රටවල් 164 කට ගිය ලංකාවේ කොලොම්බස්

ලෝකය මේ මට්ටමට පුළුල් කිරීමට දේශ ගවේෂකයන් ඉටුකළේ අමිල මෙහෙයකි. ඇමෙරිකාව සොයාගත් ක්‍රිස්ටෝපර් කොලම්බස්, ඕස්ට්‍රේලියාව සොයාගත් කැප්ටන් කුක් එවැනි වීර චරිතයන්ය. මුහුදු කොල්ලකරුවන්, ප්‍රචණ්ඩ රළ, ගෝත්‍රික ජනයාගේ තර්ජන මැද නව ලොවක් සොයා ගිය දේශ ගවේෂකයන්ගේ පුවත් අද නෑසෙන තරම්ය. එහෙත් ලෝකයේ පිළිගත් රටවල් 195න් 164ක සංචාරය කර ඉතිරි රටවල් කිහිපයටද ඉක්මනින් සංචාරය කිරීමට බලා‍පොරොත්තුවෙන් සිටිනා අපූරු දේශගවේෂකයෙකු පිළිබඳ අපට වෙන්නප්පුව ප්‍රදේශයෙන් වාර්තා විය. මේ අපේ කා‍ලේ ක්‍රිස්ටෝපර් කොලම්බස් බඳු වෙන්නප්පුවේ ක්‍රිස්ටෝපර් දාබරේරාගේ කතාවයි.

ලෝවටා රට රටවල්වල සංචාරය කිරීම බොහෝ දෙනෙකුගේ සිහිනයකි. එහෙත් ඒ සිහිනය සැබෑකර ගැනීම එතරම් පහසු නොවන්නේ මන්දයත් ජාත්‍යන්තර සංචාරකයෙකු වීම මිල අධික කටයුත්තක් වන බැවිනි. ලෝකයේ රටවල් 164කට ගිය අපූරු ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ උනන්දුව දනවන පුවතක් පසුගිය සතියේ අපට දැනගන්නට ලැබුණි. රටවල් 164ක සංචාරය කිරීම එපමණක් නොව වලංගු ගමන් බලපත්‍ර ලබාගැනීම පිළිබඳ ඔහු වාර්තා තබා ඇති අයෙකි. ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් මේ වනවිට වැඩිම ගුවන් ගමන් බලපත්‍ර ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේද ඔහුය. ඒ ගණනින් ගුවන් බලපත්‍ර 26කි. ඔහු නමින් ක්‍රිස්ටෝපර් දාබරේරාය.
1962 වසරේ වෙන්නප්පුවට නුදුරු කම්මල ගමේ උපත ලද ක්‍රිස්ටෝපර් රැකියාවක් සඳහා ස්විට්සර්ලන්තයට ගියේ 1982 වසරේදීය. එහි කලක් රැකියාව කරමින් සිටිනා ඔහුට දේශගවේෂණය පිළිබඳ ඇල්මක් ඇතිවෙන්නේ 1990 දශකයේදීය. ස්විට්සර්ලන්තයට ගොස් රැකියාව කරමින් සුවපහසු ජීවිතයක් ගතකරමින් සිට පසුව සංචාරකයෙකු ලෙස ලොව වටා ගමන් කළ ක්‍රිස්ටෝපර්ගේ අත්දැකීම් විරල තරමටම රසවත්ය. එහෙත් ඒ රසවත් අත්දැකීම් ගැන කතා කිරීමට පෙර ඔහු තම ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූ එක් කනගාටුදායක සිදුවීමක් මුලින් සිහිකරයි.
අපේ පවු‍ලේ සහෝදර සහෝදරියන් හත්දෙනයි. පුංචි කාලෙම තාත්තා නැතිවුණා. ඊට පස්සේ පවු‍ලේ බර කරට ගන්න වුණේ අයියට. ඒත් හදිසියේම අයියත් අපට නැතිවුණා. ඊට පස්සේ අක්කලා හතර දෙනයි, නංගිවයි මට තමා බලාගන්න සිද්ධ වුණේ. ඒ කාලෙදි අපේ අම්මා හදිසියේම පිළිකා රෝගයට ගොදුරු වුණා. අම්මා හිටියේ මහරගම පිළිකා රෝහ‍ලේ. ඒ 1982 අවුරුද්ද. හදිසියේම ඉස්පිරිතාලෙන් පණිවුඩයක් ආවා ‘අම්මා නැතිවුණා’ කියලා. මට මිනිය භාරගන්න මහරගමට එන්න කිව්වා. ඒත් එදා මහරගම යන්න බස් එකට ඕනවුණේ රුපියල් 10ක් වගේ සුළු මුදලක්. ඒත් ඒක තිබුණේ නැහැ. මම ඒ රුපියල් 10 හොයා ගත්තේ ගමේ හිටිය ධනවත් පුද්ගලයන්ට නොවඳිනා වැඳුම් වැඳලා. එදා ඉස්පිරිතාලෙට ගිහින් අම්මාගේ අවසන් කටයුතු කළේ හිඟා කාලා. එතැනින් එහාට මම කරන්න ඕන මොකක්ද කියලා මට හිතාගන්න බැරි වුණා. පවු‍ලේ ඉතුරු වුණ එකම පිරිමියා විදියට මට සහෝදරියෝ පස්දෙනෙකුගේ වගකීම් පැවරිලා තිබුණා. දවසක් මම වැල්ලට වෙලා ඉඳගෙන ඔහේ මුහුද දිහා බලාගෙන හිටියා. මටත් නොදැනිම මට ඇඬුණා. ඒ මටත් වඩා මගේ සහෝදරියන් ගැන මතක් වෙලා. ඒ වෙලාවේ එතැනට ආවා සුදු මහත්තයෙක්. ඒ මගේ ජීවිතේ වෙනස් කරන්න සමත්වෙයි කියලා මට නිකමටවත් හිතුණේ නැහැ.

ක්‍රිස්ටෝපර්ගේ ජීවිතය වෙනස් කළ ඒ පුද්ගලයා වූයේ ස්විට්සර්ලන්ත ජාතික රිකාඩෝ බේල් විලාය. ජීවිතේ නොසිතූ මොහොතක මුහුණදීමට සිදුවූ කටුක අත්දැකීම්වලින් පීඩාවට පත්ව සිටි ක්‍රිස්ටෝපර් හට පිහිටවීමට රිකාඩෝ බේල්විලා ‍පොරොන්දු වූයේය. ක්‍රිස්ටෝපර් හට ස්විට්සර්ලන්තයේ රැකියාවක් දෙන්නට ඔහු කැමැත්ත පළ කළේය. ඊට එකඟවීමට දෙවරක් සිතන්නට දෙයක් ක්‍රිස්ටෝපර්ට නොවීය. බේල්විලා දුන් ‍පොරොන්දුව සැබෑ වන්නට ගතවූයේ කෙටිකලකි.
දවසක් ලියුමක් ආවා. ඒ අනුව ඉක්මනින් මම පාස්‍පෝර්ට් එක හදලා රට යන්න සූදානම් වුණා. ඇස්වහක් කටවහක් නැතිව හැමදේම සාර්ථක වුණා. හරියටම 1983 අප්‍රේල් 13 වෙනිදා මම ජීවිතේ පළවෙනි වතාවට කටුනායක ගුවන්තොටු‍පොළට ආවා. ඒ තමා මගේ පළමු ගුවන් ගමන. ක්‍රිස්ටෝපර් ඔහුගේ පළමු ගුවන් ගමන සිහිකළේ අතිශය සංවේදී අයුරින්ය. ඔහුගේ ඉරියව්වලින් අපට දිස්වූයේ තවමත් ඔහු ඒ අතීත මතකයන් තුළ ජීවත්වන අයුරුය.
කටුනායක ගුවන්තොටේ තවත්වා ඇති ගුවන්යානා වෙත මගීන් රැගෙන ආවේ බසයෙනි. කඩිමුඩියේ බසයෙන් බැසගත් ක්‍රිස්ටෝපර් ඔහුගේ කුඩා බෑගයත් රැගෙන ගුවන්යානය වෙත පිම්මේ දිවගියේ ලංකාවේ බස් රථයකට නගින්නට දිවයන පරිද්දෙනි. පිම්මේ දුවගොස් ගුවන්යානයට නැගුණ ක්‍රිස්ටෝපර් ගුවන් සේවිකාවක් නැවැත්වූවාය.
ඇයි මේ හතිදාගෙන දුවන්නේ? ඇය විමසුවාය.
බස් එක වගේ සෙනග පටවාගෙන ප්‍ලේන් එකත් ඉක්මනට යයි කියලා හිතුවා…
ක්‍රිස්ටෝපර් පැවසුවේ හති දමමින්ය.
එහෙම නැහැ. හැමෝම නැග්ගාම තමා යන්නේ. සන්සුන්ව ගිහින් ඉඳගන්න. ඇය කාරුණිකව උපදෙස් දුන්නාය. සන්සුන් බවකින් ඉඳගත්තද තරුණ ක්‍රිස්ටෝපර්ට සිතුණේ උඩ පනිමින් නටන්නටය. ඒ පළමු ගුවන්ගමනේ සතුට හොඳහැටි විඳින්නටය. එතෙක් ගුවන්යානයක හැසිරෙන ආකාරයක් තිබෙනා බව ඔහුට කෙටිකලකින් වටහාගත හැකිවිය.

රිකාඩෝගේ උදව්වෙන් ස්විට්සර්ලන්තයේ රැකියාවක් සොයාගන්නා ක්‍රිස්ටෝපර් වසර ගණනාවකට පසු පෙරලා ලංකාවට එන්නේ ඉතිරි කරගත් මුදලක්ද ඇතිවය. ඒ තමුන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරනා අදහසිනි. එලෙස ආරම්භ කළ ව්‍යාපාරය සිය සහෝදරියන්ට භාරදී ලොව වටා සංචාරය කරන්නට ක්‍රිස්ටෝපර් පිටත්වනුයේ 1990 වසරේදීය.
දේශාටන සංචාරයන් පිළිබඳ ක්‍රිස්ටෝපර් දරනුයේ මෙවැනි අදහසකි. ලෝකය වටා යනවා කියන්නේ එකම ගමනින්ම ලෝකේ වටේ යෑමයි. ඒ කියන්නේ ශ්‍රී ලංකාවෙන් පටන් අරගෙන මැදපෙරදිග රටවලට ගොස් එතැනින් යුරෝපයටත් එතැනින් අප්‍රිකාවටත්, ඇමෙරිකා මහාද්වීපයටත්, චීනය, ජපානය, කොරියාව ඇතුළු ආසියා රටවලටත්, ඕස්ට්‍රේලියාවටත් ගොස් සිංගප්පූරුව, බැංකොක් රටවලට පැමිණ නැවත ශ්‍රී ලංකාවටම පැමිණීමයි. මේ ආකාරයෙන් මම ලෝකය වටේ දෙවරක් ගිහින් තියෙනවා. ලෝකයේ සෑම මහද්වීපයක් වගේම, සෑම සාගරයක්ම දැකලා තියෙනවා.
අතීතයේ දිනෙක සිය මවගේ අවසන් කටයුතු කිරීමට මහරගමට යන්නට රුපියල් 10ක් අත නොතිබූ ක්‍රිස්ටෝපර් මේ වනවිට ලොව වටා රටවල් 164ක සංචාරය කර අවසන්ය. එලෙසම ඔහුගේ එකම අදිටන වනුයේ ලොව ඇති සියලු රටවල් වෙත යන්නටය.
මෙසේ ලොව වටා ගිය ක්‍රිස්ටෝපර් අවසාන වතාවට ගොස් ඇත්තේ ටැංසානියාවටය. ඉදිරියේදී සැම්බියාව, සිම්බාබ්වේ සහ නැම්බියාවට යන්න බලා‍පොරොත්තුවෙන් සිටින්නේය.
ඒ රටවල් හයට යන්න මට වීසා ගන්න ඉන්දියාවට යන්න වෙනවා. මොකද අපේ රටේ ඒ රටවල වීසා දෙන එම්බසි නැහැ. ඒ නිසා ඉන්දියාවට ගිහින් වීසා අරගෙන යනවා.
දේශ සංචාරයේදී තමුන් දුටු සුන්දරම රට කුමක්දැයි මා ඔහුගෙන් විමසා සිටියෙමි. ක්‍රිස්ටෝපර් පවසන්නේ නවසීලන්තය ඔහු මොලොව දුටු සුන්දරම රට බවයි.

ඇත්තටම නවසීලන්තය පුදුම විදිහේ ලස්සන රටක්. ඒ අතින් බැලුවාම මට ලංකාව ගැන දුකක් වගේම කලකිරිමක් තියෙන්නේ. අපේ රටට කිසිම අඩුපාඩුවක් නැහැ අනික් රටවල් එක්ක බලපුවාම. ඉතිං මම හිතන්නේ ඇයි ඒවායින් හරියටම ප්‍රයෝජන ගන්නේ නැත්තේ කියලා. ලෝකේ අනෙක් රටවල් දියුණුවේ හිණිපෙත්තටම ගමන් කරලා තියෙන්නේ මේ අපට තියෙන සම්පත්වලින් හතරෙන් දෙකක්වත් නැතිව.  ක්‍රිස්ටෝපර් කියන්නේ හැඟුම්බරවය.
ඒ අතරම ක්‍රිස්ටෝපර් ලොව වටා සංචාරයේදී මුහුණ දුන් සුන්දර සහ අසුන්දර මතකයන් සිහිකළේය.
වරක් ඔහු කැනඩාවට ගිය අවස්ථාවේදී ඔහුට මිතුරියක් හමුවී තිබුණේය. එහිදී ක්‍රිස්ටෝපර් සහ මිතුරිය තීරණය කරගෙන ඇත්තේ හෙලිකොප්ටර් සවාරියක් යන්නටය. එහෙත් පළමු දිනයේ ඔහුගේ මිතුරිය මහන්සි බව පවසමින් ගමන පසුදිනට කල්දමා තිබේ. දෙවැනි දිනද ඇයට වෙනත් ගමනක් යාමට ඇති බැවින් හෙලිකොප්ටර් සවාරිය කල් දැමිණ. තෙවැනි දින ඇයට එළියට යාමට හිතක් නැති බැවින් ක්‍රිස්ටෝපර්ට තනිවම යන ලෙස ඉල්ලා තිබේ. එහෙත් ඇය නැතිව යාමට නොහැකි බව පැවසූ ක්‍රිස්ටෝපර් ඇය සමග සවස වෙනත් ගමනක් ගොස් තිබේ. රාත්‍රියේදී ඔවුන් නැවත හෝටලයට පැමිණිවිට එහි සිටි හැමෝම  අත්‍පොළසන්දී ඔවුන් දෙදෙනාව පිළිඅරගෙන තිබේ.
එහෙම අපි දෙන්නා පිළිගත්තාම අපි පුදුම වුණා. ඒ ඇයි කියලා ඇහුවාම තමා දැනගත්තේ දහවල් පිටත්වූ හෙලිකොප්ටර් සවාරියේදී එම හෙලිකොප්ටරය අනතුරට ලක්වෙලා ගිය සංචාරකයෝ හැමෝම මිය ගියා කියලා. අපි දෙන්නා ජීවිතය බේරගෙන එනවා කියලා හිතලා තමා ඒ අය සතුටින් අත්‍පොළසන් දීලා තියෙන්නේ.
සංචාරයේදී ජීවිතය නූලෙන් බේරුණ තවත් අවස්ථාවන් පිළිබඳ මතකය ඔහු අවදි කළේ මෙසේය. වරක් ටැන්සානියාවේ අපි සංචාරය කළා වනගත පෙදෙසක. එහිදී සිංහයන් 25 දෙනෙකුගෙන් විතර කණ්ඩායමක් මීහරක් රංචුවක් දඩයම් කරනා අයුරු අපි දුටුවා. එය බලන්නට බිය ගෙන එන එකක්. එදා ඒ සිංහයන්ට අපි අහුවුණා නම් කියලා මට හිතුණා. ඒවගේ දර්ශන මම රූපවාහිනියෙන් නම් දැකලා තියෙනවා ඒ අත්දැකීම පවසන විටත් ඔහුගේ මුහුණ ත්‍රාසයෙන් පිරී යයි.
මම විවාහ වුණේ නැහැ. ඒ මගේ සහෝදරියන් නිසා. ඒ අයගේ ජීවිතවල මට පැවරුණ වගකීම මම ඉෂ්ට කළා. දැන් මුනුබුරු මිනිබිරියොත් ඉන්නවා. මම හුඟක් සතුටින් ජීවත් වෙනවා. අනික විවාහවෙලා හිටියා නම් මේ වගේ ලෝකය වටේ යන්න ලැබෙන්නේ නෑනේ.අවසානේට ක්‍රිස්ටෝපර් එසේ කීවේ සිනාසෙමින්ය.
අපේ කා‍ලේ කොලම්බස්ට දීර්ඝායුෂ පතා අපි ඔහුගෙන් සමුගතිමු.

අකිලා නදීශානි බණ්ඩාර(Lakbima)

ඔබගේ අදහස අපට කියන්න

Close