බාහිර උපාධි කප්පාදුව වැරදියි / ඛෙල්ලන්විල විමලරතන නාහිමියන් කියයි

බාහිර උපාධි පිරිනැමීම විවෘත විශ්ව විද්‍යාලයට පමණක් සීමා කිරීමේ තීරණය අසාධාරණ එකක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සදහන් කළේ සී ඩබ් ඩබ් කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 132 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් පැවැති උත්සවයකට එක්වෙමින්.

මේ එහිදී උන්වහන්සේ පල කළ අදහස්.

අධිරාජ්‍යවාදීන්ගේ පරිපාලන කටයුතු කරගෙන යැම සඳහා වරප්‍රසාද ලද පවුල්වල ළමුන්ට පමණක්‌ දෙන අධ්‍යාපන ක්‍රමයක්‌ තමයි එවකට ලංකාවේ තිබුණේ අප පරාධීනව සිටි යුගයේදීත් කන්නන්ගර මැතිතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගොස්‌ බොහෝ දෙනාගේ විරෝධය මැද්දේ වසර ගණනාවක්‌ වාද විවාද කරලයි නිදහස්‌ අධ්‍යාපන විධාන ඉදිරිපත් කළේ අද දුප්පත් පොහොසත් හැම දරුවකුටම අධ්‍යාපනය ලබන්න වරම් ලැබුණේ මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයා නිසයි.

අද ළමුන්ට පාසල් පොත් හා නිල ඇඳුම් ලැබුණත් මෙවැනි පාසලකට ළමයෙක්‌ දාගන්න හරිම අපහසුයි. දැන් වෛද්‍යවරුන් කියනවා තමන්ගේ ළමුන් හොඳ පාසල්වලට දමන්න කියලා වෛද්‍යවරු අපි අගය කරන්න ඕන. ඒ අය අපට ඉතාමත් අවශ්‍යයි. නමුත් ළමයි මේ ප්‍රාථමික අංශයෙන් හොඳට ඉගෙන ගන්නවා නම් ඒ අය දක්‍ෂනම් විශ්වවිද්‍යාලවලට පවා යැමට අවශ්‍ය අධ්‍යාපනය මේ පාසල්වලින් ලැබෙනවා.

දැන් කියනවා හොඳම පාසල ළඟම පාසල කියලා ක්‍රමයක්‌ ගැන. මේ අය ජනප්‍රිය වෙන්න යම් අදහස්‌ ගෙනාවට හොඳම පාසල ළඟම පාසල කරන්න පුළුවන්ද? ළමුන්ට තමන්ගේ ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබන්න ඉඩදීම ඉන්පසුව මධ්‍ය විද්‍යාල, ජාතික පාසල්වලට යොමුවන විදියේ වැඩපිළිවෙළක්‌ ඇතිකළ යුතුයි.

ඒ වගේම මේ ළඟදී උසස්‌ අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිතුමා කියා තිබුණා මීට පස්‌සෙ සියලුම විශ්වවිද්‍යාලවලට බාහිර උපාධිය කරන්න බෑ කියලා. එය විවෘත විශ්වවිද්‍යාලයෙන් පමණක්‌ කළ යුතුයි කීවා. ඒක හරිම අසාධාරණ තීන්දුවක්‌. විශ්වවිද්‍යාලවලට යන්න බැරි අයට අභ්‍යන්තර සිසුන් හැටියට බාහිරව ඉගෙනගන්න හැම තැනම පහසුකම් සලසන්න ඕන.

ලොව වෙනත් රටවල පාසල් දරුවන්ට තිබෙන පහසුකම් හා සංසන්දනය කර බලන විට අපේ දරුවන් ගැන අනුකම්පාවක්‌ දැනෙනවා. තාක්‍ෂණය එක්‌ක ඉගෙනුමට අවශ්‍ය සියලු දේ ඒ පන්ති කාමරවල තිබෙනවා. නමුත් ඒ කිසිවක්‌ නැතිව අපේ දරුවෝ ඊට වඩා දක්‍ෂයි. තමත් පහසුකම් තිබේ නම් අපේ දරුවෝ කොතරම් දක්‍ෂතා පෙන්වයි ද කියා සිතාගත හැකියි. ඒ අනුව අපි සන්තෝස වෙනවා සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ ඒ සංකල්පය වර්ධනය කරමින් නිදහස්‌ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵල දරුවන්ට ලබාදීම සඳහා ගන්නා උත්සාහයට.

ඔබගේ අදහස අපට කියන්න

Close