ලසන්ත ඝාතනය කළ බව කියා මිය ගියේ මේ ජයමාන්නමද ?

සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමන් යැයි සඳහන් කොළ කැබැල්ලක් තබා සිය දිවි හානිකර ගත්තේ යැයි කියවුණු යුධ හමුදා බුද්ධි අංශයේ හිටපු සාජන් මේජර්වරයකු වූ ඉලන්දාරිගේ එදිරිසිංහ ජයමාන්නගේ මරණයට අදාළව සැකයට භාජනය වන තවත් සිදුවීමක් ගැන අපි පසුගිය සතියේදී ඔබට කීවෙමු. ඒ මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට බලපෑම් කරමින් ඔහු පසුපසින් ආ, එක්වරක් ඔහු හමුවීමටද ආ, යුද හමුදා බුද්ධි අංශයේ යැයි කියාගත් පුද්ගලයකු පිළිබඳවය. එම පුද්ගලයා ඔහු හඳුන්වාගෙන තිබුණේ ආනන්ද ජයමාන්න නමින්ය.
ශාන්ත විජේසූරියගේ ජංගම දුරකථනයට යුද හමුදා බුද්ධි අංශයේ යැයි ඇමතුම් ලබාදෙමින් හා ශාන්ත විජේසූරිය හමුවීමට පැමිණීමෙන් එම ආනන්ද ජයමාන්න නමැති පුද්ගලයා විමසා තිබුණේ ආරක්ෂක අංශ සම්බන්ධයෙන් වෙබ් අඩවිවලට තොරතුරු ලබාදෙන්නේ හෝ තොරතුරු වාර්තා කරන්නේ කවුද යන්න හෙළිදරව් කරන ලෙසය. විශේෂයෙන් ම ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට ‘සොල්දාදු උන්නැහේ’ නමින් ලියන්නේ කවුද යන්න පිළිබඳවය. එසේ එම තොරතුරු හෙළිදරව් කරනවා නම් ශාන්ත විජේසූරියට මූල්‍යමය වශයෙන්ද, රාජ්‍ය මාධ්‍ය ආයතනයක රැකියාවක්ද, නිවාසයක්ද ආදි වශයෙන් උදව් උපකාර කළ හැකි බවද ඔහු පවසා තිබුණි. එකී වරදාන හමුවේ කරුණු හෙළිදරව් කිරීම ප්‍රතික්‍ෂේප කිරීම තුළදී, ඔහු ශාන්ත විජේසූරියට තර්ජනය කර තිබුණේ එවක ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ දැනුම් දීම අනුව එම තොරතුරු ඔහු ඉල්ලන බවත්, එම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ ගැන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට කියන්නට සිදුවන බවත්ය. එමෙන්ම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම තුළ “උඹට වෙන දේ බලාගනින්” යනුවෙන් ඔහු ශාන්තට තවත් ආකාරයකට තර්ජනය කර තිබුණි.
මේ බුද්ධි අංශ සාමාජිකයා දිගින් දිගටම දුරකථන ඇමතුම් ලබාදෙමින් හා පසුව එවකට ශාන්ත විජේසූරිය සේවය කළ මව්බිම පුවත්පත් ආයතනය අසලට පැමිණ ඔහු හමුවී ඉහත කී තොරතුරු ලබාදෙන ලෙස කරමින් තිබූ තර්ජනයට පිළියමක් වශයෙන් ඒ පිළිබඳව පැමිණිල්ලක් පොලිස්පතිවරයාට යොමු කිරීමට මාධ්‍ය සංවිධාන නියෝජිතයන්ද සමඟ ගියමුත් පොලිස්පතිවරයා එම පැමිණිල්ල බාර නොගෙන ශාන්ත පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයට එම පැමිණිල්ල කරන ලෙස දැනුම් දීමෙන් පසු 2011 ඔක්තෝබර් 25 දින CIB /11/285/64 වශයෙන් එම පැමිණිල්ල පිළියන්දල පොලිසියට කරන ලදි.
එම සිදුවීමෙන් පසු කාලයේදී බුද්ධි අංශ සාමාජිකයා කිව් ලෙසට මව්බිම පුවත්පත් ආයතනය ශාන්ත විජේසූරියට දැන්වූයේ ඔහු නිසා එම ආයතනයට විවිධ බලපෑම් එල්ලවී ඇති බවත් එම නිසා සේවයෙන් ඉල්ලා අස්වෙන ලෙසත්, අවශ්‍ය ඕනෑම මූල්‍ය උපකාරයක් කිරීමට ආයතනය සූදානම් බවත්ය. එම අවස්ථාවේදී ශාන්ත විජේසූරිය මව්බිම පාලනාධිකාරියට දන්වා තිබුණේ එම ආයතනික ඉල්ලීම ලිඛිතව ලබාදෙන්නේ නම් ඔහු ඉල්ලා අස්වීමට සූදානම් බවය. එවැනි ලිඛිත ඉල්ලීමක් කිරීමට මව්බිම පුවත්පත් ආයතනයට එදා පැවති වාතාවරණය අනුව කිසිදු ඉඩක් නොතිබුණි. එහෙත් ඔවුහු ශාන්ත විජේසූරිය එම ආයතනයෙන් ඉවත් කිරීමට නීතිමය හිඩැසක් හමුවන තෙක් ටික දිනක් කල් මැරුවෝය. ඒ ශාන්ත විජේසූරියගේ මාස හයක පරිවාස කාලය අවසන් වන තෙක්ය. එහිදී මව්බිම පුවත්පත් ආයතනය ශාන්තට ලිඛිතව දැනුම් දුන්නේ ඔහුගේ කාර්ය සාධනය (roformance) හොඳ නැති බැවින් ඔහුගේ සේවය තවදුරටත් දික් නොකරන බවය.
ආණ්ඩුවේ බලපෑම මත මව්බිම පුවත්පත් ආයතනයෙන් ශාන්ත විජේසූරිය ඉවත් කිරීමත් සමඟම ඔහුගේ ආරක්ෂාව තවදුරටත් අනතුරට ලක්වූ අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන එකමුතුව අවධානය යොමුකර තීරණය කළේ මව්බිම පුවත්පත් ආයතනයේ හිමිකරු ටිරාන් අලස් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. ඒ අනුව මේ ලියුම්කරු ශාන්ත විජේසූරිය ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ වේදීන්ගේ සංගමයේ (එවක ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය) ලිපි ශිර්ෂයකින් ටිරන් අලස් මහතාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටි අතර ඒ සඳහා ඉතා ඉක්මනින්ම සාකච්ඡාවක් ලැබුණි. එම සාකච්ඡාවට ලියුම්කරුද, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් සුනිල් ජයසේකර හා උදය කළුපතිරණද මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය වෙනුවෙන් ධර්මසිරි ලංකාපේළි ද මුස්ලිම් මාධ්‍ය සංවිධානය වෙනුවෙන් මුසම්මිල්ද සහභාගි වූහ. ටිරාන් අලස් මහතාද, ඔහුගේ පුවත්පත් ආයතනයේ මූල්‍ය ප්‍රධානී බස්නායක මහතාද, සිලෝන් ටුඬේ පුවත්පත්හි කර්තෘවරුන් වූ ලලිත් අලහකෝන් හා හනා ඊබ්‍රාහිම්ද, මව්බිම පුවත්පත්හි කර්තෘවරුන් වූ තුෂාර ගුණරත්න හා උපුල් ජෝශප් ප්‍රනාන්දු ද එම පාර්ශ්වයෙන් සහභාගි වූහ.

එම සාකච්ඡාවේදී ටිරාන් අලස් මහතා දිගින් දිගටම අවධාරණය කළේ ශාන්ත විජේසූරිය සේවයෙහි තබා ගැනීමට නොහැකි වුවත් ඔහුට රැකියාවක් ලැබෙන තුරු ආර්ථික වශයෙන් උදව් කිරීමට ඔහු සූදානම් බවයි. එහෙත් අපගේ අවධාරණය වූයේ ඒ මොහොතේ ශාන්ත විජේසූරිය ඉවත් කිරීම තුළින් ඔහුගේ ජීවිතයට ඇතිවී ඇති අවදානමයි. ටිරාන් අලස් මහතා වචනයෙන් නොකීවද ශාන්ත විජේසූරිය සම්බන්ධයෙන් ඔහුට ඇති බලපෑම ගැන අපට තේරුම් ගැනීමට අපහසු නොවීය. නැතිනම් ඔහු කාර්ය සාධනය නැතැයි කියන ශාන්ත විජේසූරියට ආර්ථික වශයෙන් උදව් කිරීමට පොරොන්දු වන්නේ හෝ උනන්දු වන්නේ හෝ නැත. කෙසේ හෝ ශාන්ත විජේසූරිය ටිරාන් අලස් මහතාගෙන් ආර්ථික වශයෙන් උදව් ගැනීමට තරයේ විරුද්ධ වූ අතර අසාධාරණ ලෙස ඔහු සේවයෙන් ඉවත් කිරීමට එරෙහිව විවිධාකාරයෙන් උද්ඝෝෂණය කරන්නටද විය.
ශාන්ත විජේසූරිය මව්බිම පුවත්පත් ආයතනයෙන් ආණ්ඩුවේ බලපෑම මත ඉවත් කිරීමෙන් පසු ඔහු පසුපස ආ බුද්ධි අංශ නිලධාරියා වන ආනන්ද ජයමාන්න නමැත්තා ඔහුට නැවත කතා කර ශාන්ත ඉවත් කිරීම සම්බන්ධයෙන් “ඔන්න අපි කළා” යනුවෙන් පවසා ඇත.
ඉනුත් ටික කාලයකට පසු එනම් 2012 ජූලි 05 වැනිදා නුගේගොඩ සුපර් මාර්කට් අසලදී ශාන්ත විජේසූරිය පුද්ගලයන් දෙදෙනකු විසින් පැහැර ගැනීමට උත්සාහ කරන ලද අතර එහිදී ශාන්ත ඉන් ගැලවෙන්නේ එම පුද්ගලයන් දෙදෙනා සමඟ පොරබදා ඔහුගේ කමිසය පමණක් පැහැර ගැනීමට පැමිණි පුද්ගලයන් අත රඳවා පලායෑම මගින්ය. එම සිදුවීම පිළිබඳවද ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඊමේල් හරහා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර ආරක්ෂාව සඳහා ශාන්ත ආරක්ෂිත ස්ථානයක රඳවන්නට අපට සිදුවිය. ඉන්පසු ශාන්තගේ ජීවිතාරක්ෂාව පතා ඔහු රටින් පිටකිරීමට තවදුරටත් සිදුවිය.
කෙසේ හෝ ශාන්ත මව්බිම පුවත්පතෙන් ඉවත් කිරීමට පෙර, එනම් 2012 ජනවාරි 09 වැනිදා සිලෝන් ටුඬේ පුවත්පතේ ඡායාරූපයක් සහිත සටහනක් පළවන අතර එහි දැක්වෙන්නේ ඊට පෙර දින ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවති ශිෂ්‍ය උද්ඝෝෂණයක් නිරීක්ෂණයේ යෙදෙන හමුදා බුද්ධි අංශ සාමාජිකයකු ගැනය. එම ශිෂ්‍ය උද්ඝෝෂණය වාර්තා කරන්නට සිය ඡායාරූප ශිල්පියා සමඟ ශාන්ත ගොස් ඇති අතර ඔහු හමුවීමට ආ ආනන්ද ජයමාන්න නමැති බුද්ධි අංශ සාමාජිකයා එහි සිටිනු දැක ඡායාරූප ශිල්පියා ලවා එම ඡායාරූපය ලබාගෙන තිබුණි. ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව ශාන්ත පසුපස ආ ආනන්ද ජයමාන්න නමැති බුද්ධි අංශ සාමාජිකයා රහසක් විය නොහැකිය. ඔහු ඇත්තටම යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයෙක්ද? නැතහොත් බුද්ධි කටයුතු සිදු කළ නිල නොවන අයෙක්ද? තවමත් ඔහු යුද හමුදා බුද්ධි අංශයේ නිල හෝ නොනිල වශයෙන් කටයුතු කරනවාද? ලසන්ත වික්‍රමතුංග ඝාතනය තමා විසින් කළේයැ’යි කොළ කැබැල්ලක ලියා මියගිය ඉලන්දාරිගේ එදිරිසිංහ ජයමාන්න නමැති හිටපු බුද්ධි අංශ සාමාජිකයා හා මෙම ආනන්ද ජයමාන්න යනුවෙන් තමාව හඳුන්වා ගත් පුද්ගලයා එකම පුද්ගලයෙකුද නැද්ද යන්න ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන ආයතනවලට මෙම තොරතුරුත් සමඟ හඳුනා ගැනීමට පහසු වනු ඇත.
සියදිවි හානිකරගත් හමුදා බුද්ධි අංශ සාමාජික එදිරිසිංහ ජයමාන්නත් මෙම ආනන්ද ජයමාන්න නමැති හමුදා බුද්ධි අංශ සාමාජිකයාත් දෙදෙනකු වුවද පසුගිය රාජපක්ෂ පාලන කාලය තුළදී ජනමාධ්‍ය හඹා ආ භීෂණයත්, ජනමාධ්‍යයට එරෙහිව දියත් කරන ලද බිහිසුණු අපරාධත්, ඊට අනුබල හා අණ දුන් පුද්ගලයන් පිළිබඳවත් හඳුනා ගැනීමට අපහසු නොවනු ඇත. ඒ සඳහා කළයුත්තේ එදා සිලෝන් ටුඬේ පුවත්පතේ පෙන්නුම් කර ඇති ආනන්ද ජයමාන්න යනුවෙන් තමා හඳුන්වා ගත් මෙම පුද්ගලයා පිළිබඳව සොයා ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමය.
එහෙත් එය වත්මන් දේශපාලන සන්දර්භය තුළ රහස් පොලිසියට එතරම් ලෙහෙසි එකක් නොවනු ඇත. මන්ද මෙම ආනන්ද ජයමාන්න නමැති පුද්ගලයා යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු නම් කිනම් අපරාධවල යෙදුණද දැනටමත් ඔහු රටේ නායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රණවිරුවෙකු ලෙස සිය සුප්‍රසිද්ධ කතාවේදී අභිෂේක කර ඇති නිසාය. ඒ අනුව රණවිරුවන් නිකරුණේ අත්අඩංගුවට ගැනීම, ප්‍රශ්න කිරීම හා රිමාන්ඞ් භාරයට පත්කිරීම යන චෝදනා මොහු සම්බන්ධයෙන්ද රහස් පොලිසියට එරෙහිව එල්ල විය හැකි බැවින්ය. මන්ද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් ගිරිතලේ හමුදා බුද්ධි අංශ කඳවුරේ රඳවා තබා අතුරුදන් කිරීම සම්බන්ධයෙන් තහවුරු වී ඇති යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් රණවිරුවන් ලෙස ජනාධිපතිවරයා සිය සුප්‍රසිද්ධ කතාවේදී පමණක් නොව ඉන්පසුවත් විවිධ ප්‍රසිද්ධ කතාවලදී හා පුවත්පත් සාකච්ඡාවලදී හඳුන්වාදෙමින් සිටින තත්ත්වය තුළය.
නීතියේ ආධිපත්‍යය ඇති රටක නම් පුද්ගලයන් අතුරුදන් කිරීමේ හෝ ඝාතනය කිරීමේ බලයක් යුද හමුදාව, පොලිසිය ඇතුළු කිසිදු ආරක්ෂක හෝ මහජන සාමයට අදාළ ආයතනයකට ලබාදී නැත. පුද්ගල අතුරුදන් කිරීමක් හෝ ඝාතනයක් හැඳින්වෙන්නේ අපරාධයක් ලෙසය. එම අපරාධ රණවිරු පිරුවටයෙන් වසා වළදැමීමට නොහැකිය. එසේ එම අපරාධ වළදමන්නට උත්සාහ කරන්නා වූකලි එම අපරාධවලට ආධාර, අනුබල, අනුග්‍රහය ලබාදෙන්නෙකි. ඉදිරියටත් එවැනි අපරාධ සිදුකළ හැකි බවට එම අපරාධකරුවන්ට හා එම අපරාධකරුන් අනුගමනය කරන්නන්ට නොකියා කියන්නකි. රටේ සේනාධිනායකයාද, ආරක්ෂක ඇමතිවරයාද වන ජනාධිපතිවරයා අපරාධකරුවන් සම්බන්ධයෙන් එවන් ‘රණවිරු’ ප්‍රකාශ රණවිරු උත්සවවලදී ප්‍රසිද්ධියේම කරන විට නීතිගරුක පුරවැසියන්ට, ප්‍රජාතන්ත්‍රවාදී රටක් බලාපොරොත්තු වන පුරවැසියන්ට යහපාලනය බලාපොරොත්තු වූ පුරවැසියන්ට හා විශේෂයෙන්ම යුක්තිය බලාපොරොත්තු වන වින්දිතයන්ට අත්වන ඉරණම ගැන, අනාරක්ෂිතභාවය ගැන අමුතුවෙන් කිවයුතු නැත.
එහෙත් නොදන්නවා නම්, අවධාරණයෙන්ම කවරකුට හෝ කිවයුත්තේ යුද්ධයකදී පවා තමන්ට යටත්වන, ජීව ග්‍රහණයෙන් අල්ලා ගන්නා සතුරා වුව මැරීමේ අයිතියක් යුද්ධයට අයිති නීතිරීතිවලින්ද කිසිදු පාර්ශ්වයකට පවරා නැති බවය. යුද්ධයකදී යටත් වන හෝ ජීව ග්‍රහණයෙන් අල්ලා ගන්නා සතුරා මැරීම පවා හැඳින්වෙන්නේ යුද අපරාධයක් ලෙසය. ඉතිං යුද්ධයට සම්බන්ධ නැති නිරායුධ සිවිල් පුද්ගලයන් වූ ප්‍රගීත් එක්නැළිගොඩ, ලසන්ත වික්‍රමතුංග වැනි ජනමාධ්‍යවේදීන් අතුරුදන් කිරීම හෝ ඝාතනය කිරීම අපරාධයක් නොවන්නේ කෙසේද? එමෙන්ම යුද හමුදා බුද්ධි අංශ හෝ වෙනත් රාජ්‍ය බුද්ධි අංශයක කාර්යභාරය අදාළ බුද්ධි තොරතුරු එක්රැස් කිරීම හැර පුද්ගලයන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමද, ඝාතනය කිරීමද? යහපාලනයට කැපවෙමියි කියා පොදු අපේක්ෂකයා වශයෙන් තමන්ගේ පක්ෂයේ නොවන ඡන්දවලින් බලයට පත්වූ ජනාධිපතිවරයකුගේ කාර්යභාරය වන්නේ මේ අපරාධකරුවන්ට ඉක්මනින් දඬුවම් ලබාදී නීතියට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැදීම නොවේද? එසේ නොකිරීම සඳහා ඔහු විසින් කරනු ලබන රණවිරු ප්‍රකාශ අප හඳුනාගත යුත්තේ ඔහු බලයට පත් කළ ජනතාව නොදන්නා ඔහුගේ වෙනත් සැඟවුණු න්‍යාය ලෙසද?■(Ravaya)

ඔබගේ අදහස අපට කියන්න

Close