ලසන්ත සහ එක්නැලිගොඩ පරීක්ෂණ ගැන බිරින්දෑවරුන් කියන කතාව

ජ්‍යෙෂ්ට මාධ්‍යවේදීන් වන ලසන්ත වික්‍රමතුංග හා ප්‍රගීත් එක්නැලිගොඩ යන මහත්වරුන්ගේ ඝාතන හා පැහැර ගැනීමේ සම්බන්ධ පරීක්ෂණ පිළිබද නවතම තත්ත්වය ගැන ඔවුන්ගේ භාර්්‍යාවන් අදහස් පල කර තිඛෙනවා.
එහිදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ හිටපු බිරිද වන රේන් වික්‍රමසිංහ මහත්මිය පවසා ඇත්තේ ඝාතනයේ වගකීම භාර ගනිමින් හිටපු හමුදා බුද්ධි අංශ සාමාජිකයකු සිය දිවි නසා ගැනීම සැලසුම් සහගත රංගනයක් බවයි. මේ ඇය පරීක්ෂණ පිළිබද පල කළ අදහස්.

අලුත් ආණ්ඩුව යටතේ ලසන්ත ඝාතන පරීක්‍ෂණ හොඳින් කෙරෙන්න ගත්තා කියන එක කාටත් පැහැදිලියි. ඒ වගේම කලින් ආණ්ඩුව තියෙනකම් පරීක්‍ෂණ නිසියාකාරයෙන් නොකෙරෙන බවටත් වරදකරුවන් හෝ අණ දුන් අයව හෝ නීතිය ඉදිරියට ගෙන එන එක කරන්න බැරි බවත් බොහෝ දෙනා දැනගෙන හිටියා.
මේ ආණ්ඩුව ආපු ගමන්මත් පරීක්‍ෂණ කටයුතු පටන් ගැනුණේ නැහැ. ටිකක් කල් ගියා. පරීක්‍ෂණ කටයුතු සී.අයි.ඩී. එකට ආපහු භාර දුන්නට පස්සේ ඒ.එස්.පී. තිසේරා මහතා යටතේ පරීක්‍ෂණ කටයුතු හොඳින් කෙරීගෙන යනවා. ඒ ගැන හරිම සතුටුයි.

ලසන්තගේ දේහය නැවත ගොඩගැනීම ලසන්තගේ දරුවන්ට හා අපට ඉතාම සංවේදී හා දරා ගැනීමට අපහසු දෙයක් වුණා. ඒ වුණත් ලසන්ත ඝාතන පරීක්‍ෂණය නියම විදියට කෙරෙන නිසා තමයි මෙහෙම වෙන්නේ කියන එක අපිට ඒ තුළින් දැන ගන්න ලැබුණා. ඇත්තටම ඝාතකයන් සොයා ගැනීමේ වුවමනාව තියෙන නිසයි
පරීක්‍ෂණ කටයුතු මේ ආකාරයෙන් සිදුවන්නේ. දැන් ලසන්ත ඝාතන

පරීක්‍ෂණ කටයුතු සිදු කෙරෙන ආකාරය ගැන සතුටුයි. විශ්වාසය තැබිය හැකි ආකාරයෙන් පරීක්‍ෂණ කටයුතු වන බව තේරෙනවා.
ලසන්තගේ දේහය නැවත ගොඩගත්ත කතාව ඇහුවාම දරුවෝ අඬන්න ගත්තා. තාත්තව මතක් වෙලා එයාලා ගොඩක් දුක් වුණා. ලසන්ත නැති වෙනකොට පොඩි පුතාට වයස දහයයි. ලොකු පුතාට දහ අටක් විතර වුණා. පුතාලා දෙන්නා ඒ වෙද්දී මා එක්ක ඕස්ට්‍රේලියාවේ හිටියේ. දුව හිටියේ තාත්තා ළඟ. ලසන්ත බැන්දත් දුව එක්ක නුගේගොඩ අපේ ගෙදරයි හිටියේ.
දුව තමයි ගොඩාක්ම ලසන්තට ළඟින් හිටියේ. එදා ලසන්තව ඝාතනය කළ දවසේත් ලසන්ත ගෙදරින් යද්දී දුව තාත්තව බදාගෙන ‘ඕඥ ඛ්චපඥටභත ඊචබබඪ’ (පරිස්සම් වෙන්න තාත්තේ) කියලා කියා තිබුණා. එහෙම ගිය තාත්තා මරා දාලා කියලා ටික වේලාවකින් ටී.වී. එකෙන් දැක්කාම ඒක එයාට ලොකු කම්පනයක් වගේම ලොකු දුකක් වුණා.

ඒ වන විට දුව පාසල් යමින් හිටියේ. පාසල් ගමනත් කඩාකප්පල් වුණා. මානසික කම්පනය නිසා. ලසන්ත ඝාතනය වූ බව අහලා ඕස්ට්‍රේලියාවේ හිටපු ගොඩක් නෑ හිතවතුන් මිතුරු මිතුරියන් ආවා මං හිටිය තැනට. ඒ අය මට උදවු වුණා. මගේ අක්කා ගුවන් ටිකට්පත් බුක් කළා අපිට ලංකාවට එන්න. මං පුත්තු දෙන්නත් එක්ක ආවා. අවසන් කටයුතු ඉවර වුණාට පස්සේ මං දරුවෝ තුන් දෙනාත් එක්ක ආපහු ඕස්ට්‍රේලියාවට ආවා.

ඊට පස්සෙ ගතවූ අවුරුදු අටේ පුදුම විදියේ සටනක් තමයි අපි ගෙනගියේ. තාමත් එහෙමයි. කවුරුත්ම ඒ ගැන දන්නේ නැහැ. ඔක්කොමලා හිතන්නේ ආ ඒ ගොල්ලෝ ඕස්ට්‍රේලියාවෙනේ හොඳින් ඇති කියලයි. ළමයින්ගේ මානසික ප්‍රශ්න, මූල්‍ය ප්‍රශ්න මේ ඔක්කොම ප්‍රශ්න එක්ක මේ අවුරුදු අටේම හැමදේම මට තනියම කරගන්න වුණා. ලසන්න ඉතිං ළමයින්ට පණ වගේ ආදරේ කළානේ. ලංකාවේ ඉ¼දලා හැමදාම ඕස්ට්‍රේලියාවට කතා කළා ළමයි හොඳින් ඉන්නවද කියලා දැනගන්න. මැරෙන දවස වෙනකම්ම ළමයින්ට කෝල් කළා.
ලසන්ත ඝාතනය වූ බව දැනගන්නකොට මං හිටියේ ඕස්ට්‍රේලියාවේ. ඒක ඇහුව දවස මගේ ජීවිතේ ඉතාම දුක්මුසු දවස කියලා කියන්න පුළුවන්. එදා පිටරටක වුණත් අපේ ගෙදරම මළගෙයක් වුණා.

ගොඩක් අය ගෙදරට ආවා. හැමෝම අඬනවා. කතා බහ කරනවා. පොඩි පුතාට තේරුමක් නැහැ. එයා හිතනවා තාත්තට තුවාල වෙලා ඉස්පිරිතාලේ කියලා. එයාර් පෝර්ට් එකේදී මගෙන් ඇහුවා තාත්තා මං ගිය ගමන් හන්ඩ්‍රඩ් කිසස් ඉල්ලයි නේද කියලා. මට සිද්ධ වුණා ගොඩක් අමාරුවෙන් හරි තාත්තා ආයෙත් එහෙම කතා කරන්නේ නැහැ කියලා එයාට එතනදීම තේරුම් කරලා දෙන්න. ඒ වෙලාවේ දරුවාට පුදුම දුකක් ඇතිවුණේ. මාත් පුදුම දුකකින් එයාට කිව්වේ. මං හිතන්නේ නෑ පුතා තාත්තිව ආයෙ කතා කරන්න පුළුවන් වේවි කියලා. තාත්තා නැතිවෙලා කියලා. එයා ඒවෙලේ කෑගහලා ඇඬුවා.

අපි දුර හිටියට ලසන්ත ඝාතනය ගැන පරීක්‍ෂණ සිදු වෙන්නේ කොහොමද කියන එක ගැන හොඳ අවධානයකින් තමයි ඉන්නේ. ළමයි නිතරම අන්තර්ජාලය හරහා ඒ තොරතුරු හොයනවා. පරීක්‍ෂණ මෙහෙයවන පොලිස් නිලධාරීන්ට කතා කරලා මං තොරතුරු අහනවා. ලසන්ත වෙනුවෙන් ඒ වගේම දරුවන් වෙනුවෙන් ලසන්තට යුක්තිය ඉෂ්ට කරගන්න ඕන. ළමයි වෙනුවෙන් මගේ යුතුකම ඉෂ්ට කරන්න ඕන. තාත්ත මැරෙනවිට පොඩි පුතාට අවුරුදු දහයයි. දැන් දහ අටයි. දැන් තමයි එයාට තේරෙන්නේ තාත්තාට සිදුවූ අපරාධය ගැන. දැන් තමයි එයා උසස් පෙළ කරන්නේ. මෙච්චර කල් මොනවද ඉස්සරහට ඉගෙන ගන්නේ කියලා තීරණය නොකළ එයා දැන් තීරණය කරලා තියෙනවා ජනමාධ්‍ය තමයි කරන්නේ කියලා. දැන් එයාට තේරෙනවා තාත්තා මාධ්‍ය වෙනුවෙන් කළ කැපකිරීම. තාත්තා මැරෙන කොට එයාට ඒ ගැන දැනුමක් නැහැ. පසුගිය කාලයේ තාත්තා ගැන කියවලා දැන් දන්නවා. එයා ඒ කාලේ දැනගෙන හිටියේ තාත්තා කිතිකවනවා, හුරතල් කරපුවා විතරයි. ලසන්ත පුදුම විදියට පොඩි පුතාට ආදරය කළා. දැන් පොඩි පුතා කියනවා තාත්තා කරපු රැකියාවම මං කරනවා කියලා.

ළඟදී ලසන්ත ඝාතනය කළේ තමන් කියලා කෙනකු සියදිවි නසාගෙන තිබුණා. නමුත් ඔහුගේ දුරකතන ඇමැතුම් පරීක්‍ෂා කිරීම තුළින් තහවුරු වී තිබෙනවා ඒ දිනවල ඔහු කොළඹ ඉඳලත් නැහැ කියලා. ඒ සිදුවීම වූ ගමන්මත් අපි දැනගත්තා ඒක ඇස්බැන්දුමක් කියලා. මේවා පසුබිමේ ඉන්න නියම අපරාධකාරයෝ හිතනවා ඇත්තේ ලංකාවේ ඉන්නේ පුදුම මෝඩයෝ වගයක් කියලා වෙන්න ඇති. අමුතු දේවල් කරලා පරීක්‍ෂණ නොමඟ අරින්න හදනවා කියන සැකය අපට ඇති වෙනවා. කොච්චර පාපයක්ද දරුවෝ ඉන්න තාත්තා කෙනකුට ඔවැනි දෙයක් කරන එක. මේ පව් කවදා කොහොම ගෙවයිද කියලා මං දන්නේ නැහැ. ඕවට වගකියන අයනම් ඔය දේවල් කරන්නේ තම තමන් ආරක්‍ෂා වෙන්න වටේ ඉන්න ඕන කෙනකුට හානියක් කරන්න ඒ අයට පුළුවන් බව පේනවා.
සන්ඩේලීඩර් එක පටන් ගන්නකොට ලසන්තත් එක්ක මාත් එකතුවෙලයි ඒක පටන් ගත්තේ.

මාත් මාධ්‍යවේදිනියක් විදියට ලංකාවේදී වැඩ කළා. 1979දී දවස කාර්යාලයට බැඳුණා. ලසන්ත 1980දී දවසට බැඳුණා. මං තමයි ලසන්තට වැඩ කියලා දුන්නේ. අපි දෙන්නම උප කර්තෘවරුන් විදිහටයි වැඩ කළේ. මං ටොකු ඇන ඇන තමයි ලසන්තට කියලා දුන්නේ. ඒ අතර තමයි අපි පෙම්වතුන් වුණේ. ඊට පස්සෙ අපි දෙන්නම නීති විද්‍යාලයට ඇතුළු වුණා. ලසන්තට තමයි ඕනේ වුණේ නීතිය හදාරන්න. ලසන්ත මාවත් ඇදගෙන ගියා. අපි දෙන්නම ප්‍රවේශ විභාගයට ලියලා සමත් වෙලා නීති විදුහලට ඇතුළු වුණත් මං මඟදී නතර වුණා. ලසන්න දිගටම ගිහින් නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන්නා. 1987දී අපි බැන්දා. ඒ වෙනකොට එයා දි අයිලන්ඩ් පුවත්පතට වැඩ කළා. 1989දී ශ්‍රී .ල.නි.ප.යෙන් උතුරු කොළඹ ආසනයට මැතිවරණයට තරග කළත් පැරදුණා. ඒක ඒකාලේ එ.ජා.ප.යට දැඩිව බර ආසනයක්. ඊට පසු බණ්ඩාරනායක මැතිනියගේ පුද්ගලික ලේකම් වීමට ආරාධනයක් ලැබුණා. ඒ දවස්වල ලසන්ත අධිනීතිඥ රංජිත් අබේසූරිය ළඟ නීතිඥයකු ලෙස සේවය කළා. ඒ වගේම ලේකම් හැටියට වැඩත් කළා. පත්තරේ වැඩත් කළා. ඒ වෙනකොට මං සන්ඩේ ටයිම්ස් පත්තරේ වැඩ කරනවා. ලසන්ත එහි ‘සුරනිමල’ තීරු ලිපිය ලිව්වා. සන්ඩේ ටයිම්ස් පුවත්පතට සුරනිමල කියන නමත් දුන්නේ මං තමයි. කඩුවට වඩා පෑන බලවත් කියනවානේ. ඉතිං දුටුගැමුණු රජතුමාගේ යෝධයකු වූ සුරනිමල කඩුවෙන් සටන් කළ නිසා මේ සුරනිමල පෑනෙන් ඊට වඩා සටනක් කරාවි කියලා හිතලයි මං ඒ නම යෝජනා කළේ.
ඒ තීරු ලිපිය ලියද්දී රන්ජන් විජේරත්නලාගෙන් එහෙම මරණ තර්ජනත් ඇති වුණා. ජේ.වී.පී. කලබල තිබුණ කාලයේ අපි ටික කලකට ඕස්ට්‍රේලියාවට ආවා. එතකොට ලොකු දරුවා විතරයි හිටියේ. ආපසු ලංකාවට ගිහින් ලසන්තගෙ අයියා ලාල් එක්ක සන්ඩේ ලීඩර් පටන් ගත්තා. ඔහු එහි ප්‍රධාන කර්තෘ වුණා. මං තනතුරු භාර ගන්න කැමැති වුණේ නැහැ. මං විශේෂාංග උපදේශකවරියක් විදියට හිටියා. ඒත් හැමදේම කළා. ලිව්වා, සංස්කරණය කළා පාර්ලිමේන්තුව කළා. අපි දෙන්නා ජීවිතය හොඳින් ගෙව්වා. සන්ඩේ ලීඩර් එකේ අපට ඉතාම හොඳ කාර්ය මණ්ඩලයක් හිටියා. තරුණ කට්ටිය.

අපි කොච්චර දුර හිටියත් ලසන්ත වෙනුවෙන් යුක්තිය ඉෂ්ට වෙනකම් බලා ඉන්නවා. පළි ගැනීමේ චේතනාවකින් නෙවෙයි කරන්නේ. වරද කළවුන්ට දඬුවම් ලැබිය යුතුයි. ලසන්ත වෙනුවෙන් යුතුකම ඉටු විය යුතුයි. මාධ්‍යවේදීන් ඝාතනය කරලා හිරිහැර කරලා, මාධ්‍යවේදීන් විතරක් නොවෙයි වෙනත් මිනිසුන් මරලා කොයිතරම් උසස් තැනක හිටියත් ගැලවීමක් නැති බව ඒ වගේ අපරාධ කරන අය දැනගත යුතුයි.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා පත්වීම ගැන අපි හරියට සතුටු වුණා. අනිත් දේශපාලනඥයන් හා සංසන්දනය කළ විට ලොකු වෙනසක් පෙනුණා. ඔහු තමාට තිබූ විධායක බලතල අතහැරියා. එහෙම බැලුවාම කවදාවත් අපේ රටට මේ වගේ ජනාධිපතිවරයෙක් ඉඳලා නැහැ. ළඟදී ජනාධිපතිවරයා රණවිරුවන් අත්අඩංගුවට ගැනීම ගැන අප්‍රසාදය පළ කරලා තිබුණා. ඒ වගේ කතාවක් ජනාධිපතිවරයා කිරීම ගැන මට පුදුමත් ඇති වුණා. රට බේරා ගැනීමට කරපු දායකත්වය නිසා අපිට යුද හමුදාව ගැන ලොකු ගෞරවයක් තියෙනවා. ඒ වුණත් නීතියට පිටින් ගිහිල්ලා අපරාධ වැරැදි කළා නම් හමුදා නිලධාරියකු වුවත් නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය යුතුයි. ජනාධිපති වුණත් හමුදා නිලධාරීන්ට දඬුවම් ලබාදීම ගැන අප්‍රසාදයක් හැඟ වෙන කතාවක් කළා නම් ඒක වැරැදියි කියන එකත් මං කියන්න ඕන.

ප්‍රගීත්ගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ

ප්‍රගීත්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නව දෙනාම මේ වනවිට ඇප මත නිදහස් කරලයි තියෙන්නේ. ඔවුන් සාමාන්‍ය ජීවිත ගත කරනවා දැන්.
සමස්තයක් විදියට ගත්තාම පසුගිය කාලයේ සිදුවූ පරීකෂණ කටයුතුවලදී හමුදා බුද්ධි අංශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (ඛ්ධ්ච්) සහයෝගය හොඳින් ලැබුණේ නැහැ.
හමුදා බුද්ධි අංශය විසින් අවශ්‍ය වාර්තා දුන්නේ නැහැ. දීපු වාර්තා ව්‍යාජ වාර්තා. අධිකරණය ඉල්ලන වාර්තා ලබාදෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රගීත් ඝාතනය ගැන පරීක්ෂණවල සාමාන්‍ය ස්වභාවය වුණේ.

ඒ වගේම දුරකතන තොරතුරු පෞද්ගලික සමාගමකින් ලබා ගන්න දීර්ඝ කාලයක් ගියා. ඔවුන් කියා සිටියේ මාස තුනක් ඇතුළත දුරකතන තොරතුරු විතරයි දෙන්න පුළුවන් කියලා. අධිකරණ නියෝග දීලත් ඒ දුරකතන තොරතුරු සැපයුවේ නැති නිසා අධිකරණයට එම දුරකතන සමාගම කැඳවන්න වෙලා තියෙනවා.
මේ සිදුවීම පසුපස ප්‍රබල පුද්ගලයන්ගේ බලපෑම් තිබෙන බව තමයි පෙනෙන්නේ. ප්‍රගීත්ගේ නඩුවේ සැකකරුවන් අත්අඩංගුවට පත්වූ පසු සාමාන්‍ය සිරකරුවන් ලෙස නෙවෙයි බන්ධනාගාරය තුළ සිටියේ. සාමාන්‍යයෙන් කෙනකු රෝහල් ගත වෙන්නේ රෝගී වූ විටයි. මොවුන් බන්ධනාගාර ගත කළ විට ඉන්නේ රෝහලේයි. ඒත් ඇප පිට එළියට ආපු ගමන් රැකියාවට යනවා. එහෙම දේවල් කොහොම වෙනවද කියා දන්නේ නැහැ. ඒත් එහෙම දේවල් සිද්ධ වුණා කියන එක තමයි මං දන්නේ.
අත්අඩංගුවට ගත්ත සැකකරුවන්ට යම් ප්‍රබල දේශපාලකයන් කණ්ඩායමකගේ බලපෑම තියෙන බව පෙනෙනවා. මෙම පරීක්ෂණ කටයුතු හරිහැටි සිදු නොකිරීම පිණිස සැලසුම් සහගතව මාෆියා කල්ලියක වැඩක් යටින් යනවා කියන එක පැහැදිලියි. සමහර නිලධාරීන් අධිකරණය හමුවේ තමන්ගේ අස්සන පවා පිළිගන්න අදිමදි කරනවා. එය තමන්ගේ අස්සන කියලා පිළිගන්න පවා වෙනත් ඉහළ නිලධාරියකු අවසරය ඕන ඔවුන්ට.

ඒ වගේම සාක්කි දෙමින් සමහර බිරියන් කියනවා මේක තමයි මගේ මහත්තයගේ දුරකතන අංකය. මේකට තමයි මං මගේ මහත්තයට කතා කළේ කියලා. ඒත් සැමියා කියන්නේ ඒක තමන්ගේ දුරකතන අංකය නෙවෙයි කියලා. ඔය වගේ අරුම පුදුම සිදුවීම් තමයි මේ පරීක්ෂණ තුළදී මට දකින්න ලැබුණේ.
ප්‍රගීත් නඩුවේ සැකකරුවන්ගෙන් සමහර අයට ජනාධිපතිවරයාගේ කතාවට පෙර ඇප ලැබුණා. දෙන්නකුට ඒ කතාවෙන් පසුව ඇප ලැබුණා. ඒ කතාව කුමන ආකාරයෙන් බලපෑවද කියන්න දන්නේ නැහැ. ඒත් මට එක දෙයක් පැහැදිලියි. මේ සියල්ල පිටුපස්සේ ප්‍රබල කණ්ඩායමක් ඉන්නවා. අපි වගේ වින්දිතයන්ට තමයි මේ වගේ දේවල්වලින් විශාල පීඩනයක් ඇතිවන්නේ.
දැන් පහුගිය දවස්වල ලසන්තගේ ඝාතනය තමන් කළා කියලා ලියලා තියලා පුද්ගලයකු සිය දිවි නසා ගත්තා. ඒ සිදුවීම පිටුපස යම් සැලසුමක් ඇති බව තමයි පෙනෙන්නේ. මාධ්‍යයෙන් දැක්කේ ලසන්ත ඝාතනය වන වෙලාවේ ඒ පුද්ගලයා බොහෝ දුරක සිටි බව දුරකතන ඇමැතුම මඟින් හෙළිවන බවයි. මේවා සිදුවන ආකාරය බැලුවාම යුද හමුදවේ බුද්ධි අංශයේ වැඩ කරන අයගේ සම්බන්ධකම් ඇති බව පෙනෙනවා. මේ වගේ දේවල් රණවිරුකම්ද කියන ප්‍රශ්නය ඇති වෙනවා. මේ අය කාගේ හරි කොන්ත්‍රාත්කරුවන්ට වැඩ කළා නම් එය හෙළිදරව් කළ යුතුයි. සිය දිවි නසා ගැනීම් වැනි මවා පෙන්වීම්වලින් පැහැදිලි වන්නේ නියම අපරාධකරු වන යම් ප්‍රබල පුද්ගලයකුගේ නම හෙළිවීම වැළැක්වීමට ඉතාම සැලසුම් සහගත කටයුත්තක් සිදුවන බවයි.
ප්‍රගීත්ගේ මෘත ශරීරය හමු වී නැති නිසාත් මරනවා කිසිවකු දැක නැති නිසාත් තහවුරු කිරීමට නොහැකි බවට ඔවුන් තර්ක කරනවා. මං අහනවා එහෙනම් අරන් ගියා කියලා තහවුරු වෙලා තියෙන නිසා අරන් ගිය මිනිහට මොකද වුණේ කියලා.

ප්‍රගීත්ගෙත් මගෙත් දරුවෝ ප්‍රගීත් එනකම් බලා ඉන්නවා. ප්‍රගීත් මැරුවා නම් මං ප්‍රගීත්ගේ ඇට කැබැල්ලක් හරි දැකිය යුතුව තිබෙනවා. අපරාධයක් කියන්නේ රජයට එරෙහිව කරන වරදක්. රජයේ නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපරාධයක් හොයන්න උත්සාහ ගනිද්දී රජයේම ආයතන වන හමුදාව එම කටයුතුවලට සහාය නොදෙනවා.

ප්‍රගීත්ට කළ අපරාධය සැලසුම් කළ ප්‍රබලයන් මං කොහෙද යන්නේ මොකද කරන්නේ කියා නිතර හොයා බලමිනුයි ඉන්නේ. මාස කිහිපයකට කලින් මං බුද්ධි අංශ පාවා දෙනවා, කොටින්ට උදවු කරනවා කියා පෝස්ටර් ගැහුවා. පසුගිය කාලේ මට නිර්නාමික දුරකතන ඇමැතුම් ආවා. මාව බය කරන්න, මං මොනවද කරන්නේ කියා දැනගන්න උත්සාහ කරනවා. මගේ ජීවිතයට ඇති තර්ජන ගැන මං පොලිසිය දැනුවත් කරලා තියෙන්නේ.

(Mawbima)

ඔබගේ අදහස අපට කියන්න

Close