ඒක පුද්ගල ආදායම දෙගුණ කරන්න අගමැතිගෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවේ මේවන විට ඇති ඒක පුද්ගල ආදායම දෙගුණ කරමින් 2025 වසරවන විට ඇමෙරිකානු ඩොලර් 8000 දක්වා වැඩි කිරීම රජයේ අපේක්ෂාව බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

මේ එහිදී අග්‍රාමාත්‍යවරයා පල කළ අදහස්.

“දැනට අපේ ආර්ථිකය වර්ධනය වන්නේ වර්ෂයකට 5% වේගයෙන්. මේ වේගයෙන් ගියොත් ඒක පුද්ගල ආදායම දෙගුණ වන්නට 2033 දක්වා බලා සිටින්නට අපට සිදු වෙනවා. අපිට වසරකට 7% ක ආර්ථික වර්ධනයක් පවත්වා ගත හැකි නම් ඒක පුද්ගල ආදායම වර්ෂ 2025 වන විට දෙගුණ කර ගත හැකියි. මේ 7% ආර්ථික වර්ධන වේගය අපේ රට අවසන් වරට ලබාගත්තේ යුද්ධය අවසන් වුණු විගස 2009 දී යි. අවාසනාවකට සාමයත් සමග ලැබිය යුතුව තිබුණු ආර්ථික ප්‍රතිලාභ ලබාගන්නට අපේ රටට නොහැකි වුණා”

“2003 දී අපේ රෙදිපිළි සහ ඇඟළුම් කර්මාන්තය අමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක් පමණ වූවා. ඒ වසරේ බංග්ලාදේශයේ රෙදිපිළි සහ ඇඟළුම් ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 5.2 යි. 2015 වන විට අපි රෙදිපිළි සහ ඇඟළුම් අපනයන කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 4.8 ක් උපයද්දී බංග්ලාදේශය අමෙරිකානු ඩොලර් බිලියන 26.6 ක් උපයනවා”

” දැන් කලක් තිස්සේ ලෝක වෙළෙඳපොලේ තෙල් මිල අඩු වී තිබීම නිසා සෞදි ආරාබිය වැනි රටවලට තමන්ගේ රට වැසියන්ට පවා ගෙවන වැටුප් අඩු කිරීමට සිදුව තියෙනවා. මෙය මැදපෙරදිග සේවය කරන ලාංකේය ශ්‍රමිකයන්ට අලූතෙන් එල්ලවන අභියෝගයක්”

“ඉදිකිරීම සඳහා අවසර ලබා ගැනීම, විදුලි සබඳතා සහ බැංකු ණය, දේපොළ ලියාපදිංචිය, සුළුතර ආයෝජකයන්ගේ සුරක්‍ෂිතතාව, ආදායම් බදු ගෙවීම, විදේශ වෙළෙඳාම, ගිවිසුම් ක්‍රියාත්මක කිරීම, බංකොළොත් ව්‍යාපාර සමථයකට පත් කිරීම, රැකියා වෙළඳපොල රෙගුලාසි ආදී ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ඇති අවහිරතා අප ඉවත් කරනවා”

” අප සියලු දෙනාට ම විවිධ පුද්ගලික මතවාද තියෙනවා. දේශපාලන අරමුණු තියෙනවා. නමුත් ඒ සියල්ලට ඉහළින්, අපේ රට ගැන සිතන්නය කියා මා ඔබට යෝජනා කරනවා. ජාතික ආණ්ඩු පදනම මත රට ඉදිරියට රැගෙන යාමේ අවකාශයෙන් අපි උපරිම ප්‍රයෝජන ගත යුත්තේ ඒ නිසයි”

ඔබගේ අදහස අපට කියන්න

Close