බැදුම්කර ඉවරයි / හෙජින් ග්‍රීක බැදුම්කර පරීක්ෂණ කෝ ?

බැදුම්කර ගණුදෙනුව කරලිය උණුසුම් කර තිඛේ. සැමතින්ම අසන්නට දකින්නට ලැඛෙන්නේ මහා පරිමාණ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් දේශපාලනඥයන් පවසන මතවාදයන්ය.ඇතැමුන් සිය පක්ෂයේ ස්ථාවරය රටට කියමින් සිටී. තවත් පිරිසක් කෝප් කමිටුවේ නිර්දේශ පිළිබදව අනාවරණ කරමින් සිටිති. එසේම තවත් පිරිසක් නීතිය හමුවට ගෙන ආ යුත්තේ කවරෙක්ද යන්නත් විගණකාධිපතිවරයාට තර්ජනයක් එල්ලවී ඇති බවටත් අදහස් පල කරනු ලබයි. කෙටියෙන්ම පවසන්නේ නම් මේ වන විට මෙරට තුල බැදුම්කර වංචාව හැරෙන්නට වෙනත් ප්‍රධාන මාතෘකාවක් සොයා ගැනීම උගහටය.ඒ තරමටම ප්‍රවෘත්ති තුලත්, සාමාන්‍ය වැඩසටහන් අතරත් එතනින් එහාට ගිය බසයේ දුම්රියේත් කතා බහ බැදුම්කර ගැනය.
ඇසෙන දැනෙන හා පෙනෙන දේ අනුව බැදුම්කර ගණුදෙනුව තුල කිසියම්ම හෝ අක්‍රමිකතාවයක් සිදුව ඇති බව බැලු බැල්මටම කිව හැකිව තිඛේ. ඒ සම්බන්ධයෙන් කෝප් කමිටුව ක්‍රියාත්මක කළ පරීක්ෂනයද ඉදිරිපත් වන්නට නියමිත වාර්තාවද මෙරට දේශපාලන ඉතිහාසයේ ෙඓතිහාසිකව ලියවෙන්නක් බවටද කිසිදු සැකයක් නැත .මේ වදන් ගොනු කිරීම ඒ ගැන ප්‍රශස්ති ගයන්නට හෝ අඩුපාඩු විවේචනය කරන්නට නොවේ. අමතකව ඇති යමක් සිහිපත් කරන්නටය.
ශ්‍රී ලංකා මහ බැංකුව ගිනියම් කළ බැදුම්කර ගණුදෙනුව කෙටි කාලයක් තුල මහ බැංකු අධිපතිවරයාගේ දෙවන ධූර කාලය අහිමි කරන්නට සමත් වූයේය. එතැනින් ඔබ්බට ගොස් අද වන විට බැදුම්කර ගණුදෙනුවට සම්බන්ධ වූවන් නීතිය හමුවට ගෙන එන්නට මං පෙත් විවර වෙමින් තිඛේ. එය සතුටුදායකය.
එහෙත් බොහෝ දෙනකු අමතර කර ඇති රටේ ආර්ථිකය වලපල්ලට යැවූ හෙජිං ගණුදෙනුව සිදුවන්නට මුල් වූයේද ශ්‍රී ලංකා මහ බැංකුව තුලය. රටට දැවැන්ත අලාභයක් සිදුකළ ග්‍රීක බැදුම්කර මිලදී ගැනීම සිදුකරන ලද්දේද ශ්‍රී ලංකා මහ බැංකුව විසන්මය. එසේනම් අර්ජුන් මහේන්ද්‍රන් වරදක් සෘජුව නොකළද වරදකට සහය දීම සිතා මතා හෝ නොසිතා සිදුකළ බවට චෝදනා ලබමින් සිටියදී ග්‍රීක බැදුම්කර හා හෙජිං අළාභයේ මහ මොළකරු වන හිටපු මහ බැංකු අධිපතිවරයා සම්බන්ධ පරීක්ෂනයක් සිදු නොවන්නේ කවර හේතුවක් මතදැයි පුරවැසියන් ලෙස අපට මතුවන්නේ ගැටලුවකි.

මෙහි විශේෂත්වය වන්නේ2015 ජනවාරි 8 වනදාට පෙර සිටි පොදු අපේක්ෂකයා හෝ එම දිනට පෙර සිටි විපක්ෂනායකයා හෝ එවක විපක්ෂයේ සිටි පිරිස හෝ අද බලය සහිතව සිටියදී මේ සම්බන්ධ කඩිනම් පරීක්ෂණ සිදුනොකිරීමය.
එසේනම් එදා මැතිවරණ වේදිකාවල දිවුරමින් කළ ප්‍රකාශ අසත්‍ය ඒවා බව ඔවුන් නොකියා සිටියද හදවතින් පිළිගනිමින් සිටිනා බව සිතා සැනෙසෙන්නට පුරවසියන්ට හැකිදැයි දන්නේ පුරවැසියන්ම පමණි.
වඩාත් විශේෂත්වය වන්නේ ඉකුත් රජයේ මැති ඇමති ධූර දරා අද ඒකාබද්ධ විපක්ෂය ලෙසින් හදුන්වාගන්නා කණ්ඩායම බැදුම්කර ගණුදෙනුවේ දූෂනය පමණක් දකිමින් එදා සොරුන් ගැන වදනක් හෝ නෙදෙඩීමය. සියල්ලන්ම තකට තකය. ඒ මහජනතාවගේ අදහසය.

ඔවුන්ට අමතකව ඇති පරිදි එදා ඩුබායි ගිණුම් ගැන කී කතා තබා අද පරීක්ෂනයක් හෝ කෙරෙන්නේ නැත. එදා සුදු වෑන් මෙහෙයවූ බව කී හා බරපතල අපරාධ කළ බවට වේදිකාවල නම් සදහන් කරමින් කී බිහිසුණු පුද්ගලයින් අද අධිකරණයකට පවා ගෙන යන්නට නිලධාරීන්ට හිමිකමක් නැත. එසේ වුවහොත් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට අත්වූ ඉරණම ඔවුන්ටද නිසැකය.

හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ ලොක්කන් කිහිප දෙනකුට එල්ලවූ වංචා දූෂන සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු තබා අද ආසාවකට ඔවුන් පොලිස් මූල්‍ය අපරාධ කොටඨාශය පැත්තේ කැදවූ බව හෝ අසන්නට නැත .
බොහෝ වංචනිකයින් එදා අත්පත් කරගත් දේපල අද තමන්ගේ නොවන බව කියමින් වැරදිවලින් ඛේරී යමින් සිටින්නේදැයි ජනතාව තුල ඇත්තේ පැනයකි.

එදා ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානියකු මහා පරිමාණයෙන් වංචා කර ඇතැයි හඩ නැගූ ඇතැම් දූෂනයට එරෙහි දේශපාලනඥයන්ද අද මාධ්‍ය තුලද දකින්නට නැත .
මේවා සියල්ලටම සිදුව ඇත්තේ ලාංකීය හිමිකමක් සහිත පලමු චන්ද්‍රිකාව නමින් හදුන්වමින් චීනය ගුවන් ගත කළ සුප්‍රීම් සැට් යානයට වූ දෙයමය. අදටත් ඉන්නා තැනකුත් නැත. දන්නා කෙනකුත් නැත. හිටපු ජනපතිගේ  පුත්‍රයකු එම ව්‍යාපෘතියේ ප්‍රධානියකු බව පවසමින් ඔහුගේ සම්මුඛ සාකච්ජාවක් රාජ්‍ය මාධ්‍ය එදා විකාශය කළ බැවින් රජයේ මුදලින් යැවූ එම යානය ගැන ඔහු දන්නවා වන්නටත් පුලුවන.

කෙටියෙන්ම කිව ඇත්තේ නැව් ගිල්ල අයියලාට අග්ගලා කජ්ජක් නොවන බවය. හෙට සිට බැදුම්කර සොරුන් ඇල්ලූ බවට පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් මාධ්‍ය තුල හඩනගනු ඇත. නිල් , රතු කොල කහ ආදී විවිධ පැහැයන් ඒ මත රගනු ඇති. එහෙත් මහත්වරුනි ජනතාව ලෙස අප ඉල්ලා සිටින්නේ බැදුම්කර නාඩගමේ පමණක් එල්ලී නොසිට මෙරට මහජන මුදල් අමුඅමුවේ ගසා කෑ ඒ නිර්ලජ්ජිතයින් සියල්ලන් නීතිය හමුවට ගෙනගොස් දඩුවම් දෙන ලෙසය. එසේ නොමැතිව එදා කී දේ අමතකව සිටින ලෙසක් අගවා බැදුම්කරයෙන් නවතින්නට මෙරට කිසිදු දේශපාලනඥයකුට සදාචාරාත්මක අයිතියක් නැත.

එසේම තමන්ගේ පක්ෂයේ සාමාජිකයින් බව කියා හෝ හිටපු නායකයින්ගේ පවුලේ අය කියා හෝ ඇය කාන්තාවක් නිසා කියා හෝ කිසිවකු වරදකරුවන්ට නීතියෙන් ගැලවී යන්යට ඉඩ ලබා දෙන්නේ නම් අද දරන කිරුලු ගැලවී ගිය දිනකු හෝ මේ පින් බිම කෙලසූ සාපය ඔවුන්ට වදිනු නිසැකය. මක්නිසාද යත් සියලුම දේශපාලනඥයන් සුර සැප විදින්නේ මෙරට මහජනතාවගේ මුදලින් වන බැවිනි. එහෙයින් බැදුම්කර විමර්ෂණයෙන් ඔබ්බට ගොස් සගවා ඇති සහ සැගවී ඇති ෆයිල්ද රට හමුවේ හෙළිකරන්නැයි අප ඔඛෙන් ඉල්ලා සිටිමු.

එසේ නොවන්නේ නම් පරාජය අවජාතකය ජයග්‍රහණයකට පියවර දහසකි යන්න ඔප්පු කරමින් නොඇල්ලූ සොරුන් අල්ලන්නැයි හඩ නගන්නට කිසිවකු ඉදිරිපත් නොවනු ඇත. එය අවජාතක වන පරාජයයි. එහෙත් ජයග්‍රහණයේ පියවරුන් දහසක් ඉක්මවා ඇති බව බැදුම්කර කතාවන්ගෙන් අද සිටම අසන්නට ලැඛෙනු ඇත.(පුරවැසියා )

ඔබගේ අදහස අපට කියන්න

Close