ගැති නොවන රටක් බිහි කිරීම රජයේ අපේක්ෂාවයි / ජේ සී අයවැය ගැන කියයි

2017 අය වැය යෝජනාවලියෙන් රට වඩාත් නිවාරදි මාවතකට ගෙන ඒම අපේක්ෂාව බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සම සංවිධායක ජේ සී අලවතුවල මහතා පවසනවා.
ලංකා ඒ නිවුස් සමග සංවාදයකට එක්වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ඉදිරි වසර කිහිපය තුල ශ්‍රී ලංකාව ලෝකයේ ඉහල තත්ත්වයකට ගෙන ඒම මුල් කර ගනිමින් රජය කටයුතු කරමින් සිටින බවයි.
දිගින් දිගටම පසුපසට ගිය රටක් ඉදිරියට ගෙන ඒම දැඩි අභියෝගයක් වුවද එම අභියෝගය ජය ගැනීමට රජය නොබියව ඉදිරිපත්ව සිටින බවයි අලවතුවල මහතා සදහන් කළේ.
ජනතාව පීඩාවට පත් වන ආකාරයෙන් බදු පැනවීමට රජයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ පිළිබදව ඇතැමුන් අසත්‍ය කරුණු සමාජගත කරන බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.
2005 වසරේ සිට 2014 දක්වා කාලයේදී සියයට 20ක වැට් බද්දක් ජනතාවගෙන් අය කළ පිරිස් අද සියයට 15ක වැට් බද්දකට එරෙහිවීම හාස්‍යජනක බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.
ශ්‍රී ලංකාව ලෝකයේ ඉහල ණය ගැති රටක් බවට පත්කර ගිය පැවැති රජයේ කණ්ඩායම ඉන් ගොඩඒමට නොදී සුපුරුදු පහත් දේශපාලනය සිදුකරන බවටයි ඔහු චෝදනා එල්ල කළේ.
වර්තමාන දරු පරපුර වැඩිහිටියන් බවට පත්වද්දී ශ්‍රී ලංකාව තවදුරටත් නොදියුණු රටක් ලෙස පවත්වාගැනීම ඇතැම් දේශපාලන කණ්ඩායම්වල අරමුණ බවද අලවතුවල මහතා සදහන් කළා.
එහෙත් එම කණ්ඩායම් මහජන ධනය අසීමිතව සොරකම් කර ඇති බැවින් ඔවුන්ගේ දරුවන් සුවෙන් සැපෙන් ජීවත්වනු ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ. සම්මුති රජය එවන් පිරිස්වලට යටත් නොවන අතර රටේ සියලු දරුවන්ට සුබවාදී අනාගතයක් ගොඩනැගීමට කොපමණ බාධා මතුවුවද පෙරට යන බව ජේ සී අලවතුවල මහතා අවධාරණය කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close