කරු ජයසූරියගේ දියණියගේ අවසන් කටයුතු ලන්ඩනයේදී

කථානායක කරු ජයසූරිය මහතාගේ කනිටු දියණිය වූ අභාවප්‍රාප්ත සංජීවනී ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මියගේ අවසන් කටයුතු ලන්ඩනයේදී සිදුකිරීමට නියමිතව තිඛෙනවා.
ඊයේ දිනයේදී මිය යන විට ඇය 40 වන වියේ පසුවුණා.
දිගු කළක් පිළිකා රෝගයෙන් පීඩා විදීමෙන් පසුවයි ඇය මරණයට පත්වුණේ.

කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සහ දේවි බාලිකා මහා විද්‍යාලයේ ආදි සිසුවියක වූ ඇය මහා බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් (Full Neck Girls School in Yorkshire) හි උසස් බාලිකා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව බ්‍රැඩ්ෆර්ඩ්  (Bradford) විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා පශ්චාත් උපාධියද ලන්ඩන් ආර්ථික විද්‍යා ආයතනයෙන් (London School Of Economics) ආර්ථික විද්‍යා ශාස්ත්‍රපති උපාධියද දිනා තිඛෙනවා.

අනතුරුව බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙලේ මූල්‍ය ආයතන කිහිපයක කළමනාකරණ ශ්‍රේණියේ තනතුරු ගණනාවක් හෙබවූ ඇය මිය යන විට ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාරිනියක ලෙස සේවය කරමින් සිටියා.

දෙදරු මවක් වූ ඉන්දිරා ජයසූරිය මහත්මිය විවාහ වී සිටියේ බ්‍රිතාන්‍ය ජාතික මානව සම්පත් කළමනාකරණ විශේෂඥයෙකු වූ මාටින් ඩිකර් මහතා (Martyn Dicker) සමගය.

ඔබගේ අදහස අපට කියන්න

Close