංකාරය. එලෙස ගමන් කිරීමට අන් කුලවල ඇතුනට නොහැකි බව කියෑවේ. බාහිර අංග ලක්‍ෂණ මෙපරිදි වුවද, ‘රාජා’ සතුව පැවති වැදගත්ම ගුණාංගය තීක්‍ෂණ බුද්ධියකින් හෙබි සත්ත්වයකු වීමයි. ස්‌වකීය ජීවන ගමනේ ඇතැම් අවස්‌ථාවල ‘රාජා’ බුද්ධිමත් භාවයෙන් කළ කටයුතු පුදුම එළවන සුළුය. සමහර සිදුවීම් අදත් මහනුවර ජනතාව සිහිපත් කරනුයේ මහත් අභිමානයෙනි.

සධාතුක කරඬුව වැඩම කරවමින් ‘රාජා’ ඇසළ පෙරහැරේ රන්දොaලි පෙරහැරවල ගමන් කළේ විශේෂ පාවාඩයක්‌ මතිනි. මේ පාවාඩය එලනු ලබන්නේ ‘රාජා’ ට ඉදිරියෙන් ගමන් ගන්නා පුද්ගලයන් කිහිපදෙනෙකි. අප කුඩා කල නිරීක්‍ෂණය කළ ලක්‍ෂණයක්‌ වන්නේ පාවාඩය කෙළවරට පැමිණි ‘රාජා’ ඊළඟ පාවාඩය එලනතුරු අඩිය අඟලකු දු ඉදිරියට නොතබා බලා සිටීමයි. ඇතැම් විට ඔසවන ලද අඩිය පාවාඩය එහාට මෙහාට වුවහොත් බිම නොතබන අවස්‌ථා ද වේ. එය හරිහැටි එලනතුරු බලා සිටී. එපමණක්‌ නොව, පාවාඩය එලා අදින කල්හි එය ඈතට ඇදී යැම වළකාලනු වස්‌ සොඬයට තබා තද කර පාවාඩ එලන පුද්ගලයිනට සහාය වන අවස්‌ථා එවක පෙරහැරේ සුලභ දසුනක්‌ විය.

ඇසළ පෙරහැර වීදි සංචාරය කිරීම අවසන් වනුයේ දහවල් පෙරහැර ශ්‍රී දළදා මාලිගයට ගෙවැදීමත් සමඟය. දහවල් පෙරහැර නිමවීමෙන් පසු සධාතුක කරඬුව වැඩම කරවන රන්සිවිගෙය අවසන් වරට ‘රාජා’ ගේ පිට මතින් ඉවත් කරනු ලබන අවස්‌ථාවේදී ඔහුගේ දැසින් කඳුළු බිඳු රූරා හැලෙන අයුරු බොහෝ අය දැක තිබේ.

එක්‌තරා අවස්‌ථාවක ‘රාජා’ කටුගස්‌තොට අලි නාවන ස්‌ථානයේදී කුලප්පු වී දඟලමින් පැය ගණනාවක්‌ ජලයට බැස සිටි අතර කිසිවෙකුටත් ඒ අසලට පැමිණීමට ඉඩ දී නොමැත. සවස්‌ කාලය වන විට ඇතා ගස්‌ බඳින ‘ඇත් පංතිය’ වෙත යැමට පැමිණ තිබේ. මේ අවස්‌ථාවේ පොලිසිය ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගි කරගනිමින් ජනතාවට මහා මාර්ගයෙන් වහා ඉවත් වන ලෙස දැනුම් දෙමින් ඇතා යන මඟ ඇතාට ඉදිරියෙන් ගමන් කර ඇත. ඒ මොහොතේ ඇවිදගත නොහැකි රෝගී පුද්ගලයෙක්‌ තම අත් දෙක උපයෝගි කරගනිමින් මහමඟ ඇවිද යමින් සිට ඇති අතර පොලිස්‌ නිවේදනය කණ වැකුණු පසු මෙම පුද්ගලයා දැත් එකතු කර වැඳ වැටෙමින් ‘අනේ අප්පා, මට මොකවත් කරන්න එපා. මම අහිංසකයා’ යෑයි කියමින් කෑගසා තිබේ. කලබලයෙන් පැමිණි ‘රාජා’ හොඬවැලෙන් රෝගියා ඔසවා මහමඟ අසල කණ්‌ඩියක්‌ මත තබා යන්නට ගිය බව කියෑවේ.

1959 වර්ෂයේ පැවති ඇසළ පෙරහැර එවක මුද්‍රිත හා විද්යුත් මාධ්‍යවලට පුවත් මවන්නක්‌ විය. ඒ එදා සිදු වූ අලි කුලප්පුව නිසාවෙනි. අලි කුලප්පුව හේතුවෙන් පෙරහැර සම්පූර්ණයෙන් නැවතිණ. පෙරහැරේ ගමන් කළ අය සහ පෙරහැර නරඹමින් සිටි අය හිස්‌ ලූ ලූ අත දිව ගියහ. ‘රාජා’ හස්‌තියා මේ අවස්‌ථාවේ එදා පොරෝලිස්‌ ප්‍රනාන්දු ආයතනය, අද බේක්‌හවුස්‌ ආයතනය හා එදා ඊස්‌ට්‌ චයිනා රෙස්‌ටුරන්ට්‌, අද ශ්‍රී රම්‍යා හෝටලෙය අතර වූ ගසක බැඳ තැබිණ. ඉතා විශාල කලබැගෑනියක්‌ සිදුවුවද කිසිවක්‌ සිදු නොවූ ලෙසට ‘රාජා’ ඇතා නිසොල්මනේ සිට ඇත්තේ තම භාරදූර වගකීම වන සධාතුක කරඬුව ආරක්‍ෂා කිරීමේ කාර්යය මැනැවින් ඉටුකරමිනි.

‘රාජා’ හස්‌තියා ස්‌වකීය බුද්ධි මහිමය ප්‍රකට කරමින් ක්‍රියා කළ අමරණීය සිද්ධි බොහොමයක්‌ වාර්තා වෙතත් මේ එබඳු සිදුවීම් අතරින් කිහිපයක්‌ පමණි. සුවිශේෂී වූත්, සදානුස්‌මරණීය වූත් සිහිවටන අතරින් ස්‌වකීය ජීවන මඟ ගෙවමින් පැමිණි ‘රාජා’ 1980 දශකය අග භාගයට පැමිණෙමින්ම දුර්වල ලක්‍ෂණ පෙන්නුම් කරන්නට විය.

1986 වර්ෂය පමණ වන විට ‘රාජා’ රෝගාතුර විය. ක්‍රම ක්‍රමයෙන් බෙලහීන තත්ත්වයට පත්වන ඇතා ඉන් මුදාගන්නට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම පිණිස එවකට පැවති රජයේ පූර්ණ අනුග්‍රහය ලැබිණි. ඇසළ පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරමින් අඩ සියවසරකට ආසන්න කාලයක්‌ ‘රාජා’ සිදුකරන ලද උදාර මෙහෙවර ඇගයීමට ලක්‌කිරීමක්‌ වශයෙන් 1986 අගෝස්‌තු මස 20 වැනි දින මහනුවර ජනාධිපති මන්දිරයෙහිදී එවක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ජූනියස්‌ රිචඩ් ජයවර්ධන මහතා ‘රාජා’ ‘ජාතික වස්‌තුවක්‌’ ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. මෙවන් සම්මානයකින් සම්මානිත, ආසියාවේ ප්‍රථම හස්‌තියාත් ලෝකයේ දෙවන හස්‌තියාත් ‘රාජා’ හස්‌තියා ය. ලෝකයේ ‘ජාතික වස්‌තුවක්‌’ බවට පත් වූ ප්‍රථම හස්‌තියා කෙන්යාවේ ‘අහමඩ්’ නමැති හස්‌තියා බව වාර්තාගත වේ. කෙන්යා ජනාධිපති ජෝමෝ මහතා මෙම නම් කිරීම කරන ලදී.

වරින්වර අසනීප ගති ලක්‍ෂණ පෙන්නුම් කළ ‘රාජා’ 1987 ජනවාරි මස පළමුවැනි දින සිදු වූ රිය අනතුර කරනකොටගෙන ද පාද අප්‍රාණික වන්නට පටන් ගත්තෙන් තත්ත්වය එන්න එන්නම වර්ධනය විය.

මේ කාලය වන විට දියවඩන නිලමේ තනතුර හොබවන ලද නෙරන්ජන් ප්‍රියදර්ශන ලොකුබණ්‌ඩා දුල්ලෑව විජයරත්න මහතා තම යුතුකම නොපිරිහෙලා ඉටුකරමින් ‘රාජා’ ට සාත්තු සප්පායම් කිරීමට පියවර ගත්තේය. වෛද්‍ය ප්‍රතිකාර නොඅඩුව ලබාදෙමින් දිය නෑමට විශේෂ තටාකයක්‌ සකසා දී පා වාරුවෙන් සිටගත නොහැකි අවස්‌ථාවල දැව ආධාරක ඉදිකර පහසුවෙන් සිට ගැනීමට උදව් උපකාර කිරීම, සෙත් පිරිත් සඡ්Cධායනා මගින් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනය ආදී නොයෙක්‌ ක්‍රියාමාර්ග අනුගමනය කළේ ස්‌වකීය නිල නිවාස භූමියේම ‘රාජා’ ඇතා නවතා තබා ගනිමිනි. ජීවිතයේ සැඳෑ සමයේ මෙවන් ඇප උපකාර මධ්‍යයේ කල් ගෙවූ ‘රාජා’ හස්‌තියාට ද ලොව සියලු සත්වගට පොදු සනාතන දහමට මුහුණදීමට සිදුවිය.

ඝන වනාන්තරයේ ඇත් රැලක ජන්ම ලාභය ලැබුවද, මිනිස්‌ ඇසුරේ කල් ගෙවමින් කිසිම දිනෙක, කිසිම මිනිසකුට සිදුකළ නොහැකි උතුම් සම්බුද්ධ පූජාවක යෙදුණු පින්බර ‘රාජා’ හස්‌තියා 1988 ජුලි මස 16 වැනි දින පෙරවරු 10.16 ට මෙලොව හැර ගියේය. ඇසළ මාසයේම එක්‌තරා දිනෙක ශ්‍රී දළදා මාලිගයට පූජා කෙරුණු ‘රාජා’ හස්‌තියා ඇසළ මාසයේම එක්‌තරා දිනයකදී අභාවයට පත්වීමත් දෛවෝපගත සිදුවීමකි.

‘රාජා’ මියගිය පුවත සැල වූ සැනින් ජනතාව ලක්‍ෂ ගණනින් වැල නොකැඩී පැමිණ එවක රට පුරා පැතිරී තිබුණු භීෂණ වාතාවරණය තුළ වුවද අවසන් ගෞරවය පිරිනමන්නට යුහුසුළු වූයේ කෘතවේදී උත්තරීතර මිනිසත් ගුණ ප්‍රදර්ශනය කරමිනි.

‘රාජා’ හස්‌තියා වෙනුවෙන් ගරුතර මහා සංඝරත්නය ආගමික වතාවත් ඉටුකරලීමෙන් අනතුරුව නවීන තාක්‍ෂණික ක්‍රමෝපායයන් භාවිත කරමින් ඇත් සිරුරේ කල් පවතින සියලු කොටස්‌ ක්‍රමවත් ලෙස ඉවත්කර දේහය ගෞරවාන්විතව මිහිදන් කර ස්‌මාරකයක්‌ ද තැනවීමට දියවඩන නිලමෙතුමා ක්‍රියා කළේය.

ඇතා අභාවයට පත්ව වසරක්‌ ගෙවුණු තැන රජයේ සහ කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ද අනුග්‍රහය මත ‘රාජා’ ජීවමාන ස්‌වරූපයෙන් ප්‍රතිනිර්මාණය කිරීමට පියවර ගන්නා ලදී. ශ්‍රී දළදා මාලිගයත් පැරණි රජ මාලිගයත් අතර විශේෂ ගොඩනැඟිල්ලක්‌ සකසා ‘රාජා’ හස්‌තියාගේ ජීවමාන ප්‍රතිනිර්මාණය එහි තැන්පත් කෙරිණි. ඇතා ජීවමානව සිටි කාලයේ භාවිත කරන ලද ඇත් සැට්‌ට, පළඳනා, මෙවලම් ආදිය ද එහි තැන්පත් කළ අතර ‘රාජා’ ශ්‍රී දළදා මාලිගයට පූජා කළ ඔප්පුවේ පිටපත, ජීවිත ගමනේ විවිධ අවස්‌ථා දැක්‌වෙන ඡායාරූප බොහෝ සංඛ්‍යාවක්‌ ද ප්‍රදර්ශන භාණ්‌ඩ වශයෙන් තැන්පත් කිරීමට පියවර ගැනිණි. සකලාංගයන්ගෙන් සම්පූර්ණ වූ මෙම විශේෂ ප්‍රදර්ශනාගාරය 1989 දෙසැම්බර් මස 12 වැනි දින එවක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලදී.

මෙදින තවත් සුවිශේෂී සිදුවීමක්‌ ද සිදුවිණි. එනම් ‘රාජා’ හස්‌තියාගේ උදාරතර ආගමික මෙහෙවර වෙනුවෙන් පිදෙන උපහාරයක්‌ වශයෙන් ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය නිවේදන අංක 182 යටතේ ශත හැත්තෑපහක වටිනාකමින් යුත් “ශ්‍රී දළදා මාලිගාවේ රාජා හස්‌තියා” යන මැයෙන් සමරු මුද්දරයක්‌ නිකුත් කිරීමට පියවර ගත්තේය. මියගිය හස්‌තියකු වෙනුවෙන් ආසියාවේ ප්‍රථම වතාවට නිකුත් වූ මුද්දරයක්‌ වශයෙන් මෙම මුද්දරය විශේෂත්වයක්‌ ගනී.

‘රාජා’ හස්‌තියා අභාවයට පත්වීමෙන් පසු මහනුවර ඇසළ පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ උතුම් කර්තව්‍යයට දායක වූ ඇත්තු කිහිපදෙනෙක්‌ වෙති. අභාවයට පත් ‘හෙයියන්තුඩුවේ ඇතා’ කතරගම ‘වාසනා’ හස්‌තියා 2011 අගෝස්‌තු මස 03 වැනි දින අභාවයට පත් ආසියාවේ දිගම දළ යුවලට හිමිකම් කී ‘මිල්ලන්ගොඩ ඇතා’ ශ්‍රී දළදා මාලිගයට ඉන්දියාවෙන් පිරිනැමුණු ‘ඉන්දිරාජා’ ඇතා යනාදී ඇත්තු ඒ අතර වෙති. වර්තමානයේ එම උදාරතර සත්කාර්ය ඉටුකරනු ලබන්නේ ‘නැදුන්ගමුවේ ඇතා’ ය. එම ඇතා ගම්පහ හර්ෂ ධර්මවිජය මහතාට අයත් සත්ත්වයෙකි.

ශ්‍රී ලාංකේය සංස්‌කෘතික අනන්‍යතාවය ලොවට ප්‍රකට කරවන මහනුවර ඇසළ පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කර ලොව පුරා බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට ලක්‌ වූ ‘රාජා’ හස්‌තියා මියගොස්‌ පුරා වසර විසිපහක්‌ ගෙවුණද අදටත් ඒ අඩුව අඩුවක්‌ මැයි. ඇත් කුලයක උපන්න ද ඇතැම් මිනිසුනටත් වඩා උත්තරීතර ගුණාංගයන්ගෙන් යුත් ‘රාජා’ හස්‌තියා උතුම් වූ බුද්ධ පූජාවක යෙදීමෙන් ජනිත කරගත් පුණ්‍ය මහිමයෙන් අජරාමර නිවන් සුව අත්කර ගනීවා· යි ප්‍රාර්ථනය කරමින් එම හස්‌තියාට කෘතෝපහාරයක්‌ වශයෙන් මේ සමරු සටහන තබමි.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close