වෙඩි තබන පොලීසි, ආවා කල්ලි සහ යුද්ධයම ඉල්ලන ජාතිවාදය

‘කොර්නෙල් අර්ලියානෝ බුඑන්ඩියා ඔහුගේ ජීවිත කාලය පුරා ආයුධ සන්නද්ධ නැගිටීම් 32 ක් කළ අතර ඒ සියල්ලම පරාජය විය. අවසානයේ ඔහු වටහා ගත් සැබෑව වූයේ යුද්ධයක් අවසාන කිරීමට වඩා යුද්ධයක් ඇරඹීම ඉතා පහසු බව’යි. මෙසේ ලියුවේ ලොව ප්‍රකට ගත්කරුවෙකු වූ නොබෙල් ත්‍යාගලාභී කොලොම්බියානු ලේඛක ගාබ්රියෙල් ගාර්සියා මාකේස් තම ‘සියක් වසක හුදකලාව’ කෘතියේයි. මෙම කියමන සෑම යුද්ධයකටම පොදු බව අප දනිමු. ලාංකික අපි එය පසුගිය වකවානුවේ අත්දැකීමෙන්ම උගත්තෙමු. අද සිරියාවේ, යුක්‍රේනයේ හෝ අප්‍රිකාවේ රටවල් ගණනාවකම පවතින යුද්ධයන්වලින් උගන්වන්නේද මෙයයි. මෙම යුද්ධ ඉතා පහසුවෙන් ඇරඹූ අතර ඒවා අවසන් කර ගැනීමට නොහැකිව ලෝකයක් වද විඳී. දශ ලක්ෂ ගණනින් දේශපාලන සංහාරයන් බිහි කරන මෙම යුද්ධ මිනිසා මෙතෙක් පවත්වාගත් සංස්කෘතිය සහ සභ්‍යත්වය නැවත ගල් යුගයට ඇද දමයි.

යුද්ධයක් ඇති කර ගැනීමට බොහෝ විට ඉවහල් වන්නේ සුළු සිද්ධියකි. බිම් කඩක්, කිසි වැඩකට නැති ආත්ම අභිමානයක්, පුහු ජාති මාමකත්වයක් වැනි දේ මුල්කරගත් බලලෝභී අවස්ථාවාදී කපටි දේශපාලන නායකයන් අතලොස්සකගේ පුද්ගලික වාසිය සඳහා කරන උසිගැන්වීම් මේවාට හේතු වෙති. මිනිස් සංහතිය වසර දහස් ගණනක සභ්‍යත්වයකට, සංස්කෘතියකට හිමිකම් කීවා වුවද ඉතා ප්‍රාථමික ගෝත්‍ර සටන්පාඨ තුලින් ඔවුන්ව නැවත තම සභ්‍යත්වයේ ආරම්භය වන රැළ නැමැති ප්‍රාථමික තත්වයට ඇද දැමිය හැකියි. ජාතිය බේරා ගැනීම, දේශප්‍රේමය, ආගම, රට බෙදීම, රට රැකීම ආදී මෙකී නොකී සීනි තැවරූ දවටන්වල එතූ අලංකාර වදන්වලින් උසි ගැන්වෙන ජනයා නැවත උනුනුන් මරා ගන්නා ගෝත්‍ර තත්වයට ඇද වැටෙති. එතුලින් සෑම විටම ජය ගන්නේ මේ වදන් තම බඩගෝස්තරය කරගත්, එම වදන් බෙරිහන් දීම තුලින් ජනයා උසිගැන්වූ අවස්ථාවාදී කපටි ‘නායකයින්’ අතලොස්සකි. ලක්ෂ සංඛ්‍යාත ජනයාට එයින් හිමිවන්නේ මරණය දුක සහ වේදනාවයි. මෙවැනි සටන් පාඨයන්ට රැවටුනු ජනතාව ජීවත් වන රටකට සෑම විටම හිමිවන්නේ විනාශයයි.

මෙවැනි විනාශකාරී යුද්ධයන්හි පැටලුන රටක් හෝ ජනකණ්ඩායමක් ඉතා විනාශකාරී යුද වාතාවරණයකින් පසුව ‘අපි යුද්ධය දිනුවා’ කියා උදම් අනනු දැකිය හැක. මෙය ලංකාවේ අපද අත් දකින්නෙමු. නමුත් ඔවුන් නොදකින දෙය නම් ඔවුන් දිනුවා නොව සාමූහිකව රටක් ලෙස, ජනතාවක් ලෙස, සභ්‍යත්වයක් ඇති සමාජයක් ලෙස ඔවුන් දිනූ දෙයක් නොමැති බවයි. යුද්ධයක් ඇතිකර ගැනීමට පෙර පැවති රටකට, සමාජයට සහ සභ්‍යත්වයට වඩා විනාශ වූ රටක්, සභ්‍යත්වයක් සහ සමාජයක් අර‘ දිනුවාය’ කියන රටට හිමිව තිබීම සෑම යුද්ධයක් පැවති තැනකම ඉන්පසු දකින්නට තිබීම පොදු ධර්මතාවයකි. යුද්ධයක් තුලින් විනාශ වන්නේ මිනිස් ජීවිත, දේපළ පමණක් නොව එතෙක් සමාජයක පැවති හැදියාවද එතුලින් විශාල පිරිහීමකට ලක්වනු ලබයි. එම සංස්කෘතික විනාශය නැවත යුද්ධයට පෙර තිබූ තත්වයට ගෙන ඒමට පවා යුද්ධයක් නිමවී තවත් වසර 10 ක් 15 ක් හෝ ඊටත් වඩා වැඩි කාලයක් ගතවනු ඇත.

මෙම පිරිහීම ගණනය කර ගැනීම සාමාන්‍ය යෙන් සමාජයක් යුද්ධයට බැර නොකරනවා වුවත් අපට ලංකා සමාජය දෙස බැලීමෙන් මෙම පිරිහීම හදුනාගත හැක. කිසි වගවිභාගයකින් තොර හිතුවක්කාරී ආධිපත්‍යවාදී මරා දැමීම්, වෙඩි තැබීම් පොලිසි වලට උරුම වන්නේ යුද්ධයක අතුරු ප්‍රතිඵල ලෙසිනි. යුද්ධයෙන් පසු ලංකා පොලිසි විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් කොපමණ ප්‍රමාණයක් මාංචු පිටින් පොලිස් නිලධාරීන්ට පහර දීමට තැත් කිරීම, මාංචු පිටින් දියට පැන පීනා යෑමට තැත් කිරීම ආදී චෝදනාවන් මත මරා දැමනු ලැබුවේද? මේ සියල්ල යුද්ධය තුල අප සමාජ ආයතන සහ මුළු සමාජයම ලද පිරිහීම්ය. පොලිසි සහ හමුදාවන්හි රහස් ශාඛා මගින් (බුද්ධි අංශ) කොපමණ අපරාධ කර තිබේද? මෙම පොලිසි සහ හමුදා ඒකක විසින් යුද්ධය මුවාවෙන් කොපමණ කුලියට මිනීමරා තිබේද? කොපමණ ප්‍රමාණයක් මිනිසුන් පැහැර ගෙන ගොස් කප්පම් ගෙන මරා දමා ඇත්ද? කොතරම් ප්‍රමාණයක් දේශපාලන විවේචකයන් අතුරුදහන් කර තිබේද, මේ සියල්ල යුද්ධයේ අතුරු ප්‍රතිඵලයන්ය. අද වන විට උතුරේ සිසුන් දෙදෙනාට වෙඩි තැබීමද මෙහිම තවත් එක සිදුවිමකි. මිනිසුන් මරා දැමීමමට පොලිසියට අමතර අණක් අවශ්‍ය නැත. මරා දැමීම ඔවුන්ගේ පුරුද්දකි. එය සාධාරණීකරණය කිරීම අප සමාජයේ බොහෝ දෙනෙකුගේද පුරුද්දකි.

නිමක් නැති මිනීමරු කල්ලි (දේශපාලන උවමනාව මත හෝ පුද්ගලික උවමනාව මත ) යුද්ධයක් තුල බිහිවන අතර ඒවා යුද්ධයෙන් පසු සමාජය තුල තවත් දීර්ඝ කාලයක් තිස්සේ සමාජ විරෝධී ක්‍රියාවන්හි යෙදෙති. මෙම නිල සහ නිල නොවන කල්ලි අවසාන කර රට යථා තත්වයට ගෙන ඒමට නම් දේශපාලන නායකත්වයට ඒ පිළිබඳව හැබෑ උවමනාවක් තිබිය යුුතුය. ඒ වාගේම ඒ සදහා අවශ්‍ය උපකාර ,උපදෙස් දෙස් විදෙස් ආයතන සහ විශේෂඥයන්ගෙන් ලබා ගැනීමට තරම් මෙම දේශපාලන නායකත්වය නිහතමානී විය යුතුය.

කාලයක් තිස්සේ නීතිය අවනීතියක් කර පාලනයක් පවත්වා ගත් රටක ඉක්මනින් නීතිය මත පාලනයක් ඇති කර ගැනීම පහසු නැත. එයට හේතුව එම අවභාවිතාව රටේ ආයතනයනට, ඒවායේ සේවය කරන නිලධාරීන්ට ජීර්ණ වී ඇති බැවිනි. අවනීතිය නීතිය ලෙස, බලය නීතිය ලෙස අවභාවිතාවට හුරු වූ සමාජයක්, මෙම තත්වය නිදන්ගත රෝගයක් බවට පත්කර ගත් සමාජයක් ඉන් ගොඩ ගැනීමට ඉතා හොඳ දීර්ඝ සායනයකින් මිස ආවාට ගියාට හිතූ හදිස්සියට සිදුකල නොහැක.

යුද්ධය ඇති කර ගැනීමට තුඩු දුන් හේතු සෙවීමටවත් යුද්ධයෙන් පීඩා විදි සමාජයක් සූදානම් නැති තැනක නැවත එවැනි තත්වයක් ඇතිවීම වලක්වා ගත නොහැක. යුද්ධය අවසන්වී වසර 7 ක් ගතව ඇතත් මේ වසර 7 පුරාම වර්ගවාදී කණ්ඩායම් තම මත ප්‍රචාරයන් දිගින් දිගටම කරනු ලබයි. තමන් ලද ‘ජයග්‍රහණය’ තුල හිස් තෝන්තු කර ගෙන සංහිදියාව වෙනුවට ආධිපත්‍යම පෙන්නනු ලබති. දිවයින වැනි පුවත්පත් නිතිපතා නොකඩවාම යුද්ධයක් ඇති කිරීමට අවශ්‍ය ගිනි දල්වමින් පවතී.

රාජපක්ෂ යුධවාදී උන්මාදය නව රජය තුලද හොල්මන් කරන බවත්, සිංහල ජාතිවාදය යුද්ධයක් ඇති කිරීමට අවශ්‍ය මානසික තත්වයට දෙසට රට තල්ලු කරමින් පවතින බවත් පැහැදිලිව පෙනෙන්නට තිබේ. පසුගිය දිනක ජාතික හෙල උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ උතුරේ උද්ඝෝෂණ ගැන මෙසේ පවසයි. ‘‘ඔබලාට කැමති නම් මැච් එක පටන් ගන්න. අපි මැච් එක ඉවර කරන්නම්” මෙම කියමන රාජපක්ෂ කල්ලියේ විමල් වීරවංශලාගෙන් නොව නව රජයේ අමාත්‍යධූර දරණ පක්ෂයක නායකයෙකුගේ ප්‍රකාශයකි. මෙයින් පෙන්නුම්කරන්නේ රාජපක්ෂ යුද්ධෝන්මාදය වෙනසක් නොමැතිව මෙම රජයේ කොටස් තුලද ඒ ආකාරයෙන්ම පවතින බවයි. ඔවුනට යුද්ධය මැච් එකකි. තම ආලින්දයේ සිට රූපවාහිනියෙන් නරඹන සංදර්ශනයකි. මිනිසුන් ලක්ෂ ගණනකගේ ජීවිත බිලිගන්නා යුද්ධයක්, දශ ලක්ෂ ගණනින් අනාථයින් බවට ඇද දමන යුද්ධයක් මෙසේ මැච් එකකට සම කිරීමම කොතරම් ඛේදවාචයක්ද? මේ අප සමාජය, අප දේශපාලනය සහ එහි නියමුවන් පත්වී ඇති තත්වයයි. හරි නම් මෙම උන්මත්තකයින් අයත්වන්නේ සමාජයෙන් පිටස්තර කළ මානසික රෝහල් වෙතයි. නමුත් අප සමාජයේ අවාසනාවට මෙවැනි උන්මත්තකයන් දේශපාන කරලියේ ඉහලම තානාන්තර දරති.

යුද්ධයක් ආරම්භ කරන තරම් පහසුවෙන් යුද්ධයක් අවසන් කළ නොහැකි බව කොලොම්බියානුවනට පමණක් නොව ලාංකිකයන් වන අපටද වැටහී නොමැති බව අද ලංකා දේශපාලනය දෙස බැලීමෙන් පෙනී යයි.

රංජිත් හේනායකආරච්චි | Ranjith Hennayakaarachchi

ඔබගේ අදහස අපට කියන්න

Close