පොලිස් මූළ්‍ය අපරාධ කොට්ඨාශය නීත්‍යානුකූලයි / අධිකරණය කියයි

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යනුකූල ලෙස ස්ථාපනය කරන ලද ආයතනයක් බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රකාශ කළා.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සරත් වීරවංශ මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ  ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමිනුයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත්කළේ.

හිටපු ඇමති විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ පසුගිය පාලන සමයේ රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ චෝදනා ලබා සිටිනවා.

චූදිත සරත් වීරවංශ මහතා වෙනුවෙන් ඇප ඉල්ලා සිටි ඔහුගේ නීතිවේදියා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ආරක්ෂක ලේකම්වරයා විසින් ස්ථාපිත කරන ලද පොලිස් ඒකකයක් නොවන බවට තර්ක කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගනිමින් පරීක්ෂණ මෙහෙයවීමට අදාළ පොලිස් ඒකකයට නීත්‍යනුකූල බලයක් නොමැති  බව අධිකරණය හමුවේ සදහන් කළා.

එම තත්වය සුවිශේෂ කරුණක් ලෙස සලකමින් සිය සේවාදායකයාට ඇප නියම කරන ලෙසයි සරත් වීරවංශ මහතාගේ නීතීඥවරුන් සදහන් කළේ.

එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න කියා සිටියේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පොලිස් ආඥා පනත යටතේ ස්ථාපිත කළ නීත්‍යනුකූල ආයතනයක් බවයි.

එම පොලිස් ඒකකයට සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට සහ පරීක්ෂණ මෙහෙයවීමට බලය පවතින බව සදහන් කළ  මහේස්ත්‍රාත්වරිය සැකකාර සරත් වීරවංශ මහතා ලබන මස හත් වෙනි දිනතෙක් තව දුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close