වැට් බද්ද ගැන තීරණාත්මක විවාදය අදයි

ආන්දෝලනාත්මක වැට් බදු පනත පිළිබඳ විවාදය අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා.විවාදය අවසානයේ ප.ව. 6.30ට ඒ පිළිබඳ ඡන්ද විමසීමද සිදු කිරීමට නියමිතයි.

මේ හේතුවෙන් අද දිනයේ ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමැතිවරුන්ට පාර්ලිමේන්තුවේ රැඳී සිටීම අනිවාර්ය කර ඇති බවයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය මගින් දැනුම්දී ඇත්තේ.
ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද අද පාර්ලිමේන්තු පැමිණීම අනිවාර්ය කර තිඛෙනවා.

එකතු කළ අගය මත බදු (සංශෝධන) හෙවත් වැට් බදු පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) ව්‍යවස්ථාවට අනුව වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සම් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයාට ලැබි ඇති බව පැවසූ නියෝජ්‍ය කථානායකවරයා පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ශේ්‍රෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බවයි කියා සිටියේ.
මේ අතර වැට් බදු පනත් කෙටුම්පතට එරෙහිව ඊයේ ඒකාබද්ධ විපක්ෂය පොල් ගැසීමකද නිරත වුණා.

ඊට අමතරව වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු (සංශෝධන) පනත් කෙටුම්පත, ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ද අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනු ඇත.

ඔබගේ අදහස අපට කියන්න

Close