රාජසන්තක කළ උලපනේ නිවස විජේවීර පවුල යළි ඉල්ලයි

ජනතා විමුක්‌ති පෙරමුණේ නායක රෝහණ විඡේවීර මහතා අවසන් වරට පදිංචිව සිටි නාවලපිටිය, උලපනේ පිහිටි නිවස සහ ඉඩම තමන්ට සහ තම දූදරුවන්ට ලබා දෙන්නැයි රෝහණ විඡේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විඡේවීර මහත්මිය කර තිබූ ඉල්ලීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිඛෙනවා.

ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් මංගල වික්‍රමආරච්චි මහතා විසින් දැනුම් දී  ඇත්තේ එම දේපළ රාජසන්තක කරන ලද දේපළක්‌ හෙයින් අදාළ ඉල්ලීම ඉටු කළ නොහැකි බවයි.

රෝහණ විඡේවීර මහතාගේ අභාවයෙන් පසුව විඡේවීර මහත්මිය මෙතෙක්‌ රැඳී සිටි නාවික හමුදා කඳවුරෙන් ඉවත්ව ඉවත්ව යාමට තීරණය කිරීම සමග මෙම ඉල්ලීම සිදුකර තිබුණා.

ජනාධිපතිවරයා හා ආරක්‌ෂක අමාත්‍යාංශය මඟින් විඡේවීර මහත්මිය මෙම ඉල්ලීම සිදුකර තිබූ අතර  ඒ අනුව ඉඩම් කොමසාරිස්‌වරයා ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් කළ කරුණු විමසීමකදී මෙහි පවතින වර්තමාන ගැටලු අනාවරණ කර තිඛෙනවා.

1990.05.15 දින 110/02 දරණ ගැසට්‌ පත්‍රය අනුව මහජන ආරක්‌ෂක පනතේ 41 (අධිකාරි) 5 වගන්තිය අනුව ජනාධිපති නියෝගය පරිදි මෙම දේපළ රාජසන්තක කර තිබුණා.

එසේ රාජසන්තක කිරීමෙන් පසු එය තරුණ සේවා සභාව යටතේ පුහුණු මධ්‍යස්‌ථානයක්‌ ලෙසයි මේ වන විට ක්‍රියාත්මක වන්නේ.

මෙම පුහුණු මධ්‍යස්‌ථානයේ වසරකට සිසු සිසුවියන් 1000 ක්‌ පමණ අධ්‍යාපනය ලබන බවත්, එහි හයමාසක පාඨමාලා 19 ක්‌ ඇති බවත්, තරුණ සේවා සභාව යටතේ මෙම ස්‌ථානය තව තවත් සංවර්ධනය කිරීම සඳහා අසල ඇති පුද්ගලික ඉඩමක්‌ද ලබා ගෙන ඇති බවත්, ඒ අනුව මෙම දේපළ නැවත ලබා දීම ගැටලු සහගත බවත් අදාළ ප්‍රතිචාරයේ වැඩිදුරටත් සදහන්.

ඔබගේ අදහස අපට කියන්න

Close