වීරවංශ නිවසේ මරණය සැකයි / මරණ පරීක්ෂක කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ හෝකන්දර නිවස තුළ නින්දේ පසු වූ තරුණයකු වන 24 හැවිරිදි ලහිරු ජනිත් දිසානායක යන අයගේ මරණය සැක සහිත බවට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂකවරයා විසින් පවත්වන ලද මරණ පරීක්‍ෂණය අනුව ලබා දුන් තීරණයෙන් පසුව, කඩුවෙල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ධම්මික හේමපාල මහතා සිද්ධියට අදාළ මූලික විමර්ෂණ සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙසට තලංගම පොලිසියට නියෝග කර තිඛෙනවා.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා ඊයේ සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කර ස්ථානීය වාර්තාවක් ලබාදී තිඛෙනවා.

මියගිය ලහිරු ජනිත් යන තරුණයා විමල් වීරවංශ මහතාගේ පුත් විභූති විශ්වජිත් වීරවංශ යන අයගේ මිතුරකු බවයි හදුනාගෙන ඇත්තේ.

පසුගිය 25 දා රාත්‍රී එම තරුණයා විමල් වීරවංශ මහතාගේ පුත්‍රයා ඇතුළු තවත් තරුණයන් තිදෙනකු සමඟ රූපවාහිනිය නරඹමින් සිට නින්දට ගොස්‌ ඇති බවත්, මියගිය තරුණයා එම නිවසේ සාලයක තනිව නින්දේ සිට ඇති බවත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී තිඛෙනවා.

පසුදා උදේ ඔහු අවදි කිරීමට ගිය අවස්‌ථාවේ, එම තරුණයා කිසිවක්‌ කතා නොකර ඇති අතර ඒ මොහොතේම ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරන විටත් මියගොස්‌ සිටි බවට හදිසි මරණ පරීක්‍ෂක ඩබ්ලිව්. සී. ටී. ගලගෙදර මහතා හමුවේ පැවැති මරණ පරීක්‍ෂණයේදී සදහන් කර තිබුණා.

මියගිය අයගේ නාසයෙන් රුධිරය වහනය වී ඇති බාහිර සලකුණු කිහිපයක්‌ දක්‌නට ඇති නිසා ඔහුගේ මරණය සැක සහිත බව නිගමනය කළ මරණ පරීක්‍ෂකවරයා විවෘත තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කරමින් ඒ සම්බන්ධයෙන් කඩුවෙල මහෙස්‌ත්‍රාත්වරයා වෙත වාර්තා කිරීමට පොලිසිය නියෝගයක් නිකුත් කළා.

ඒ අනුව මහෙස්‌ත්‍රාත් ධම්මික හේමපාල මහතා මියගිය අයගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පවත්වා අදාළ වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට තලංගම පොලිසියට නියෝගයක්ද නිකුත් කරනු ලැබුවා.

ඔබගේ අදහස අපට කියන්න

Close