ඇත්දළ / මැණික් මකර තොරණේ සොරකම CC Tv කැමරාවේ

ගම්‍පොළ යුගයේ රජ කළ  වන බුවනෙකබාහු රජතුමා විසින් නිර්මාණය කොට කොත්ම‍ලේ පුසුල්පිටිය රජමහා විහාරයේ තැන්පත් කොට තිබූ මැණික් ඔබ්බවා ඇත්දළවලින් කැටයම් යොදා සාදා තිබූ මිල කළ නොහැකි පෞරාණික මකර තොරණ පැහැරගෙන ගිය නිදන් කොල්ලකරුවන් හඳුනා ගැනීම සඳහා එම සොරකමේ සී සී ටී වී දර්ශන නිකුත් කරමින් බස්නායක නිලමේ ප්‍රියන්ත අමුණුගම මහතා ඒ සඳහා මහජනතාවගේ සහය ඉල්ලා සිටී.

ලංකාවේ වැඩ  විසූ අවසන් මහ රහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව මහ රහතන් වහන්සේ ඉන්දියාවේ සිට මෙරටට වැඩමවා පුසුල්පිටිය රජමහා විහාරයේ තැන්පත් කර තිබූ දඹරන් බුදු පිළිමය වඩා  හිඳුවීම සඳහා රජතුමා මෙම මකර තොරණ නිර්මාණය කරවූ බව සඳහන්ය.
නිධන් හොරුන් මීට පෙර අවස්ථාවකත් මෙම දඹරන් බුදු පිළිමයද සොරාගෙන ගොස් තිබූ අතර මෙම මකර තොරණ විහාරයේ තැන්පත් කොට තිබි ඇත. විහාරය තුළ මෙන්ම බාහිරවද සී සී ටී වී කැමරා සවිකොට ඇති අතර ඒ සියලු කැමරාවල මෙම මකර තොරණ සොරාගෙන යන අයුරු සටහන්ව ඇත. පසුගිය මස 28 වන දින මෙම මකර තොරණ සොරාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් කොත්ම‍ලේ පූඬළුඔය ‍පොලීසිය පරීක්ෂණ පැවැත් වුවද මේ වනතුරුත් කිසිම හෝඩුවාවක් ලැබි නොමැත.
අඩි 3 1/2 ක් පමණ උසින් යුත් මෙම මකර තොරණ සොරා කර තබාගෙන යන අයුරු කැමරාවේ සටහන්ව ඇති අතර ඔහු ගෙන එන ලද අලවංගුවක් පමණක් මෙහි තිබි ‍පොලීසිය සොයාගෙන ඇත. දුටුගැමුණු රජ සමයට පෙර සිට මෙම පුසුල්පිටිය විහාරය පැවැති බව සඳහන්ව ඇති අතර රුහුණේ සිට කොත්ම‍ලේට පලා ආ දුටුගැමුණු කුමාරයාට කඩොල් ඇතු රාජාභිෂේකය දක්වන ලද්දේ මෙම විහාරස්ථානයේදී බව සඳහන්ය.
අනතුරුව  වනබුවනෙකබා රජතුමා විසින් පසුකලෙක ටැංපිට විහාරයක් ලෙස පුසුල්පිටිය විහාරය ප්‍රතිසංස්කරණය කොට ඇති අතර දඹරන් පිළිමය හා මකර තොරණ ඇති ස්ථානයට පිවිසීම සඳහා විහාරයේ දොරවල් තුනක් පිහිටුවා ඇත.
සොරා මෙම දොරවල් කඩා මෙම මකර තොරණ රැගෙන ගොස් ඇති අතර ඒ අයුරෙන්ම ජනෙල් පවා කඩා දඹරන් පිළිමය සොරාගෙන ගොස් තිබුණි.(Lakbima)

ඔබගේ අදහස අපට කියන්න

Close