මිය ගිය අයෙක් යළි උපතක් ලබන හැටි බුදුදහමේ කියවෙන හැටි

සෑම ක්‍රියාවකට ම කුමන හෝ ප්‍රතික්‍රියාවක් ඇතිවිය හැකිය. සත්වයාගේ උපත, විපතට මෙන්ම පැවැත්මට ද එය බලපානු ලැබේ. ස්ත්‍රී – පුරුෂ ආත්මභාව මතු නොව තිරිසන් හා භූතාත්ම ආදී විවිධාකාර ආත්මභාව ලැබීමට ද එබඳු ක්‍රියාකාරකම් හේතු වේ. සසරේ ස්වභාවය කියාපාන බොහෝ ඉසව් සොයා ඉදිරියට අපි සක්මන් කළෙමු.  එහිදී අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමිතොරතුරු දේශනා කළ  “සක්වළ සක්මන” 43 වෙනි සටහනයි මේ.

මහ නායක හාමුදුරුවනේ, බලශක්ති විශේෂ උත්පාදනය වෙන විධියට සත්වයන්ගේ උත්පත්තියක් සිද්ධ විය හැකිද?

දැන් ඩයිනමෝවක් කැරකීමෙන් විදුලි බලය ජනනය වෙනවා. මෙලෙස වස්තූන්ගේ ගැටීම හේතුවෙන් ශක්ති විශේෂ උපදිනවා. ඒවා කිහිපයක් එකට මුසු වීමෙන් තවත් බලයක් නිර්මාණය වෙනවා. අචේතනික (අජීවී) ව වගේම සචේතනික (ජීවී) වශයෙනුත් මෙම සිද්ධාන්තය සියුම්ව හා සක්‍රීයව සිදු වෙන්නක්. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ යන ශක්ති විශේෂ පහ (05) ක් මෙසේ උපන් ඒවායි. මෙම ශක්ති විශේෂ පහ එකිනෙක වැලඳගත් පසු උපාධානස්කන්ධ බවට පත් වෙනවා. මෙසේ ‘සත්වයා’ යන තත්ත්වයට පත්වීමෙන් පසු එක ජීවිතයක් අවසන් වූවත් එම සත්වයාගේ අනන්‍යතාවය නතර වෙන්නේ නැහැ. මෙම උපාධානස්කන්ධ සංයුතිය හෙවත් ශක්ති විශේෂය පවතිනතාක් සත්වයාද පැවතෙනවා. එක ජීවිතයක් නිමා වූ පමණින් එම ශක්ති විශේෂය අවසන් වෙන්නේ නැහැ. නැවත නැවත විවිධ ආත්මභාව ලැබ එය ක්‍රියාත්මක වෙනවා.

ආත්මභාව ලබන හැටි

එතකොට, මෙමඟින් විවිධ ආත්මභාව ලැබීම සිදු වෙන්නේ කොහොමද?

උපාධානස්කන්ධ සංයුතියේ පවතින කර්ම ශක්තීන්වල ප්‍රබලත්වය අනුවයි, ඒක සිද්ධ වෙන්නේ. එලෙස මිනිස් මවකගේ කුසෙහි හටගත් ජීවයක් (කළලයක්) අල්ලාගත්විට මනුෂ්‍යයකු ලෙස වැඩෙනවා. ස්ත්‍රී ස්වභාවය ප්‍රධාන කොට වැඩෙන ජීවයක් අල්ලාගත්විට ස්ත්‍රියක් ලෙස බිහිවෙනවා. පුරුෂ ස්වභාවය ඇති ජීවියෙක් අල්ලාගත්විට පුරුෂයකු ලෙස පෙනී සිටිනවා. මෙහිදී තිරිසන් මවකගේ කුසක පවතින ජීවියෙක් (කළලයක්) ඇසුරු කිරීමට සිදුවුවහොත් එම වර්ගයේ තිරිසන් සතෙකු වෙනවා. මෙසේ කුමන හෝ මව්කුසක ඇති වූ ජීවයක් ඇසුරු නොකර වෙනත් ඉතා සියුම් පදාර්ථයන් ඇසුරු කරගෙන සිටින විට සූක්‍ෂම (ඒඵබපචත) ශරීර දරාගෙන සිටිනවා. ඒවායේ පවතින වෙනස්කම් අනුව සමහරක් ‘භූතාත්ම’ (ප්‍රේතාත්ම) ලෙසත් සමහරක් ‘දේවාත්ම’ ලෙසත් සමහරක් ‘බ්‍රහ්මාත්ම’ ලෙසත් හඳුන්වනු ලබනවා.

මරණින් මතු පැවැත්ම

එහෙමනම්, මරණින් මතු අපට කවර ලෝකයක කුමන ඉරණමකට පත්විය හැකිද?

මෙය එක ලෝකයකට සීමා වී නැහැ. එක ලෝකයක ගත කළ සත්වයකු, වෙනත් ලෝකයක ජීවිතයක් ආරම්භ කිරීම හා නැවත ආපසු පැමිණීමද සිදු වෙනවා. මෙසේ ජීවත් වන මනුෂ්‍යයන්ගෙන් සමහරෙක් ජීවිතය අවසන් වීමෙන් පසුව දුක් බහුල වූ උපතකට පැමිණෙනවා.සමහරෙක් මව් කුසකටම යළි පැමිණෙනවා. සමහරු දිව්‍යාත්මයන්ට ගමන් කරනවා. උපාදානයන් නැති කළ අය පිරිනිවෙනවා. එහෙමත් නැතිනම් නැවත උපතක් ලැබීමෙන් වළකිනවා. යනුවෙන් බුද්ධ දේශනාවේ විස්තර කෙරෙනවා.

පෙර භව තොරතුරු

හොඳයි. එවැනි තත්ත්වයන්ට පත්වීම සඳහා අප විසින් වැඩිදියුණු කර ගනු ලැබිය යුතු වෙන්නේ මොනවාද?

පරිත්‍යාගය, මෛත්‍රිය හා කරුණාව වැනි උතුම් සිතිවිලි වැඩිදියුණු කර ගැනීමෙන් සැප බහුල වූ ජීවිතවලට යාමට භාග්‍යය ලැබෙනවා. අනෙක් අතට ලෝභය, කෝපය, මානය හා ඊර්ෂ්‍යාව ආදී පවිටු සිතිවිලි දියුණුවීම නිසා දුක් බහුල ජීවිතවලට පත්වීමද සිදු වෙනවා. මෙයින් කවර ජීවිතයක් ගත කළත් එම ජීවිතයට අයිති (හිමි) ආයුෂ අනුව පමණක් පැවතිය හැකියි. ඇතැම්විට, ආයුෂ ඉතිරිව තිබියදී අනපේක්‍ෂිත විපතක් නිසා ජීවිතය අවසන් වූ විට නැවත එම මට්ටමේ ජීවිතයකට ම පත්වන බව දක්නට ලැබෙනවා. තමන්ගේ පෙර ආත්මයේ විස්තර කියන කුඩා දරුවන් සැම දෙනාම පාහේ මෙසේ අඩු ආයුෂ ගතකර පෙර ජීවිතය අවසන් කළ අයයි. මෙතෙක් අනාවරණය වී ඇති එවැනි බොහෝ පුනරුප්පත්ති කථාවලින් පවා මෙය තහවුරු වී තිබෙනවා.

සසර ගමන අතර

එහෙමනම්, අපේ මේ සසර ගමනේ ස්වභාවය ගැන සරලව පැහැදිලි කරන්නේ කොහොමද?

මෙසේ සසර ජීවිත ගතකරමින් පැවත ගෙන යන උපාදානස්කන්ධ සංයුති විශාල වූ අසංඛ්‍ය සමූහයක් (ගැණිය නොහැකි තරම්) විශ්වය පුරා එහා මෙහා හැසිරෙමින් ජීවිත මාරු කර ගනිමින් ගත කරනවා. කවර ශ්‍රේණියක ජීවිතයක් හෝ දරන කළ එම ශ්‍රේණියේ ජීවිත ගත කරන තවත් බොහෝ පිරිසක් හමුවෙනවා. මේ විධියට පෙරවතාවකදී එක්ව සිටි කෙනෙකු ඊට පසු වතාවලදී වුණත් කොතෙකුත් හමු විය හැකියි. දැන් මේ විධියට දුම්රියකට නැගී පිරිසක් ගමනක් යනවා කියලා හිතන්න. එහි නැවතුම් පළකදී කිහිප දෙනෙක් බැහැලා යනවා. එතනදී නැග්ග මගීන් ඉන් හිස්වුණ අසුන්වල හිඳගන්නවා. දුම්රියෙන් බැස්ස මගීන් බස්රථවලට ගොඩවෙනවා. බස්වල කලින් ගමන් කළ මගීන් බැසගිය පසු ඔවුන්ට එම ආසනවල හිඳගැනීමට හැකියාව ලැබෙනවා. අපේ සසර ගමනත් ගෙවී යන්නේ මේ විධියටමයි.

ඔබගේ අදහස අපට කියන්න

Close