දීපවාලි අදයි / අගමැති සුබ පතයි

අඳුරින් ආලෝකයට පැමිණීම මහත් භක්තියෙන් සමරන හින්දු බැතිමතුන්ගේ දීපාවලි උත්සවය අදයි.

විෂ්ණු දෙවිඳුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමත්තු දීපාවලි සමරති.

තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාට ද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිඳුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වේද සාහිත්‍යයේ සඳහන්.

හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කර පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ, ඒ ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිව ය.

අධර්මය පරදවා ධර්මය ජය ගැනීම සංකේතවත් කරමින් පහන් මාලාවක් දැල්වීම ද දීපාවලි දිනයේ තව ත් චාරිත්‍රයකි.

මිය ගිය ඥාතීන් සිහිපත් කරමින් කෝවිල්වලට ගොස් ගිතෙල් පහන් දල්වන හින්දු බැතිමත්හු රස කැවිලි අනුභව කරමින් මෙම දිනය සතුටින් සමරති.

දීපාවලි දිනයේ හින්දු බැතිමතුන්ගේ ප්‍රාර්ථනය ධර්මය රජයන සෞභාග්‍යවත් අනාගතයකි.

මේ දීපවාලි දිනය වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ සුබපැතුම් පණිවිඩයයි.

ලොව පුරා හින්දු කෝවිල්වලද, මහා මන්දිර පැල්පත වෙනසක් නැතිව හින්දු බැතිමතුන්ගේ නිවෙස්වලද, ගෙවතු මංමාවත් ඔස්සේද සුවහසක් පහන් පේළි දැල්වෙමින් රැය ඒකාලෝක වෙයි. හින්දු බැතිමතුන් මහත් ප්‍රීතියෙන් සමරන, වසරකට වරක් එළඹෙන ඒ උත්කර්ශවත් සැමරුම දීපාවලී උත්සවයයි.

හින්දුන්ට වින කළ නරක අසුරයා පැරදවීම, රාම කුමරු වන වාසයෙන් මිදී සීතා සමඟ නැවත අයෝධ්‍යාවට පැමිණීම ආදී පුරාවෘත්ත සහ ආගමික පිළිවෙත් සමඟ බැඳී ඇති දීපාවලි උත්සවය තමන් තුළත්, සමාජය තුළත් පවතින අයහපත නමැති අන්ධකාරය පරදවා මිනිසා යහමඟට යොමුවීමේ වැදගත්කමද, සදාචාරසම්පන්න, යුක්තිගරුක, සාධාරණ සමාජයක් ගොඩනැංවීමේ අවශ්‍යතාවද නැවත නැවත අපට සිහිගන්වයි.

ලෝකය භෞතික වශයෙන් ඉතා විශිෂ්ට දියුණුවක් අත්පත් කරගනිමින් සිටියද, දයාව, කරුණාව, ඉවසීම, සමාව දීම, පරිත්‍යාගශීලීත්වය වැනි ගුණදහම් අතින් පරිහානියට පත්වෙමින්, මිනිස් සංහතියේ විනාශයට  පාර කපා ගනිමින් සිටින බව අපි දකිමු. ජාතිය, ආගම, පක්ෂ, පාට ආදී සාධක මුල්කරගනිමින් මානව වර්ගයා භේද බින්න කරවන නපුරේ බලවේග මුළුමහත් සමාජය අන්ධකාරයට හෙළමින් පවතී.

භේදබින්න වීම පහසු දෙයකි. නමුත් සමගි සන්ධානයෙන්, එක්සත්ව, එක්සිත්ව යහපත උදෙසා කටයුතු කිරීම මහත් අභියෝගයක්ව පවතී. සියලූ භේද දුරලා මනුෂ්‍යත්වයට මුල්තැන දෙමින් සාමයෙන්, සමඟියෙන් ජීවත්වන්නට ප්‍රඥාවේ පහන් දල්වාගත යුත්තේ එබැවිනි.

ඒ සඳහා දීපාවලි උත්සවය ආදර්ශයේ මාවතක්, අධිෂ්ඨානයේ අත්වැලක් කරගත හැකි බව සිහිපත් කරමින්, දීපාවලී සමරන සැමට මාගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමි…!

රනිල් වික්‍රමසිංහ

අග්‍රාමාත්‍ය

ඔබගේ අදහස අපට කියන්න

Close