මරණින් මතු ජීවිතය ගැන බුදු දහමේ මතය

අපවත් වී වදාල සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ, මහ නායක අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ශ්‍රී ඥාණවිමල මහ නාහිමියන් වැඩ සිටි සමයේ සක්වල සක්මන නමින් බුදුසරණ පුවත්පතට දැක්වූ දේශනා එකතුවක තවත් කොටසක් මෙසේ ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නෙමු.

මහ නායක හාමුදුරුවනේ, අප කවදා හෝ මරණයට පත්වීමෙන් අත්වන්නේ සැපතක් ද? විපතක් ද?

ඔබ මරණයට පත් වීමෙන්, අන් අයට හැර එයින් ඔබට සිදුවන පාඩුවක් ඇත්තේ නැහැ. මරණයෙන් පසු අලුත් ජීවිතය ආරම්භ කරන තැන වඩා සැපවත් තැනක් වුවහොත් හානියට වඩා එයින් වාසියක් අත්විය හැකියි. ඒ සඳහා මේ ලද දුලභ මනුෂ්‍ය ජීවිත කාලය තුළ හැකිතාක් නොපමාව කුසලකර්ම රැස් කරගත යුතු වෙනවා.

කොහොම වෙතත් අප මරණය හමුවේ අනිසි බියක් ඇති කරගත යුතු නැහැ. එනම්, මේ සංසාර ගමන තුළ නිවන් දකින තාක් කල් අප කිසියම් උපතක් ලබන්නේම මරණයත් අතැතිවයි. ඒ නිසා මේ ජීවිතය අනියත හින්දා මරණය නියත වෙනවා.

මරණ බිය දැනේවි ද?

එහෙමනම්, මරණයට සත්වයන් මෙතරම්ම බියක් දක්වන්නේ ඇයි?

ඒ මරණය ගැන තිබෙන අවබෝධයේ අඩුකම නිසා ඇති කර ගෙන සිටින විවිධ හේතු හා තීරණ නිසායි. තිරිසන් සතුන් එලෙස මරණයට බිය වුණත්, මනසින් උසස් මිනිසුන් ඊට කිසිසේත් බිය විය යුතු නැහැ. නමුත්, හුඟ දෙනෙක් මරණය ගැන බියක් දැක්වීමට හේතුවී ඇති පොදු කාරණා කිහිපයක් තිබෙනවා. එනම්,

  1. කායික වේදනාවක් විඳීමට ඇති බිය,
  1. මරණයෙන් පසුව ඇති විය හැකි තත්ත්වය පිළිබඳ සැකය.
  1. තමන් ඇලුම් කරමින් සිටි අයගෙන් වෙන්වී තනිවීම
  1. තමන් අයිති කරගෙන සිටි දේ අතහැර යාමට ඇති අකැමැත්ත
  1. තමන් වෙහෙසී උපයාගත් සම්පත් වෙනත් අය නොමිලේම භුක්ති විඳීම ගැන ඇතිවන ඊර්ෂ්‍යාව
  1. තමන් නොසිටීමෙන් දූ දරුවන් ආදී වෙනත් අයට කරදරයක් වෙතැයි සිතීම සහ
  1. තමන් අපරාධ බහුල ජීවිතයක් ගත කර තිබීම වැනි කරුණුයි.

මේ අතරින් එකක් හෝ ඊට වැඩි ගණනක් මරණයට බියක් දක්වන්නන් තුළ පවතිනවා. නමුත්, මැදහත්ව විමසිල්ලෙන් මේවා පරික්ෂා කර බලනවිට මේවා එකක්වත් බැරෑරුම් ලෙස සැලකිය යුතු නැති බව අවබෝධ වෙනවා.

මෝහනය හා මරණාසන්න අත්දැකීම්

එතකොට, මරණයට පත්වන අවස්ථාවේදී කායික වේදනාවන් විඳීමට සිදුවෙනවා කියන මතයේ පදනමක් නැද්ද?

දැන් කෙනෙක් ජීවත්වීමට අපේක්‍ෂා කරනවා නම් ඔහු ලෙඩවීම ද බලාපොරොත්තු විය යුතුයි. මරණයට ද හේතුවන්නේ, යම් ලෙඩක් (අසනීපයක්) නම් එය ද ඔහුගේ ජීවිත කාලය තුළ ඇතිවූ වෙනත් එවැනිම ලෙඩකට සමානයි. ලෙඩෙහි තත්ත්වය අනුව අඩුවැඩි වශයෙන් එහි වේදනා විඳ ඔහුට හුරු පුරුදු දෙයක් වෙන්නට පුළුවන්.

ඒ වගේම තමයි, නූතන මෝහන විද්‍යා පර්යේෂණ මඟිනුත් මැරෙන මොහොතේ පුද්ගලයන්ට දැනුණ හැඟීම් ආදිය අනාවරණය කෙරෙනවා. මේ සෑම එකකින්ම පාහේ මෙතෙක් හෙලිවී ඇත්තේ, මැරෙන මොහොතේ වේදනාවන් නොදැනීම සඳහා සිහි නැතිවීමක් ස්වභාවිකව ( ඉබේට ) ම සිදු වන බවයි.

මෝහනය මඟින් අතීතය සිහිපත් කරවනු ලැබූ හැමදෙනාම වගේ මව්කුසින් බිහිවීමේ අවස්ථා අප්‍රසන්න වූ වේදනා සහිත අවස්ථාවන් ලෙස පවසා ඇතත්, කිසිවෙකු පෙර ආත්මයේ පණ යන මොහොත අප්‍රසන්න අවස්ථාවක් ලෙස දක්වා නැහැ. ගුවන් අනතුරකට හෝ රිය අනතුරකට හෝ සියදිවි හානිකර ගැනීමකට හෝ භාජනය වූවන් පවා අතීතය සිහිපත් කරවූවිට එම සිදුවීම පවසා ඇතත් එහි දුක් සහිත හෝ වේදනාත්මක බවක් හෝ අවධාරණය කර නැහැ. මෙයින් පෙනෙන්නේ, ස්වභාව ධර්මය විසින් එම මරණාසන්න අවස්ථාවට ලබාදී ඇති සැනසිල්ලක් ලෙස සිහිනැති වීමක් සිදුවී කායික වේදනා යටපත් කරන බවයි. මෙය නිදා සිටින්නෙකු අවදි වන්නාසේ ( සුත්තප්ප බුද්ධොවිය) යන ව්‍යවහාරය බොහෝ බෞද්ධ කථා පුවත්වල ද හමුවෙනවා.

මරණින් මතු පැවැත්ම

ඒ වුණත්, මරණයෙන් පසුව ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳ සැකය නම් පහසුවෙන් බැහැර කළ නොහැකියි නේද?

බොහෝ සත්වයින් එක ජීවිතයකදී ලබාගත් අත්දැකීම් ද රැගෙනයි තවත් අලුත් ජීවිතයකට ගමන් කරන්නේ. විශ්ව ධර්මතාව අනුව ගඟක් ඉදිරියට ගලා ගෙන යනවා වගේ ජීවිතත් ඉදිරියට ගමන් කරනවා. එහෙත් බැමි, වේලි, වැටි නිසා වෙන පැතිවලට ගමන් කරන සැටිත්, ඇතැම් තැනක පල්වෙමින් යම් කාලයක් නතර වී සිටින සැටිත් ගඟක වගේම සසර ගමනේදීත් දැකිය හැකියි.

මෙලෙසින් දේවදත්ත වැනි පුද්ගලයන් විශ්ව ධර්මතාවට පටහැනිව ක්‍රියා කිරීම නිසා කිසියම් කාල පරාසයක් දුක් බහුල ජීවිතවල ගතකර වුවද ඉදිරියට යාම සිදුවෙනවා. මේ ජීවත්වන ජීවිතයේදී වුණත් එවැනි අධර්ම ක්‍රියා නිසා හිරගෙවල්වල සිරවී දුක්විඳිනු දක්නට ලැබෙනවා.

ඒ වගේම, මෙලෙස මිනිසෙකු වී ඉපිද තිරිසන් සිතිවිලි හා ක්‍රියා දියුණු කිරීමේ කර්මය හේතුවෙන් මරණින් පසු තිරිසන් ආදී සතර අපාගතව උපත ලැබීම සිදුවෙනවා. සැප පහසුකම් ඇති ගෙයක් හදාගෙන දැසි දස්සන්ගෙන් උපස්ථාන ලබා සැපසේ සිටින අතර, කළ වරදක් නිසා ටික කලක් බන්ධනාගාරගතව දුක්විඳ යළි නිවසට පැමිණ සැප විඳිය හැකියි. නිවැරැදිව ජීවත් වූවා නම් බන්ධනාගාරගත නොවන්නාසේ සසරේද දුක් බහුල ජීවිතවලට නොවැටී ඉදිරියට ගමන් කිරීමට හැකි වෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close