අණ නොතකා පලා යද්දී පොලිසියට වෙඩි තැබිය නොහැකියි

අණ නොතකා පලා යන නිරායුධ පුද්ගලයෙකුට වෙඩි තැබීම සඳහා පොලිසියට කිසිදු බලයක් නොමැති බව නීතිවේදී ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා.

බී බී සී ගුවන් විදුලියට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ  අණ නොතකා පලා යන්නේ නම් අවම බලයක් යොදා අත්අඩංගුවට ගන්නා ආකාරය හෝ යටත් කර ගන්නා ආකාරය 1979 අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 23 වගන්තියේ 2 සහ 3 යන උප වගන්තිවල පැහැදිලි ලෙස දක්වා ඇති බවයි.

ඉන් ඔබ්බට ගොස් පොලිසිය සිය බලය යොදන්නේ නම් එය බලය අතික්‍රමණය කිරීමක් ලෙස හැඳින්විය හැකි බව ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා කියා සිටියා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයකු වන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මේ බව කියා සිටියේ, අණ නොතකා යතුරුපැදියක් ධාවනය කිරීම යාපනයේ සරසවි සිසුන් දෙදෙනාගේ මරණයට හේතු වී ඇති බවට පළ වන වාර්තා පිළිබඳ අදහස් දක්වමින් .

“කෙනෙක් අණ නොතකා පලා යනව නම් ඒ අය සාමාන්‍ය‍ය ජනතාව, එවැනි අය ළඟ අවි ආයුධ නැහැ. පොලිසිය ළඟ අවි ආයුධ තියෙනවා. මෝටර් රථ, දුරකථන තිබෙනවා. ඉතින් කෙනෙක් අණ නොතකා පලා යනව නම් ඒ අය ලුහුබැඳ යන්න පුළුවන්.”

“යම් කිසි අයකු අණ නොතකා රිය ධාවනය කරන්නේ නම් එය මෝටර් රථ ආඥා පනත උල්ලංඝනය කිරීමක්. මාර්ග නීති කඩ කිරීමක්. ඒ අය මිනී මරලා නැහැ.”

එවැනි පුද්ගලයකු ලුහුබැඳ ගොස් මෙල්ල කර ගැනීමට පොලිසිය කටයුතු කළ යුතුයි.  එසේ නොහැකි නම් පමණක් අවම බලය යෙදිය යුතුයි.

එහිදී යම් කිසි අයකු වෙඩි තබන්නේ නම් සිය ආත්මාරක්ෂාවේ අයිතිය භාවිතා කොට පොලිසියට එවැනි පුද්ගලයකු යටත් කළ හැකි නමුත් ඔහුගේ මරණය සිදු කිරීමට කිසිදු බලයක් නොමැති බව ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා කියා සිටියා.

මෙවැනි තත්වයන් උතුරෙන් පමණක් නොව පස්යාල සිද්ධිය සහ රොෂේන් චාමිකර සිද්ධිය ඇතුළු සිදුවීම් ගණනාවක් හරහා දකුණේ දැකගත හැකි බවයි ඔහු කියා සිටියේ.

මෙවැනි තත්වයන් මග හරවා ගැනීම සඳහා පොලිස් කොමිසම ක්‍රියාශීලී මැදිහත් වීමක් සිදු කළ යුතු බවද නීතිවේදී ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා  අවධාරණය කළා. (Sandeshaya)

ඔබගේ අදහස අපට කියන්න

Close