අගමැති අද ජර්මානු ව්‍යාපාරික සමුලුව අමතයි

15 වන ජර්මානු ව්‍යාපාර සඳහා වූ ආසියා – ශාන්තිකර සමුළුවට සහභාගීවීම සඳහා හොංකොං නුවරට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද සමුලුව ඇමතීමට නියමිතව තිඛෙනවා.

හොංකොං ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන ශාලාවේ පැවැත්වෙන 15වන ජර්මානු ව්‍යාපාර සඳහා වූ ආසියා – ශාන්තිකර සමුළුවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “ආසියා – ශාන්තිකර අභියෝගයන් සහ ඉදිරි දර්ශනය” යන නමින් දේශනය සිදුකිරීමට නියමිතයි.

හොංකොං වික්ටෝරියා වරාය අසබඩ පිහිටි හොංකොං ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන ශාලාවේ නොවැම්බර් 3වන දා සිට 5වන දා දක්වා සමුළුව පැවැත්වෙනවා.

ජර්මනියේ සහ ආසියා ශාන්තිකර කලාපයේ ප්‍රමුඛ නීති සම්පාදකයන්, විද්වතුන්, ව්‍යවසායකයන් ඊට සහභාගී වනවා.

ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන ශාලාවට පෙරේදා සිටම ආරක්ෂාව තර කර තිබූ අතර සම්මන්ත්‍රණය සඳහා සූදානම් වන ආකාරය දැක ගැනීමට හැකි වුණා. මෙම සමුළුව සංවිධාන කෙරෙන්නේ ආසියා ශාන්තිකර කලාපීය ව්‍යවසායකයන් සහ ජර්මානු ව්‍යවසායකයන් අතර සම්බන්ධතා ශක්තිමත් කරලීමේ අරමුණිනි.

යුරෝපීය සංගමයේ ප්‍රමුඛතම රාජ්‍යයක් වශයෙන් ජර්මනියට මෙන්ම ආසියා ශාන්තිකර කලාපයටත් මෙවර සමුළුව වඩාත් වැදගත් වනුයේ යුරෝපීය සංගමයෙන් බ්‍රිතාන්‍යය වෙන් වීමෙන් පසු පැවැත්වෙන මුල්ම සමුළුව මෙය බැවිනි.

ඔබගේ අදහස අපට කියන්න

Close